අතීතයෙන් වර්තමානයට බැල්මක් – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

 

අරගලයට සහභාගි වූයේ යැයි ප්‍රකාශ කරන ඉතා සුළු පිරිසක් මේ මස 9 වැනිදා කොළඹ ගාලු‍ මුවදොර පිටියට රැස්වී අරගලයට වසරක් පිරීම සැමරූහ. ඒ අතරම තවත් සංවත්සරයක් ද සැමරීමට ඇති අතර එය බොහෝ දෙනකුට අමතක වී ඇති බවක් පෙනේ.

2022 අප්‍රේල් මස 12 වැනිදා ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකාවට විදේශ ණය ගෙවීමට නොහැකි බව හෙවත් රටේ බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කළ අතර අද දින (අප්‍රේල් 12 දින) එයට ද වසරක් සම්පූර්ණ වේ. අරගලය සහ රට බංකොළොත්භාවයට ප්‍රකාශ කිරීම අතර සමානකම් කිහිපයක්ම දක්නට ලැබේ. එකක් නම් අරගලය මෙන්ම බංකොළොත්භාවය ද ඒවාට වසරක් පිරීමට පෙර අවසන්ව තිබීමය. අනෙක් ප්‍රධාන සමානකම වන්නේ මේ දෙකම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අවසන් කර තිබීමය.

කෝවිඩ් වසංගතය අරගලය මෙන්ම බංකොළොත් බව ද නිමා වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ සිංහල සහ ද්‍රවිඩ ජනතාවට සිංහල සහ දමිළ අලු‍ත් අවුරුද්ද නිරුපද්‍රිතව සැමරීමට මේ වසරේ දී  අවස්ථාව සැලසී තිබේ. පිට පිටම වසර තුනක් ඔවුනට ඒ ඒ වසරවල ඇති වූ විවිධ හේතු මත ඊට පෙර වසරවල දී මෙන් සිතු සේ අලු‍ත් අවුරුද්ද පිළිබඳව සතුටු වීමට හෝ නව වසරක් උදා වීම මුල් කරගෙන නව අපේක්ෂා දැල්වීමට හෝ අවස්ථාව සැලසුණේ යැයි නොසිතමි. කෝවිඩ්, අරගලය සහ ආර්ථික අර්බුදය ශ්‍රී ලාංකිකයන්ට සාම්ප්‍රදායික ජාතික උත්සවය සැමරීමේ අවස්ථාව අහෝසි කර තිබුණි. මුහුණ දුන් කටුකත්වය, පීඩනය සහ අපේක්ෂා භංගත්වය වෙනුවට තම ජීවිත පැවැත්ම පිළිබඳවත් අනාගතය පිළිබඳවත් සුබදායී ආකල්පයකින් ඊළඟ වසරට සම්ප්‍රාප්ත වීම සඳහා මහජනතාවට මෙවර අවස්ථාවක් සැලසී තිබේ.

 

 

ගත වූ වසර හතරක කාල පරිච්ඡේදය තුළ එක දිගට ශ්‍රී ලාංකික ජනතාවට අත්විඳීමට සිදු වූ විෂමාකාරී ජීවන පැවැත්ම සහ පීඩාව පිළිබඳව සලකා බලන විට මේ වන විට තවමත් සියල්ල අංගසම්පූර්ණ වී ඇතැයි ප්‍රකාශ කළ නොහැක. එහෙත් මෙවර මහජනතාව සිංහල සහ දෙමළ අලු‍ත් අවුරුද්ද සමරන ආකාරය රටේ ආර්ථිකයේ දැවැන්ත වෙනසක් සඳහා වන ආරම්භයකට ඉඩ සලසා ඇතැයි යන්න තේරුම් ගැනීම සඳහා අවස්ථාව සලසා දී ඇත.

2019 වසරේ අලු‍ත් අවුරුද්ද උදා වී එහි උණුසුම මැකී යන්නටත් පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට රටට සිදු විය. තිස් වසරක යුද්ධයෙන් පසු නිරුපද්‍රිත ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන තමන්ගේ සහ තම පවුල්වල අනාගතය දෙස සුබවාදී ආකල්ප ඇති කර ගැනීමටත් අනාගතය පිළිබඳ තමන් දකින සිහින සැබෑ කරගන්නා ආකාරය පිළිබඳව සැලසුම් ඇති කර ගැනීමටත් ඒ අනුව ජීවිතය හැඩගසා ගැනීමටත් අවස්ථාව සැලසී තිබුණි. යළිත් ජේවීපී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හෝ තිස් අවුරුදු යුද්ධය වැනි විපතකට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ඔවුහු කල් ගත කළහ.

පාස්කු ප්‍රහාරය සමඟ දිගු කල් ගතවන මහා ව්‍යසනයක ආරම්භය සනිටුහන් විය. යළිත් මරාගෙන මැරෙන ප්‍රහාර, මනුෂ්‍ය ඝාතන, ත්‍රස්ත ක්‍රියා අත්විඳීමට සිදු නොවනු ඇතැයි යන බලාපොරොත්තුව ඇති කරගෙන සිටි ජනතාවකට තමන්ට කිසිවක් වැරදී ඇතැයි සිතන පරිසරයක් නිර්මාණය විය. සංචාරකයන් රටට ඒම නැවතුණි. ආයෝජන නැවතුණි. යළිත් ලොව පුරා ත්‍රස්තවාදයට ගොදුරු වී ඇති රටක් යන හංවඩුව ශ්‍රී ලංකාවට ලැබුණි. එය ආරම්භයක් පමණක් විය.

ඉන්පසු මුහුණ දීමට සිදු වූ කෝවිඩ් අර්බුදය තවත් වසර දෙකක් ශ්‍රී ලංකාවට බිය, සැකය සහ ජීවිත අවිනිශ්චිතතාව උදා කළ අතර රටේ ඉතිහාසය තුළ මෑත කාලයේ කිසිදු අවස්ථාවක අත්නොවිඳි ආකාරයේ දුර්භාග්‍යසම්පන්න යුගයකට මුහුණ දීමට සිදු විය. කෝවිඩ් වසංගතයේ විවිධ ස්වරූප, ලොක්ඩවුන්, ස්වයං නිරෝධායන, සමූහ නිරෝධායන, මුළු රටම වසා දැමීම ආදිය සාමාන්‍ය ජන ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පරිවර්තනය විය. ස්වකීය ආදරණීයයන් කෝවිඩ් වැළඳී මිය ගිය විට අඩුම තරමින් දැකීමටවත් ඉඩක් නොලබා හුදෙකලාව අවසන් ගමන් යන සැටි බලා සිටීමට බොහෝ දෙනකුට සිදු විය. පාසල් යා නොහැකි වීම නිසා දරුවන්ට ඔන්ලයින් මගින් අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ සැලසීමට ද රැකියා ස්ථානයට නොයා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවලට අනුගත වීමට ද බොහෝ දෙනකුට සිදු විය.

වඩාත් බිහිසුණු අත්දැකීම වූයේ සමාජ සම්ප්‍රදායන්ගේ බිඳ වැටීම සහ සමාජ සම්බන්ධතාවල සිදු වූ වෙනස්කම්ය. මගුලට, මරණයට, උත්සවයට සහභාගි විය හැකි ජන සංඛ්‍යාව පිළිබඳව සීමා පැනවුණි. කොළඹ සිට පිටස්තර ප්‍රදේශවලට යෑම සීමා කර තිබීම නිසා මාස කිහිපයක් තම ඥාතීන් දැක බලා ගැනීමට හෝ තම නිවෙස්වලට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. ඒ හේතුවෙන් ජනසමාජය තුළ සමාජ සම්බන්ධතා විශාල ලෙස බිඳ වැටුණු අතර සමාජ සම්බන්ධතාවල බලපෑම ද වැදගත්කම ද අඩු වන්නට විය.  විකෘති වී ගිය සමාජ සම්බන්ධතා සහ පැවැත්ම වඩාත් පිරිහීමකට ලක් වූයේ කෝවිඩ් පැතිර යෑම වේගවත් වීමත් විවිධාකාරයේ කෝවිඩ් වර්ග හඳුනා ගැනීමට හැකි වීමත් නිසාය.

කෝවිඩ් වසංගතයට ගොදුරු වූ මුළු ජනසංඛ්‍යාව 672,079ක් විය. මරණ සංඛ්‍යාව 16,834 ක් විය. මුළු ජන සංඛ්‍යාවෙන් සියයට 30කට රෝගය වැළඳී තිබුණි. රටේ මුළු ජන සංඛ්‍යාවෙන් සෑම හතර දෙනකුගෙන්ම එක් අයෙක් කෝවිඩ් රෝගයෙන් පීඩා වින්දේය.

කෝවිඩ් වසංගතය, විශාල ලෙස බදු අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග සියල්ලේ අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව එදා මෙදා තුර මුහුණ දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදු වීමයි. 2018 දී ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ ඉහළම සංචාරක පිරිසක් රටට පැමිණියහ. එම වසරේ මුළු සංචාරක සංඛ්‍යාව 2,333,796 ක් විය. එහෙත් කෝවිඩ් යුගයේ දී ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම නැවතුනි. 2020 අප්‍රේල් සිට එම වසරේ දෙසැම්බර් දක්වා එකදු සංචාරකයකු හෝ ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. 2021 දී රටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ අනූ හතර දහසක් පමණක් විය. මෑත කාලයේ දී වසරක් තුළ පැමිණි අඩුම සංචාරක පිරිස එය විය. විදේශවල සේවා නියුක්තව සිටි බොහෝ පිරිස් නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර සංචාර තහනම නිසා විදේශ රටවල රැකියා සඳහා යන පිරිස ද අඩු විය. ප්‍රතිඵලය වූයේ විදේශ ප්‍රේෂණ අඩු වීමයි. කෝවිඩ් කාලය තුළ මුළු ලෝකයේම විදේශ ආයෝජන ප්‍රමාණය අඩු වූ අතර කිසිදු ආයෝජකයකු ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. ඒ අතරම 2019 දී  හඳුන්වා දුන් බදු සංශෝධන හේතුවෙන් රටට ලැබෙමින් පැවැති ආදායම ද අඩු විය.

අවසානයේ දී ජීවත්වීම සඳහා අවශ්‍ය හැම දෙයක්ම ළඟා කර ගැනීම දුෂ්කර වන පරිසරයක් වෙත ශ්‍රී ලාංකිකයෝ පිය නැගූහ. ජීවිතයේ අත්‍යවශ්‍යම දේ යැයි සිතා සිටි බොහෝ දේවල් අත්හැර දැමීමට ශ්‍රී ලාංකිකයෝ කටයුතු කළහ. පාන් පිටි නැති විය. කිරි පිටි නැති විය. කහ නැති විය. කොත්තමල්ලි, පරිප්පු නැති විය. ඊළඟ අවස්ථාව සෞඛ්‍ය අංශවලින් අත්විඳීමට සිදු විය. රෝහල් කෝවිඩ් රෝගීන්ගෙන් පිරී ගියේය. ඖෂධ හිඟ විය. කෙනකු හමු වීමේ දී මුඛ ආවරණ පැළඳීමට ද යන එන සෑම තැනකදීම සැනිටයිසර්වල ආධාරය පැතීමට ද සිදු විය.

ශ්‍රී ලාංකිකයෝ රෝග බිය, මරණ බිය සහ දුර්භික්ෂය යන ව්‍යසන තුනකට මුහුණ දුන්නහ. අවුරුදු සැමරීම ගැන පමණක් නොව ආගමික උත්සව ආදියත්, විවාහ උත්සව ආදියත් කිහිප දෙනකුට සීමා කිරීමට හෝ නවතා දැමීමට සිදු විය. සිදු විය යුතුම කටයුත්තක් වුවද කිහිප දෙනකුගේ සහභාගීත්වයෙන් පමණක් පැවැත්වීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි.

ගෙවී ගිය කාල පරිච්ඡේදයේ කටුක අත්දැකීම් තවත් ටික කලෙකින් බොහෝ දෙනකුට සිහිනයක් දුටුවා සේ අමතක කිරීමට හැකි වනු ඇත. එය ඒ තරම්ම නවමු තත්ත්වයක් වූ නිසාත් මිනිස් ජීවිත සම්බන්ධයෙන් බොහෝ වෙනස්කම් ඇති කළ නිසාත්ය. කෝවිඩ් වසංගතය හේතුවෙන් 2020 සහ 2021 වසරවල ද මහජනතාවගේ ආර්ථික අපහසුතා මත ගොඩනැගුණු, ‘අරගලය’ ලෙස හැඳින් වූ ක්‍රියාදාම හේතුවෙන් 2022 වසරේදී ද අලු‍ත් අවුරුදු උත්සවය සැමරීමට ශ්‍රී ලාංකියන්ට නොහැකි විය. එපමණක් නොව බෞද්ධයන්ගේ වෙසක්, පොසොන් සහ ඇසළ උත්සව ද ද්‍රවිඩ ජාතිකයන්ගේ දීපවාලී, තෛපොංගල් දිනයන් ද මුස්ලිම් ජනතාවගේ හජ්ජි වැනි දින ද කිතුනුවන්ගේ නත්තල්, පාස්කු සැමරීම වැනි උත්සව ද සැමරීමට නොහැකි විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුල විසින් ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ණය මුදල ප්‍රදානය කිරීම, ඒ නිසා රටේ බංකොළොත්භාවය අවසන් වීම, රුපියල ශක්තිමත් වීම, උද්ධමනය අඩු වීම, සංචාරක පැමිණීම වැඩි වීම, විදේශ ප්‍රේෂණ වැඩි වීම ආර්ථික ක්‍රියාවලිය තුළ ඉතා ධනාත්මක ප්‍රවණතාවක් අත්විඳීමට දැන් ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. අනුන්ගේ ඇහේ රොඩු දකින අයට රටේ ආර්ථිකය පිළිබඳව ඉතා සුළු වැදගත්කමක් ඇති කරුණක් වුවද මුල් කරගෙන කොතෙකුත් මැසිවිලි නගන්නට පුළුවන. සියල්ලෙන් අංගසම්පූර්ණ වී සෑම දෙනාටම සෑම වසරකදීම අවුරුදු සමරන්න ලැබෙන්නේ නැත. කවර අඩුපාඩු තිබුණ ද සෑම පුද්ගලයකුම බක්මහ වසන්තය සමරනුයේ සතුට, සාමය සහ අනාගත සමෘද්ධිය වෙනුවෙනි. වසර තුනක් අලු‍ත් අවුරුද්ද පිළිබඳ නියඟයකට මුහුණ දී තිබිය දී එක දා ලැබෙන වැහි වළාවකින් එය නිමවනු ඇතැයි කිසිවෙක් බලාපොරොත්තු වන්නේ නැත. අලු‍ත් අවුරුද්ද සැමරීමට ලැබීම පමණක් වුවද සියලු‍ දෙනාටම අසිරිමත් අවස්ථාවක් වනු ඇත. සියලු‍ දෙනාටම සුභ අලු‍ත් අවුරුද්දක් වේවා!


කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ

හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *