|

අයි.එම්.එෆ්. හැර විකල්පයක් අපට තිබේද? – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වැනි රටවල් ආර්ථික අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවලදී ඒවායෙන් ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වන්නේ ඇයි? ඔවුන්ට ඒ සඳහා කුමන අයිතියක් තිබේද? ඒවා උනන්දු වන්නේ  ලෝකයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවලට සහායක් වීමට නොව අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල අවශ්‍යතා ඉටු කිරීමට නොවේද?. 

පසුගිය දින කිහිපය තුළ බොහෝ දෙනකු මගෙන් මෙවැනි ප්‍රශ්න විමසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳව බොහෝ දෙනකු නොදන්නා හෝ ඒ පිළිබඳව ඇති වැරදි අවබෝධය නිසා යැයි සිතමි. එබැවින් මෙම සංවිධානය අපගේ ගැටලු‍ විසඳීමට ඉදිරිපත් වන්නේ කුමන නෛතික හෝ දේශපාලනික බැඳීමක් නිසාද යන්නත් ලොව ආර්ථික වශයෙන් බිඳවැටුණු රටවල් ගොඩගැනීම සඳහා එම ආයතනය ඉටු කරන කාර්යභාරය පිළිබඳවත් විමසා බැලීම වටී.

 

 

 

 

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු 1940 දශකයේ ලෝකය තුළ සාමුහිකත්වය සහ ඒකාබද්ධතාවක් ගොඩනැගීම සඳහාත් නව ජාත්‍යන්තර පිළිවෙතක් ඇති කර ගැනීම සඳහාත් ආරම්භ වූ සාකච්ඡා බෙහෙවින් සාර්ථක වූයේ යැයි සිතමි. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කිරීමටත් ඒ හා සම්බන්ධ සිය ගණනක ආයතනික පද්ධතියක් ගොඩනැංවීම සඳහාත් ඉවහල් වූයේ එම සාකච්ඡාවලින් ලබාගන්නා ලද තීරණ සහ සම්මුතීන්ය.

1944දී අමෙරිකාවේ බ්‍රෙටන් වුඩ්ස් නගරයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මඟපෙන්වීම යටතේ ඇතිවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බිහිවූ සම්මුතිය බ්‍රෙටන් වුඩ්ස් සම්මුතිය ලෙස හඳුන්වනු ලැබේ. එම සම්මුතියෙන් ලෝක මූල්‍ය ක්‍රමය ස්ථාවර කිරීම අරමුණු කරගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතන දෙකක් පිහිටවනු ලැබීය. ඒවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලෝකයේ රටවල් අතර දේශපාලන ඒකාබද්ධතා ගොඩනැගුණු අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පිළිබඳ සම්මුතීන් මගින් ලෝකය තුළ මූල්‍ය ඒකාබද්ධතාවක් ඇති කිරීම සඳහා අවස්ථාව සැලසුණි.

1944 සිට 2023 දක්වා වූ වසර 79ක කාල පරිච්ඡේදය තුළ ලෝකය තුළ ඇතිවූ මහා ආර්ථික අර්බුදවලින් බේරී ලෝකය තුළ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා මෙම ආයතන දෙකම ක්‍රියාකාරී වැඩකොටසක් ඉටු කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික වගකීම වන්නේ රටවල් තුළ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද මූල්‍ය කටයුතු සම්බන්ධව ස්ථාවර බවක් සහ සමතුලිතතාවක් ගොඩනැගීමයි. එමෙන්ම තාවකාලික හෝ දිගු කාලීන ගෙවුම්ශේෂ අර්බුදවලට, ණය අර්බුදවලට, විනිමය අර්බුදවලට සහ වෙනත් සාර්ව ආර්ථික ගැටලු‍වලට මුහුණ දී සිටින රටවල් ඉන් මුදා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍යමය සහ උපදේශනාත්මක සහාය ලබා දීමට එය ඉදිරිපත් වේ.

ලෝක බැංකුව සංවර්ධනය වෙමින් පවත්නා රටවල මහජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා විවිධාකාරයේ සංවර්ධන ව්‍යාපෘතිවලට ආධාර ලබා දීමත් ඒ අතරේ පෞද්ගලික අංශය සහ වෙළඳපොළ ක්‍රමය දිරිගන්වන ව්‍යාපෘති සඳහා සහාය ලබාදීමත් අපේක්ෂා කෙරේ. මෙම ආයතන දෙකේ ඉතිහාසය තුළ 79 වසරක ගමන් මගේදී එම සේවා ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ද රටවල් මට්ටමින්  ද අතිවිශාල සේවාවක් ඉටු කර ඇති බව පැහැදිලි වේ.

කෙසේ වුවද මෙම ආයතන දෙකේ කාර්ය පිළිබඳව ඇගයීම් මෙන්ම විවේචන ද අතිවිශාල ප්‍රමාණයක් පවතින බව පෙනී යයි. ඒවා ආරම්භක කාලයේ සිට මේ දක්වා ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳව බොහෝ විට මෙම ඇගයීම් සහ විවේචන කේන්ද්‍රගත වී ඇති බව පෙනේ. ආර්ථික අර්බුදවලට මුහුණ දී සිටින රටවල් යථා තත්ත්වයට පත් කිරීම සඳහා දෙනු ලබන සහායට අදාළව ණය ලබාගැනීමේ දී ඒ ඒ රටවල් විසින් පිළිපැදිය යුතු කොන්දේසි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලැබේ.

බොහෝ දෙනකු එම ආයතනය විවේචනය කරනු ලබන්නේ මෙම කොන්දේසි පිළිබඳවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැමවිටම ක්‍රියාකර ඇත්තේ අර්බුදයට ලක්වන රටවල අර්බුදකාරී ස්වරූපය තවදුරටත් උග්‍ර කිරීමට බවත් ධනවත් රටවල ආර්ථික අවශ්‍යතා පිළිබඳව පමණක් සැලකිලිමත් වී මෙම කොන්දේසි පනවන බවත් ඔවුහු ප්‍රකාශ කරති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ණය කොන්දේසි පිළිබඳව අතිවිශාල සාහිත්‍යයක් ගොඩනැගී ඇති බැවින් ඒවා කෙටියෙන් හෝ සඳහන් කිරීමට මෙවැනි ලිපියක් ප්‍රමාණවත් නොවන බව දනිමි. කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව ප්‍රකාශයට පත්ව ඇති එවැනි විවේචන පදනම් කරගනිමින් මෑතක සිට ශ්‍රී ලංකාවේ සමහර මාධ්‍යවලින් ද IMF ණය පිළිබඳව නිශේදාත්මක මතවලට වැඩි ප්‍රසිද්ධියක් ලැබී ඇති බව පෙනේ. එසේ වුවද අප නිගමනවලට එළඹිය යුත්තේ එක් එක් කරුණක් පිළිබඳව ප්‍රකාශයට පත් වී ඇති සියලු‍ මතවාද නිරීක්ෂණය කිරීමෙන් සහ ඒ  තුළින් අපක්ෂපාතී තීන්දුවලට එළඹීමෙන් පමණි.

ග්‍රීසිය බංකොළොත්භාවයට පත් වෙද්දී එයට පිළියම් යෙදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කොන්දේසිවලින් සහ ලබාදුන් ආධාරවලින් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බව ද එම රටේ ආර්ථිකය තවදුරටත්  බිඳ වැටුණු බව ද දැක්වෙන සුලභ උදාහරණය බොහෝ විට IMF විරෝධී කණ්ඩායම්වලින්  ප්‍රකාශ වේ. එසේම ඒ ආකාරයටම අර්බුදයකට මුහුණ දුන් ආජන්ටිනාව IMF කොන්දේසි මගින් ගොඩගැනීමට නොහැකිවීම පිළිබඳව තවත් සමහරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට චෝදනා එල්ල කරති. මෙවැනි සුලභ උදාහරණ ඉදිරිපත් කරමින් ඇතැම් අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවතක්සේරුවට ලක් කර ඇත.

එහෙත් ආර්ථික අර්බුදවලට මුහුණ දී IMF වල පිහිට පැතූ බොහෝ රටවල් එම තත්ත්වයෙන් ගොඩවිත් සැලකිය යුතු මට්ටමක ආර්ථික ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. ඒ අතරින් ඉතා මෑත උදාහරණයක් වන්නේ අප්‍රිකාවේ ඝානා රටයි. එය 2015 වසරේ දී මුහුණ දුන් ආර්ථික අර්බුදයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන එය විසින් පනවන ලද කොන්දේසි අනුව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේය. අද වන විට එම රට ඉතා සාර්ථක අයුරින් සාර්ව ආර්ථික ස්ථායීතාව ගොඩනංවාගෙන ආර්ථික වර්ධන අනුපාතය ඉහළ මට්ටමකට පත් කරගෙන තිබේ. සර්බියාවට 2018දී IMF ණය ලබාගැනීම මගින් තමන් මුහුණ දී සිටි මූල්‍ය අර්බුදයෙන් අත්මිදීමට හැකි විය.

1990 දශකයේ අග භාගයේ අග්නිදිග ආසියාතික රටවල් මුහුණ දුන් මූල්‍ය අර්බුදයේ දී එම රටවල් ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගු කළ සහයෝගීතාව එම රටවලට එම අර්බුදයෙන් ගොඩ ඒමටත් කලාපය තුළ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීමටත් ඉවහල් විය. ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, පිලිපීනය වැනි රටවල් ආසියානු මූල්‍ය අර්බුදයෙන් ගලවා ගැනීමට හැකි වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසාය යන අදහස බොහෝ ආර්ථික විද්‍යාඥයෝ පිළිගනිති. මේ ආකාරයට මෑතකදී ඇති වූ ආර්ථික අර්බුදවල දී ආසියානු, අප්‍රිකානු සහ දකුණු අමෙරිකානු රටවල් විශාල ගණනක් IMF ආධාර නිසා යථා තත්ත්වයට පත් වී ඒ රටවල ආර්ථිකය ස්ථාවර කරගෙන ඇති බව පැහැදිලි වේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බොහෝ දෙනකු නගන ප්‍රශ්නයක් වන්නේ අපගේ අර්බුදය විසඳාගැනීමට IMF යාම හැර වෙනත් විකල්පයක් නොතිබුණේද යන්නයි. ‘IMF වෙතින් මූල්‍ය ආධාර ලබා ගැනීමේදී අපේ කොන්දේසිවලට අනුව ගිවිසුම් ඇතිකරගන්නා බවට’ සමහර දේශපාලන නායකයන් කරන ප්‍රකාශවලද ‘කොන්ද කෙළින් තියාගෙන IMF වෙත යා යුතු බවට’ සමහර දේශපාලනඥයන් කරන ප්‍රකාශවල ද කිසිදු වලංගුභාවයක් නොමැති බව පිළිගැනීමට සිදු වේ.

මෙවැනි විකාරරූපී යැයි සැලකිය හැකි අදහස් හැරුණු විට IMF වෙනුවට වෙනත් කිසිදු විකල්පයක් මේ දක්වාම ඉදිරිපත් වී නැත. සමහර දේශපාලන පක්ෂ නායකයන් තමන් බලයට පැමිණියහොත් තුන්වැනි පාර්ශ්වයක ආධාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇති නමුදු තුන්වැනි පාර්ශ්වය කවුරුන්ද යන්න හඳුන්වා දී නැත. IMF හැර කවර නම් වූ තුන්වැනි පාර්ශ්වයක් ද?

ශ්‍රී ලංකාව 1950 වසරේ අගෝස්තු මස 29 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගත්තේය. මීට අවුරුදු 52කට පෙර 1965 ජූනි මස ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගත්තේය. 2019 ජූනි මස දක්වා ශ්‍රී ලංකාව එම ආයතනයෙන් SDR 3585 ක ණය මුදල් ලබාගෙන තිබේ.

එම කාලය තුළ ශ්‍රී ලංකාව එම අරමුදලෙන් ණය ලබා ගැනීම සඳහා අවස්ථා 16ක දී ගිවිසුම් අත්සන් කර ඇති අතර ඒවායින් ගිවිසුම්ගත සම්පූර්ණ මුදල් ප්‍රමාණය ලබාගෙන ඇත්තේ අවස්ථා නවයකදී පමණි. ඉන් ඉතිරි අවස්ථා හතේදී සම්පූර්ණ ණය මුදල ලබාගෙන නැත. බොහෝ දුරට එවැනි අවස්ථාවල දී රට තුළ ඇති වූ දේශපාලන වෙනස්කම් හෝ පැවති රජය එකඟ වූ කොන්දේසි ඉටු නොකිරීමය.

මේ මස 23 වැනිදා ශ්‍රී ලංකාව 17 වැනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගත්තේය. ඒ මුල් අවස්ථා 16 දීම පැවති තත්ත්වයට වඩා වෙනස් පරිසරයක සිටය. එහෙත් 17 වැනි වතාවට ණය ඉල්ලන විට ශ්‍රී ලංකාව ණය ගැනීමට නොහැකිව බංකොළොත්බව ප්‍රකාශ කර තිබුණි.

17 වැනි ණය ලබා ගැනීමේ පළමු ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව බංකොළොත්භාවයෙන් අත්මිදීමය. ඉදිරි ගමන දුෂ්කර වුවද 17 වැනි ගිවිසුම යටතේ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ අවසානයේ ශ්‍රී ලංකාවට සංවර්ධනය සම්බන්ධයෙන් නව මාවතක් විවර වී තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ

හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

සුනන්ද මද්දුමබණ්ඩාර

 

ලංකාදීප

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *