|

IMF ආර්ථික ප්‍රතිපත්ති අපට සුදුසු ද? – මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

 

අඩපණව තිබූ ආර්ථිකය නැවත ක්‍රියාත්මක වීමට පටන් ගැනීම නිසා ජනතාව වෙනදා නැති උනන්දුවකින් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සූදානමින් සිටී. මේ වනවිට කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණවල වැදගත්කම IMF වැඩසටහන ගැන ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි දැක්වූ අදහස් සමුදායයි මේ.

 රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහාය කුමක්ද?

ආර්ථිකයේ දුර්වලතා මඟහරවා ගැනීමට මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම දැන් සිදුවෙනවා. එය පුළුල් ප්‍රතිසංස්කරණ දිරි ගන්වන්නක්. එමඟින් ඔවුන් රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයක්, ණය තිරසරභාවයක්, මූල්‍ය ස්ථාවරත්වය හා ආර්ථික වර්ධනය ඉහළ නැංවීම උදෙසා පවත්නා විභවතා ප්‍රයෝජන ගැනීමට කළ යුතු වැඩ කොටස දන්වා තිබෙනවා.

මූල්‍ය අරමුදල මඟ පෙන්වීම් කිරීම ස්වාධීන ආර්ථිකයන්ට බලපෑමක් බවට චෝදනාවක් තිබෙනවා. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක් ද?

මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ අවදානමට ලක්වන සහ දිළිඳු බවේ සිටින සාමාන්‍ය ජනතාවට සහන සැලසීමට ක්‍රියා කළ යුතු බවට දැඩිව කියා තිබෙනවා. රජය ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සහන අවශ්‍ය කණ්ඩායම්වල සුරක්ෂිතතාව වෙනුවෙන් වැඩ කළ යුතු බවට කියා තිබෙනවා. එය නරක දෙයක් ද නැද්ද යන්න අප තේරුම් ගත යුතුයි.

ණය පහසුකම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් කළ හැකි ද?

මූල්‍ය අරමුදල සමඟ රජයේ බලධාරින් මාස 07 – 08කට අධික කාලයක් සාකච්ඡා වට ගණනාවක් කළා. අනතුරුව එහි විධායක මඬුල්ලේ ඉකුත් මාර්තු 20 වෙනිදා SDR බිලියන 2.286 ක නැතිනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට කිට්ටු මුදලක්. (SDR එකක වටිනාකම = එක්සත් ජනපද ඩොලර් 1.35කට) අපට විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ මාස 48ක කාලයකින් ඩොලර් බිලියන 3කට කිට්ටු මුදලක් ලබා දීමට අනුමත කළා. මාර්තු 21 වෙනිදා ප්‍රථම වාරිකය ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබුණා. එය ඩොලර් මිලියන 322කට ආසන්න වටිනාකමක්.

සියලුම ණය මුදල් ලැබෙන්නේ මාස 48ක දීර්ඝ වැඩපිළිවෙළකින් පසුවයි. සාමාන්‍යයෙන් මෙම ණය මුදල වසර තුනක් සඳහා ලබා දුන්නත් මෙරටට එය අනුමත කර ඇත්තේ අවුරුදු 4ක් සඳහායි. ණය මුදලේ වාරික නිදහස් කිරීමට නම් මාස 6න් 6ට සිදු කරන ප්‍රගති සමාලෝචන කතිකාවන්හිදී ඉහළ ප්‍රගතියක් අත්කරගත යුතුමයි. ණය මුදල ආපසු ගෙවීම වසර 4.5 හා 10 අතර කාල සීමාව තුළ සිදු කළ යුතුයි.

මෙම ණය පහසුකම ලබා දීමේදී IMF විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති කොන්දේසි මොනවා ද?

අපි ඒවා එකින් එක ගෙන කතා කරමු. උද්ධමනය පහළ මට්ටමක තබා ගැනීම. උද්ධමනය දුප්පතුන් මත වැඩිපුර බරක් පටවනු ලබනවා. ඒ නිසා ආර්ථික ස්ථායිතාවය තහවුරු කිරීම සඳහා මේ වසර අවසාන වන විට මෙරට උද්ධමනය 20% කට වඩා පහළ මට්ටමක තබා ගැනීමට කටයුතු කළ යුතු යැයි IMF අපට කියා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව වඩා ස්වාධීන කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කරන්නැයි කියා තිබෙනවා.

පසුගිය කාලයේ දේශපාලන මැදිහත්වීම් මත සිදු වූ විවිධ ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳ ශ්‍රී ලාංකිකයින්ට ඕනෑ තරම් අත්දැකීම් තිබෙනවා. තිරසර මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුව ස්වාධීන වීම වැදගත්.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ද?

අපේ රටේ රාජ්‍ය ව්‍යවසායන්ගෙන් අතිමහත් බහුතරයක් විශාල වශයෙන් පාඩු ලබනවා. මෑතකාලීන වාර්තා වූ පාඩුව රුපියල් බිලියන 400කට මඳක් අඩුයි. ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන්ට පවා දිගින් දිගටම දේශපාලන මැදිහත්වීම් සිදු වෙනවා. සමහර රාජ්‍ය මූල්‍ය ආයතනවලින් දේශපාලන මැදිහත්වීම් මත දුන් ණය මුදල්වලින් ණය අය වීම බිලියන ගණනින් සිදු වන්නේ නෑ. මෙලෙස අක්‍රීය ණය ඉහළ යාම සමස්ත රටේ ජනතාවගේම කර මත පැටවීමට ක්‍රියා කිරීම තවදුරටත් කළ යුතු ද? අප කල්පනාකොට බැලිය යුත්තේ එයයි. ඒ වගේම තවත් දුර්වලතාවයක් අපේ තිබෙනවා. ඒවා ඔවුන් අපට පෙන්වා දී තිබෙනවා.

කුමක් ද ඒ?

අපේ රටේ ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් සහ රාජ්‍ය වියදම අතර පරතරය දිගින් දිගටම නරක මට්ටමක පැවතුණත් වසර 2021 දී රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 20%ක් වෙනවා. නමුත් රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 8%ක් වෙනවා.

මෙම හිඟය පියවීම සඳහා දිගින් දිගටම ණය මත පැටවීම කළ නොහැකියි. එබැවින් අනවශ්‍ය වියදම් අඩු කිරීමත් ආදායම් වැඩි කර ගැනීමටත් කටයුතු කළ යුතුයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ණය තොගය දැනට දළ දේශීය නිෂ්පාදිතයේ 100% සීමාව ඉක්මවා පවතිනවා. එය 100%න් පහළට ගෙන ඒමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් කියා තිබෙනවා. ඒවා සිදු නොකොට අපට ඉදිරි ණය වාරික ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල දුප්පතුන් සහ දුප්පත්කම දුරු කිරීමට වැඩපිළිවෙළක් යෝජනා කර තිබෙනවා ද?

අරමුදල මඟින් ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. දැනට සිදු කරන එවැනි වැඩපිළිවෙළ ප්‍රතිසංස්කරණය කළ යුතු බවට කියා තිබෙනවා. දැනට අප රටේ ක්‍රියාත්මක ඇතැම් සමාජ සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභ නුසුදුස්සන්ට ලබා දී තිබෙනවා. එවැනි නුසුදුස්සන් වෙත මෙම සහන ගලා යෑම වැළැක්විය යුතුයි.

සමාජ ආරක්ෂණ වියදම්වලින් 10%ක් පමණ පොහොසතුන් අතට පත්වෙනවා. එසේ සිදු වන්නේ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීමේදී වඩාත් විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව සුදුස්සන් ‍තෝරා නොගැනීමයි. එය වැළැක්වීම සඳහා විධිමත් විද්‍යාත්මක වැඩපිළිවෙළක් වහා සකස් කළ යුතුයි.

රටේ විනිමය අනුපාත සම්බන්ධයෙන් දක්වා තිබෙන්නේ කුමන කරුණක් ද?

විනිමය අනුපාතිකය නම්‍යශීලි තත්ත්වයන් මත තීරණය කිරීමට හා පවත්වාගෙන යාමට ක්‍රියා කළ යුතුයි. මේ ආකාරයට නම්‍යශීලි විනිමය අනුපාතිකයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රමාණවත් විනිමය සංචිතයක් පවත්වාගෙන යා යුතුයි. වෙළෙඳපොළ කම්පනයන් තුළ රුපියලේ අගය ක්ෂණිකව පහළ යාමක් හෝ සිදු වන්නේ නම් මහ බැංකුවට රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත් වීමට වැඩපිළිවෙළක් සකස් කරගත යුතුයි. ඒ සමඟම අපේ රටේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහතික කිරීමටත් ක්‍රියා කරන්නැයි IMF දන්වා තිබෙනවා.

බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන ආර්ථිකයේ කාර්යක්ෂමතාවට ඉතා වැදගත් හා අත්‍යවශ්‍ය සේවාවක් සපයන්නක් වෙනවා. එවැනි ආයතන සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ආයෝජන වැඩි කර ගැනීම, ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීම වැනි කටයුතු සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට හැකි ලෙස එය කළ යුතුයි.

IMF ණය අනුමත වීමත් සමඟ අපට ලැබුණු වෙනත් වාසි මොනවා ද?

IMF ණය පහසුකම් ලැබීම සම්පූර්ණයෙන් සිදුවීමට නම් ඒ හා බැඳුණු ආර්ථික ප්‍රතිසංස්කරණ වහාම සිදු කළ යුතුයි. එවැනි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන විට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, වෙනත් මූල්‍ය වෙළෙඳපොළේ මූල්‍ය ආයතන සහ රජයන් ශ්‍රී ලංකා ආර්ථිකයේ බලගැන්වීමට උදවු කිරීමට ඉදිරිපත් වෙනවා. අපට නිෂ්පාදන ආර්ථිකයක් කර වේගයෙන් ගමන් කිරීමට අවශ්‍ය දිරිගැන්වීම් ලබා දීමට ක්‍රියා කරනවා. අපගේ අපනයන ආදායම් වැඩි කර ගැනීමට, පවතින විභවතාවයන් ඉහළ නංවා ගැනීමට උදවු කරනවා.

අප බලාපොරොත්තු වන පරිදිම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කර ගැනීමට හැකි වේ ද?

එවැනි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නො‍කිරීම නිසා අප දුර්වල ආර්ථිකයක් සහිත රටක් බවට පත්වුණා. ඉන් අප බැට කෑවා. ඒ අනුව දැන් තිබෙන්නේ දේශපාලනික හෝ වෙනයම් අරමුණකින් තොරව රටේ ආර්ථිකය දෙස බැලීමයි. දේශපාලනඥයන්ගේ පමණක් නොව ඉහළ නිලධාරින්ගේ වංචා දූෂණ අවම කොට රට දියුණු කිරීමට කටයුතු කිරීමයි. මෙහිදී සියලු දෙනා අතීතයේ විඳි දුක් කරදර මතු සිදු නොවීමට නම් ප්‍රතිසංස්කරණවලට සහය ලබා දිය යුතුමයි. එය සිදුවන්නේ වත්මනට පමණක් ප්‍රතිලාභ ලැබෙන අයුරින් නොවේ. අනාගත පරපුරටත් ප්‍රතිලාභ හිමිවෙන ලෙසයි. මෙය අප කවුරුත් තේරුම් ගත යුත්තක්.

IMF ණය වාරිකය ලැබීම සහ අලුත් අවුරුදු උදාව පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක් ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මෙරටට ප්‍රථම වාරිකය ලබා දුන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දට දින 25කට පෙරයි. මේ නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරගත යුතු බාධාවන් බොහොමයක් ඉවත් වුණා. මෙය අලුත් අවුරුදු සැමරීමට ලැබුණු බෝනස් එකක්. දැනටමත් විදේශගත ශ්‍රී ලාංකිකයන්, අපනයනකරුවන් මෙරටට වැඩි වශයෙන් විදේශ විනිමය එවනවා. ඉන්ධන මිල ඇතුළු භාණ්ඩ ගණනාවක මිල අඩු වී තිබෙනවා. ඉහළ උද්ධමනය තරමකට පහළ බැස තිබෙනවා. මෙම සියලු යහපත් දේ සිදු වීමට IMF ණය වාරිකය මුල් වූ බව කිව යුතුයි.

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති

මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

 

ජයසිරි මුණසිංහ

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *