මාලිමා ආර්ථික ප්‍රතිපත්තියට ජවිපෙ පයින් ගසයි ; ජාජබ ඇතුළේ මත ගැටුම්

 

ජාතික ජන බලවේගයේ ආර්ථික බුද්ධි මණ්ඩලය විසින් සකස් කොට රටට සහ ව්‍යාපාරික ප්‍රජාවට ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්තියේ ස්ථාවරයන්ට පටහැනිව ජවිපෙ නායකත්වය තම පැරණි ප්‍රතිපත්තිවල  සිට  ප්‍රකාශ නිකුත් කරන්නට සහ ක්‍රියා කරන්නට වීම නිසා ජාතික ජන බලවේගය තුළ බරපතළ මත ගැටුම් හටගෙන ඇති බව මාලිමාවට සම්බන්ධ තතු දත් ආරංචි මාර්ග කියයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම අනුමත කරන බව ජාජබ ප්‍රකාශ කළ ප්‍රතිපත්තියව තිබිය දී ජවිපෙ නායකයින් එයට එරෙහි ප්‍රකාශ කිරීම සහ රජය වාණිජ ව්‍යාපාරවලින් ඉවත්විය යුතු බවට ප්‍රකාශ කොට තිබු ස්ථාවරයට වෙනස් ව පෞද්ගලික කරණයට එරෙහි වීම මෙම මත ගැටුමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තිබෙන්නේ දුෂිත රාජ්‍යයන්ට ණය දීමට බවත්, එයින් මග පෙන්වන්නේ ස්වර්ගයට නොව අපායට බවත්, ආදී දැඩි විවේචන ජවිපෙ නායකයින් කිරීම,  ජාතික ජන බලවේගයේ ආර්ථික බුද්ධි මණ්ඩලය ව්‍යාපාරික ප්‍රජාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවට සම්පුර්ණයෙන් පටහැනි බවට ජවිපෙ නායකයින්ට චෝදනා එල්ල වී ඇත.

රජය ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් විය යුතුය යන්න ජාතික ජන බලවේගය ලෙස රටට ඉදිරිපත් කළ ස්ථාවරය යි. ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරණයට පක්ෂ විය යුතු බව ද , ජාතික ජන බලවේගයේ ජවිපෙ නොවන නායකයින්ගේ මතය වී තිබේ. මේ අතර ජවිපෙ නායකත්වයේ පිරිසක් එම අදහසට පටහැනිව ක්‍රියා කරන බවට චෝදනා එල්ල වී තිබේ.

ජාතික ජන බලවේගයේ ආර්ථික සමුළුවට සහභාගී වී එම පක්ෂයට  මුදලින් ආධාර කරමින් සිටි ව්‍යාපාරික ප්‍රජාව ද , ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ පැරණි ස්ථාවරයන් අනුව ක්‍රියා කිරීම ගැන කලකිරීමට පත්ව සිටින බව කියති. ජාතික ජන බලවේගය ව්‍යාපාරික ප්‍රජාවට ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්තිය රැවටිල්ලක් පමණක් දැයි ඔවුහු ප්‍රශ්න කරන බව ද වාර්තා වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනය සම්බන්ධයෙන් ද, ජාජබ සහ ජවිපෙ නායකයින් අතර මත ගැටුමක් පවතියි.

ජාතික ජන බලවේගයට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ ම සංවිධානයේ ප්‍රතිපත්ති අතහැරීම ජාජබයේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් වී ඇති බව අපගේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *