වෛද්‍යවරු ඇතුළු සේවකයන් විශ්‍රාම ගන්වන්න නියෝග දෙන්න අභියාචනාධිකරණයට බෑ – නීතිපති

 

වෛද්‍යවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය රාජ්‍ය සේවා කොමිසම සතු වන අතර, ඒ සම්බන්ධයෙන් නියෝග ලබා දීමේ හැකියාවක් අභියාචනාධිකරණයට නැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

වයස අවුරුදු 60දී තමන් විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරු 176 දෙනකු විසින් ගොනු කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ මහතා මේ බව සඳහන් කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ මහතා මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය. ව්‍යවස්ථාපිත නීතිය අනුව වයස අවුරුදු 60දී රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්විය යුතු බව ඒ මහතා සඳහන් කළේය.

එම තීරණය නීති විරෝධී වන අතර, අවම වශයෙන් වයස අවුරුදු 63 දක්වා සේවයේ දිගටම රැඳී සිටීම සිය නීත්‍යනුකූල අපේක්ෂාව බවට මීට පෙර පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ පෙන්වා දුන්හ. එබැවින් එම තීරණය බලරහිත කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. එම කරුණු සලකා බැලූ අධිකරණය රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට තීරණය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් ක්‍රියාත්මක වීම අත්හිටුවමින් මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

නෙල්කා මැදගෙදර

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *