|

ආර්ථිකයෙන් වැටුණු අන් කිසි රටක් ශ්‍රී ලංකාව තරම් ඉක්මනින් නැඟිට නැහැ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න

 

 

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතාවට සමාජයේ අනුමැතියක් ලැබී ඇති බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ක්‍රමෝපායික වශයෙන් වැදගත් තීරණයක් බවත් පෙන්වා දෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මෙවර සිංහල අවුරුද්ද අන් කවර වසරකට ද වඩා ප්‍රබෝධජනක වසරක් වන බව මෙසේ පෙන්වා දෙයි.

 

l අයිඑම්එෆ් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කරන බව ජනාධිපතිවරයා පවසනවා. මෙයට පෙර විපක්ෂය ද එම ගිවිසුම මැතිසබයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තිබෙනවා. මේ එකඟතාවට පාර්ලිමේන්තුව කෙසේ ප්‍රතිචාර දක්වයිද?

අයිඑම්එෆ් එකඟතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා විපක්ෂයේ මන්ත්‍රීන් ඉල්ලා සිටින්නේ විනිවිදභාවය වෙනුවෙන් නොවෙයි. විපක්ෂයේ අරමුණ අයිඑම්එෆ් ගිවිසුම විවේචනය කිරීමයි.

විපක්ෂයේ අරමුණ ආණ්ඩුව කරන ඕනෑම දෙයකට විරුද්ධ වීමයි. ඒ අරමුණෙන් මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීමට පෙර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ඔවුන් ඉල්ලා සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ කෘතහස්ත දේශපාලනඥයායි. ඒ ගැන විවාදයක් නැහැ. ඒ නිසා ඔහු මුලින් එකඟතාවට ඇවිත්, එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නා. ඉන්පසු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතාව නිසා ‍අමෙරිකානු ඩොලර් මිලියන 330ක් ලැබුණා. එයින් රුපියල ශක්තිමත් කරගන්නා අතර ආනයන භාණ්ඩවල මිල විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ඔහුට ආර්ථිකය කළමනාකරණය කරගන්න හැකි වූ නිසා රජයේ සේවකයන්ට ගැටලුවකින් තොරව වැටුප් ගෙවීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ විදියට ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාව වන විට එයට සමාජයේ සුජාතභාවයක් ලැබී තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීන් බොරුවට කෑගැහුවට ඡන්ද විමසීමක් තිබුණොත් ඔවුන් බොහෝ දුරට ඡන්දය පාව්චිච් නොකර මඟ හරියි. ජනාධිපතිවරයාගේ මේ උපායික මැදිහත් වීම මම අගය කරනවා. එහෙම නැතිව මේක පාර්ලිමේන්තුවේ කතා කරමින් සිටියා නම් තවමත් රට එතැනමයි.

අයිඑම්එෆ් වැඩසටහන අය-වැය ලේඛනයේ තිබුණ දෙයක්. අය-වැය ලේඛනය අනුමත කළා කියන්නේ අයිඑම්එෆ් වැඩප­ිළිවෙළ අනුමත කිරීමක් තමයි.

 

l පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික මන්ත්‍රී කමිටුවක අධීක්ෂණයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්නේ නම් කොන්දේසිවලට යටත්ව සහාය දෙන බව විපක්ෂය පවසනවා. ප්‍රතිසංස්කරණ භීතියකින් පෙළුණු පක්ෂ මේ ආකාරයට පරිවර්තනය වීමට බලපෑ හේතුව හැටියට ඔබ දකින්නේ කුමක්ද?

අයිඑම්එෆ් පළමු වාරිකය ලැබීමෙන් පසු රටේ ලොකු ප්‍රබෝධයක් ඇතිව තිබෙනවා. මිනිස්සුන්ගේ හිතටත් සැනසිල්ලක් ලැබී තිබෙනවා. ගිවිසුමට විරුද්ධව කෑගැහුවොත් ජනතාව අතර ඔවුන් අප්‍රසාදයට පත් වෙන බව විපක්ෂය දන්නවා. නමුත් ඔවුන්ට දේශපාලන අරමුණු තිබෙන නිසා යම් ප්‍රතිවිරෝධයක් දක්වන බව පෙන්වනවා.

මේ වසර අවසානයේ මැතිවරණයක් පැවත්වෙන බව කියවෙනවා. බොහෝ විට ඒ ඡන්දය ජනාධිපතිවරණයක් වෙයි කියලා අප විශ්වාස කරනවා.

විපක්ෂය මේ හොර ගල් අහුලන්නේ හෙමිහින් හෙමින් ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරන්න සමීප වෙන්නයි. ඉස්සර ඔවුන් අයිඑම්එෆ් ගිවිසුමට විරුද්ධව සිටිය නිසා එකවරම සහාය දැක්වීමට හැකියාවක් නැහැ. ඔවුන්ට වෙනත් විකල්පයක් ඇත්තේත් නැහැ. ඒ නිසා මැදිහත් විදියට ආණ්ඩුවට සහාය දක්වන්න විපක්ෂයේ පිරිසක් සූදානමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා.

 

l පුංචි ඡන්දය පැවැත්වෙන දිනය දින නියමයක් නැතිව කල් ගිහින් තිබෙනවා. ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩක් තිබුණත් විපක්ෂය එය පිළිගන්නා බවක් පෙනෙන්න නැහැ. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

ජනාධිපතිවරණයක් පැවැත්වුවොත් එය තනි අශ්වයාගේ රේස් එකක් බවට පත්වෙන ලකුණු දැනටම පෙනෙන්න තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට, පරිණතභාවයට සමාන වන වෙනත් දේශපාලන නායකයෙක් නැහැ.

ඒ වගේම පසුගිය කාලය දෙස බලන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ විශාල දේශපාලන පරිවර්තනයක් දකින්න ලැබෙනවා. ඔහු අගමැති ධූරයේ කටයුතු කළ අවස්ථාවලට වඩා විශාල වශයෙන් ජනතාව සමඟ සමීපව කටයුතු කරන බවක් දකින්න තිබෙනවා. ඔහු ජනප්‍රිය ප්‍රවණතාවන්ට ඇදී නොගියත්, පසුගිය කාලයේ ගත් ක්‍රියාමාර්ග ගැන ජනතාව අතර විශාල ප්‍රසාදයක් දකින්න ලැබෙනවා. ජනාධිපතිවරයා ජනතාවගේ අදහස් ඉතා සමීපව ලබා ගනිමින් ඔවුන්ගේ අදහස් රාජ්‍ය පාලනයට එක්කර ගන්නා බවක් පෙනෙන්න තිබෙනවා.

පසුගිය අරගලයට සහාය දැක්වීම නිසා මේ රටේ මධ්‍යම පන්තිය යම් අපේක්ෂා භංගත්වයකට පත් වුණා. දැන් ඔවුන් සත්‍ය තත්ත්වය තේරුම් ගනිමින් සිටිනවා. මධ්‍යම පාන්තිකයන්ගේ අපේක්ෂා ඉටු කරගත හැක්කේ මහත්මා දේශපාලකයකුට බව දැන් ඔවුන්ට තේරුම් ගොස් තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විපක්ෂයේ අපේක්ෂකයකු හැටියට ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ සජිත් ප්‍රේමදාසයි. සජිත් සමඟ සිටින සියලු දෙනා පැරැණි එජාප පාක්ෂිකයන්. සජිත්ගේ ටෙලිෆෝන් පක්ෂය වෙනත් කෙනෙකුට අයත් එකක්. ඒ ගැන මේ වන විට නඩුවක් තිබෙනවා. එම නිසා සජබ අනාගතය විසඳෙන ආකාරය අපට අනුමාන කරන්න බැහැ.

ජනාධිපතිවරයා ඡන්දයකට යනවා නම් එජාපයේ බලය, සජබයේ බලය හා පොහොට්ටුවේ බලය ඒකරාශී කරගෙන ඡන්දයකට යයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිවරණය තනි අශ්වයකුගේ රේස් එකක් වෙයි කියලා හිතන්නන පුළුවන්.

 

l ආර්ථිකය ස්ථාවරත්වය හා දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට හැකිව තිබේද?

රනිල් වික්‍රමසිංහ මහතාට භාර ගැනීමට සිදු වුණේ කඩා වැටුණු ආර්ථිකයක්. එවැනි තත්ත්වයක් තුළ ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන ආකාරයක් කාටවත් හිතා ගන්න බැරිව තිබුණා. ඒ එක්කම රටේ විශාල දේශපාලන අස්ථාවරභාවයක් තිබුණා. ජනාධිපතිවරයෙක් හිටියේ නැහැ. කැබිනට්ටුවක් තිබුණෙත් නැහැ. රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කැරැලිකරුවන් විසින් අල්ලා ගෙන හිටියා. විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වයකට යොමු කර තිබුණා.

රට භාර ගෙන ඉතාම කෙටි කාලයකින් යථා තත්ත්වය පත් කරන්න වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමත් වුණා. ඔහු ඉතාම කෙටි කාලයකින් රට නැවත නීතියේ පාලනය යටතට ගෙනෙන්න සමත් වුණා.

රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්නා විට රටේ ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් ආර්ථික ප්‍රශ්නයක්. අනෙක දේශපාලන අස්ථාවරභාවය.

ආදායම් කඩා වැටීම නිසා විශාල කම්පනයකට මුහුණ දී තිබුණු ආර්ථිකය ස්ථාවර කරන්න ජනාධිපතිවරයා සමත් වුණා. ඒ එක්කම ඔහු ගත් ක්‍රියාමාර්ග නිසා රුපියල ශක්තිමත් වුණා. ආනයන භාණ්ඩවල හිඟය ශක්තිමත් කරගන්නත් පුළුවන් වුණා.

 

l පසුගිය කාලය තුළ ලෝකයේ ඉහළම උද්ධමනය ඇති රටවල් අතර සිටි ශ්‍රී ලංකාව පසුගිය කාලයේ එම දර්ශකවලින් ඉවත් කර තිබෙනවා. තෙල් මිල පහළ ගොස් ඇති අතර ගෑස්, බස් ගාස්තු යනාදිය ක්‍රමයෙන් පහළ ගොස් තිබෙනවා. මෙයින් අපගේ ආර්ථිකය ගැන බැස ගත හැකි නිගමනය කුමක්ද?

පසුගිය කාලේ රුපියල් 450/=ට ගත්ත පරිප්පු කිලෝව දැන් රුපියල් 350/=ට ගන්න පුළුවන්කම ලැබී තිබෙනවා. කලින් භාණ්ඩ මිල තුන් ගුණයක් පමණ වැඩිව තිබුණා. දැන් ආහාර උද්ධමනය සියයට 40 ගණන්වලට පහළ බැස තිබෙනවා. ලබන මස වන විට එය සියයට 20-30 අතර ගණනකට පහළ යයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. මිනිස්සුන්ට වඩාත්ම දැනෙන මිල කාණ්ඩය වන්නේ ආහාර කාණ්ඩයයි.

මේ සිංහල අලුත් අවුරුදු සමයේ අපට වෙනදා නැති ප්‍රබෝධයක් දකින්න ලැබෙනවා. වෙනදාට සිංහල අවුරුදු කාලේ සාමාන්‍යයෙන් බඩු මිල ඉහළ යන කාලයක්. නමුත් මේ සැරේ භාණ්ඩ මිල පහළ ගිහින් තිබෙනවා. මඟ දෙපස තබා ගෙන භාණ්ඩ අලෙවි කිරීමට ගත් තීරණය භාණ්ඩ මිල අඩු කිරීමට බලපා තිබෙනවා. මේක හොඳ කාලීන අදහසක්. මේ තීරණය නිසා පාරිභෝගිකයාට සහන මිලකට භාණ්ඩ මිල දී ගත හැකි තත්ත්වයක් ඇති වෙනවා.

පාරිභෝගිකයාට හා නිෂ්පාදකයාට තිබෙන බලවත්ම ප්‍රශ්නය උද්ධමනයයි. උද්ධමනය හරි අඩකින් අඩු කර තිබෙනවා. ඒ නිසා දැන් පාරිභෝගිකයාට විශාල හැල හැප්පීමක් නැහැ. නිෂ්පාදකයාත් සෑහීමකට පත් වෙනවා. ආයෝජන ධෛර්යවත් වන විට නිෂ්පාදකයන් ධෛර්යවත් වෙනවා.

පොලී අනුපාතය ස්ථාවර තත්ත්වයක තියෙනවා. එය ඉදිරියේදි තවත් අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. බිඳවැටී තිබුණු ආර්ථිකයක් කඩිනමින් යථා තත්ත්වයට පත්වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.

නමුත් අප බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉක්මනින් ආර්ථිකය යථා තත්ත්වයට ගෙනෙන්න ජනාධිපතිවරයා සමත් තිබෙනවා.

 

l අයිඑම්එෆ් වාරිකය ලැබීමට අමතරව රුපියල ශක්තිමත් වීමට බලපෑ කරුණු මොනවද?

කොරෝන වසංගතයෙන් පසු අලුතින් ලක්ෂ ගණනක් විදේශ රැකියාවලට ගියා. ඔවුන් එවන සංක්‍රාම රටට ලැබෙනවා. ජවිපෙ අදහස්වලට පිළිගෙන රටට මුදල් එවන්නේ නැතිව හිටිය පිරිසක් හිටියා. ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ඔවුන්ටත් ඒ මුදල් එවන්න සිදු වුණා. දැන් අපේ විදේශ විනිමය හිඟය ක්‍රමයෙන් දිය වෙමින් යනවා.

ඒ වගේම මුදල් අච්චු ගැසීම නැවතී තිබෙනවා.

එයට අමතරව බදු ක්‍රම යනාදිය මඟින් රජයේ ආදායම ඉහළ ගොස් තිබෙනවා. ඒ එක්කම රජයේ වියදම විශාල වශයෙන් අඩු කර තිබෙනවා.

විදේශ විනිමය හිඟය අපට තිබුණු එක ප්‍රශ්නයක්. ඒක බාහිර ආර්ථිකයේ ප්‍රශ්නයක්. අභ්‍යන්තර ආර්ථිකයේ තිබුණු ප්‍රශ්නය වන්නේ රාජ්‍ය ආදායම හිඟ වීම පිළිබඳ ප්‍රශ්නයයි. අපට මේ ප්‍රශ්න ඇති වුණේ මේ පරතරයන් දෙක නිසයි. දැන් මේ පරතරයන් ක්‍රමයෙන් පියවෙමින් යනවා. ආර්ථිකය යථා තත්ත්වයට පත්ව ඇති බවට එය හොඳ සාධකයක්.

මිනිස්සු මේ ගැන සතුටට පත්ව තිබුණත් විපක්ෂයට ප්‍රශ්නයක්.

 

l මෙවර සිංහල අලුත් අවුරුදු සමයේ එළවළු මිල විශාල වශයෙන් අඩු වීමට හේතුව කුමක්ද?

පොහොර යනාදිය වෙලාවට ලැබුණ නිසා ගොවීන් වගාවට යොමු වුණා.

නමුත් එළවළු ඉල්ලුම අඩුව තිබෙන නිසා මිල පහළ යෑමක් දකින්න ලැබෙනවා. එයට අමතරව යාපනයෙන් විශාල වශයෙන් ආහාර ඇතුළු ආහාර ද්‍රව්‍ය ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

යාපනයේ ගොවීන් දේශපාලන පක්ෂ හැටියට සංවිධානව නැහැ. ඒ නිසා ඔවුන් කෑකෝ ගහන්නේ නැහැ. ඔවුන් වෙළෙඳපොළක් නැහැ කියලා චෝදනා කරන්නෙ නැහැ. මිල අඩුයි කියලා ඔවුන් මයික්වලට කෑගහන්නෙ නැහැ.

පසුගිය අවුරුදු තුනේම මිනිස්සුන්ට අවුරුදු සමරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ආණ්ඩුව භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. දැන් හිඟයකින් තොරව ගෑස් ගන්න තිබෙනවා පමණක් නෙමෙයි විශාල වශයෙන් මිල අඩු කර තිබෙනවා. සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යව තිබුණු ආර්ථිකයක් මාස 3ක් වැනි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කළ හැකිව තිබෙනවා. මම දන්න ආකාරයට ලෝකයේ කෙහේවත් බිඳවැටුණු ආර්ථිකයක් මේ තරම් ඉක්මනට යථා තත්ත්වයට පත්ව නැහැ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න

පීඨාධිපති, කළමනාකරණ පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

චන්දන ජයවීර

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *