රටවල් තුනක් ලංකාවේ යෝධ පිරිපහදු 2ක් තනන්න යයි

 

 

 

 

චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් ත්‍රිකුණාමලයේ හා හම්බන්තොට අලුතින් ඉන්ධන පිරිපහදු දෙකක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හැට එක සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස ඉන්දියාව නව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ඇරඹෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඉන්දීය සංචාරයේදී ඒ සම්බන්ධව වැදගත් තීරණ ගැනීමට නියමිතය. ඉන්දියාව සමග තුන්වැනි පාර්ශ්වයක් ලෙස ත්‍රිකුණාමල තෙල් ටැංකි ව්‍යාපෘතියට ජපාන රජයද එක්වීමට තීරණය කර ඇත.

නව තෙල් පිරිපහදුව ආරම්භ කිරීම සම්බන්ධව සොයා බැලීමට ඉන්දියානු රජයේ තෙල් සහ ස්වාභාවික වායු පිළිබඳ අමාත්‍යාංශ ලේකම් පන්කජ් ජාන් (Pankaj Jain) පසුගිය සතියේ ත්‍රිකුණාමලයේ සංචාරයකද නිරත විය.

මෙම නව පිරිපහදුව සඳහා ත්‍රිකුණාමල මාර්ගයේ පිහිටි ‘‘තඹලගමුව බේ’’ නම් වූ වරාය අධිකාරියට අයත් අක්කර පනස්දහසකින් යුත් ඉඩමේ කොටසකි. මෙම අක්කර පනස්දහසක ඉඩම බ්‍රිතාන්‍ය පාලන සමයේ ආරක්ෂිත කලාපයක් ලෙස වෙන්කර ඇත්තේ වරාය ආරක්ෂාව සඳහාය. ත්‍රිකුණාමල නගර සංවර්ධන සැලසුමට අනුව මෙම අක්කර පනස්දහසක ඉඩම කර්මාන්ත කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. ත්‍රිකුණාමල තෙල් ටැංකිවල සිට නව පිරිපහදුව දක්වා නළ පද්ධතියක් මතින් බොරතෙල් සපයා දීමට තීරණය කර ඇත. ත්‍රිකුණාමල තෙල් ටැංකි හැට එකක් සංවර්ධනය කිරීමට නියමිත අතර මෙම තෙල් ටැංකිවලින් සියයට පනස්එකක් (51%) ශ්‍රී ලංකාවටත්, සියයට හතළිස් නවයක් (49%) ඉන්දියානු ඔයිල් සමාගමටත් හිමිකාරිත්වයක් ඇත.

පාත්පයින්ඩර් පදන​මේ පැවති සාකච්ඡාවකදීත් ජපාන හා ඉන්දියානු තානාපතිවරුන් මෙම ඉදිරි සංවර්ධන ව්‍යාපෘති ගැන අදහස් හුවමාරු කරගෙන තිබිණි.

චීනයේ සිනෝපැක් ආයතනය හම්බන්තොට වරාය භූමියේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට නියමිතය. එහිදී පිරිපහදුව කරන ඉන්ධන වැඩි ප්‍රමාණයක් හම්බන්තොට වරාය ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන නෞකාවලට සැපයීමට නියමිතය. ලංකාවේ පරිභෝජනයට බෙදාහරින්න තීරණය කර ඇත්තේ සීමිත ප්‍රමාණයකි.

සිංගප්පූරුව භූමිය අතින් කුඩා වුවත් එහි පිරිපහදු හතරක් තියෙනවා. ඒවා පිරිපහදු කරන්න අවශ්‍ය බොරතෙල් නැව් ලංකාව පහු කරලා සිංගප්පුරුවට යනවා. සිංගප්පුරුවේදී එම බොරතෙල් පිරිපහදු කරලා අපෙන් අරන් ඇවිත් අපිටත් විකුණනවා. ලංකාවේ අලුතින් පිරිපහදු හැදුවම ඒ තෙල් ගන්න යන වියදමත් අඩුවෙනවා. අපිට රටක් විදියට අලුතින් පිරිපහදු දෙකක් ඇරඹීම කාලීනව වැදගත් දෙයක් වනවා. යුක්රේන් යුද්ධය සමග ජපානයටත් ලංකාවේ සිට ඉන්ධන රැගෙන යාමට අවධානය වැඩිවී තියෙනවා යැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමානාකාර අධ්‍යක්ෂ අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මේ බව සඳහන් කරමින් පැවසීය.

අරුණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *