පෙරළන හීනය – සී ජේ අමරතුංග

මේ මොහොතේ අප රටේ තිබෙන්නේ හවුල් ආණ්ඩුවකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයාය. මෙම පක්ෂ දෙක සාම්ප්‍රදායික වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කළ ප්‍රධාන පක්ෂ දෙකකි. නවසිය පනස් ගණන්වල සිට රටේ දේශපාලන බලය සඳහා ප්‍රධාන සටන පැවැතියේ මෙම පක්ෂ දෙක අතරය. එම පක්ෂ නියෝජනය කළේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ මතවාද බව ද පැහැදිලිව පෙනෙන්නට තිබිණි. එම දෙපාර්ශ්වය එකතු වී පවත්වාගෙන යන යහපාලන ආණ්ඩුව ඇතැම්විට පෙනී යන්නේ අදහාගත නොහැකි සිදුවීමක් වශයෙනි. එමනිසාම එහි පැවැත්ම පිළිබඳව සැක මතුකිරීමට ද බොහෝ දෙනා පෙළඹී සිටිති. එසේ වුවද මෙම ආණ්ඩුවේ පැවැත්ම තේරුම් ගත හැක්කේ මේ මොහොතේ දේශපාලන පෙළගැසීම් හඳුනා ගැනීමෙනි. ආණ්ඩුවේ ස්ථාවර බව හෝ අස්ථාවර බව තේරුම් ගත හැකි වන්නේ එම දේශපාලන පෙළගැසීම් හැදෑරීම මඟිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ නායකත්වය දැරුව ද ඔහුගේම නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ආණ්ඩුව සමඟ නැත. එම පිරිස තවත් කුඩා පක්ෂ කිහිපයක් සමඟ ක්‍රියා කරන්නේ ඒකාබද්ධ විපක්ෂය නමිනි. ඔවුන් කියන්නේ තමන්ට එජාපය සමඟ ආණ්ඩුවක සිටිය නොහැකි බව. ඔවුන් ජනාධිපතිවරයාට කියන්නේ ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන ලෙසයි. එයට එජාපයෙන් ද කොටසක් ගත හැකි බවට මෙම පිරිස සිහින දකිති. ඔවුන් කියන්නේ එසේ කරන්නට තමන් ජනාධිපතිවරයාට සහය දෙන බවයි. දෙදහස් විස්සට පෙර ආණ්ඩුව පෙරළන බවට මෙම පිරිස මැත දොඩවන්නේ එබඳු සිහින දකිමින්ය.

ආණ්ඩු ඇතුළේ පවතින මත ගැටුම් සහ කළකිරීම් ඇතැම් විට ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්වන අවස්ථා ද නැත්තේ නොවේ. ජනාධිපතිතුමා පසුගියදා කළ කතාවක් මගින්ද එබඳු තත්ත්වයක් ප්‍රකාශයට පත් විය. එයින් ඇතිවූයේ ද ආන්දෝලනාත්මක තත්ත්වයකි. ඒකාබද්ධ විපක්ෂයේ උදවිය ටික දිනක් චණ්ඩීන් වී සිටියේ ආණ්ඩුවේ මහා බෙදීමක් ගැන සිහින දකිමින්ය. එසේ වුවද දින කිහිපයක් යන විට ජනාධිපතිතුමා තමා අදහස් කළේ කුමක්දැයි රටට පැහැදිලි කළේය. එම පැහැදිලි කිරීම් මගින් හෙළිදරව් වූයේ සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකි.

අමාත්‍ය මණ්ඩලය තුළද දෙපාර්ශ්වයේ මැති ඇමැතීන් අතර මත ගැටුම් ඇති බව කියති. බොහෝ අමාත්‍යාංශවල ඇමැති හා නියෝජ්‍ය ඇමැති පත්කොට ඇත්තේ පක්ෂ දෙකෙනි. ඇතැම් අමාත්‍යාංශවල මේ දෙදෙනා හොඳින් වැඩ බෙදාගෙන ක්‍රියාකරන බව පෙනෙන්නට ඇතත් තවත් තැනක ඇත්තේ ගැටුම්කාරී තත්ත්වයකි. එකිනෙකට ප්‍රතිපක්ෂව සිටි පක්ෂ දෙකක් ආණ්ඩුවක් කරගෙන යන විට එබඳු තත්ත්වයක් ඇතිවීම බලාපොරොත්තු විය යුතුය.

එක්සත් ජාතික පක්ෂය මෙරට වාමාංශිකයන් විසින් හඳුන්වනු ලැබුවේ දක්ෂිණාංශික පක්ෂයක් වශයෙනි. ඒ එම පක්ෂය ප්‍රධාන වශයෙන් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය මත විශ්වාසය තබා කටයුතු කිරීම නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩාත් නැඹුරුව සිටියේ රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමටය. ඔවුන් එය හැඳින්වූයේ සමාජවාදය වශයෙනි. දෙපාර්ශ්වය අතර ගැටුම පැවැතියේ එම මතවාද දෙක ඔස්සේය.

කෙසේ වෙතත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වරෙක ප්‍රකාශ කළේ මෙරටෙහි දේශපාලන ගැටුම පැවැතියේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය හා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය අතර බවය. එසේ කීමට හේතු ද තිබිණි. එක්සත් ජාතික පක්ෂය වෙළෙඳපොළ ආර්ථිකය ගැන විශ්වාසය තැබුවද ශ්‍රී ලංකාවේ වැඩිම රාජ්‍ය ආයතන සංඛ්‍යාවක් පිහිටුවීමේ වාර්තාව හිමිව ඇත්තේ 1965 – 70 පැවැති එජාප ආණ්ඩුවටය. එම සංඛ්‍යාව පන්සියයකට අධිකය. එමෙන්ම එජාපය සමාජ සුබසාධනය ද පවත්වාගෙන ගියේය. 1977 න් පසුව ඇතැම් සුබසාධන ඉවත් කළද සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස ආදී බොහෝ ක්ෂේත්‍රවල සුබසාධනය දිගටම පවත්වාගෙන ගියේය. පාසල් සිසුන්ට නොමිලේ පොත් ලබා දුන්නේද, පසුව නිල ඇඳුම් ලබා දුන්නේ ද එම ආණ්ඩුවයි. ජේ. ආර්. ජයවර්ධන මහතා 1978 ව්‍යවස්ථාවෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් ලෙස හඳුන්වන ලද්දේ එම සුබසාධන මතවාදයේ පිහිටා බව කියති.

පක්ෂ දෙකේ මතගැටුම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජවාදය ගැන කතා කළද වෙළෙඳපොළ ආර්ථිකය මුළුමනින් වෙනස් කිරීමට කිසි දිනක උත්සාහ දැරුවේ නැත. ඒ වෙනුවට උත්සාහ කළේ වෙළෙඳපොළ පාලනය කිරීමටය. එලෙස එජාපයත්, ශ්‍රීලනිපයත් අතර මත ගැටුම දරුණු ලෙස පැවතියේ වුවද කිසි දිනෙක එය අන්ත දෙකක ගැටුමක් ලෙස නොපැවති බව පෙනෙන්නට තිබේ. ඇතැම් විද්වතුන් මෙම ගැටුම හඳුන්වන්නට යොදාගත්තේ ‘මධ්‍ය දක්ෂිණාංශික’ ‘මධ්‍ය වාමාංශික’ වැනි යෙදුම්ය. ප්‍රධාන පක්ෂ දෙක අතර එදා පැවති ගැටුම ද දැන් බොහෝදුරට තුරන් වී ඇති බව ද පෙනෙන්නට තිබේ. සෝවියට් දේශය හා සමාජවාදී ලෙස පැවැති රාජ්‍යයන් බිඳවැටීමෙන් පසුව ලෝකයේ මතවාදය ද වෙනස් වී ඇත. 1977 ට පෙර පැවැති සංවෘත ආර්ථිකය ගැන අද කතා කරන්නේ නම් ඒ අන්තවාදී සුළු පිරිසකි. චීනය හා වියට්නාමය වැනි කොමියුනිස්ට් පක්ෂ පාලනය යටතේ පවතින රාජ්‍යයන් සිය ආර්ථික විවෘත කිරීම නිසා දැන් වමට ද අලුතින් සිතන්නට සිදුව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද එලෙස අලුත් වන්නට සිදුවිය. විවෘත ආර්ථිකයට මානුෂිය මුහුණුවරක් යන සටන් පාඨය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 1994 දී හඳුන්වා දීමෙන් පසු කාලයේ මෙම මතවාදී වෙනස ගැඹුරින් සිදුවී ඇති බව පෙනෙන්නට තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික දැක්ම ද වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එජාපයෙන් නිකුත් වූ ප්‍රතිපත්ති ප්‍රකාශන මඟින් රාජ්‍ය අංශය දුර්වල කිරීමේ දර්ශනයක් දකින්නට ලැබෙන්නේ නැත. තිබෙන්නේ රාජ්‍ය පෞද්ගලික සහභාගීත්වය සඳහා වූ දර්ශනයකි. අනෙක් අතට සියල්ල වෙළෙඳපොළට පැවැරීමේ ලිබරල්වාදී දර්ශනය වෙනුවට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ දර්ශනයේ ඇත්තේ රාජ්‍ය මැදිහත් වී වෙළෙඳපොළ කළමනාකරණය කිරීමේ දර්ශනයකි. මෙය මධ්‍යගත කරන දර්ශනයක් ලෙස ඇතැම් ලිබරල්වාදී විද්වතුන්ගේ විවේචනයට ලක්වන බවක් ද පෙනෙන්නට තිබේ. මෙලෙස අතීතයේ පසමිතුරු දෘෂ්ඨිවාද දෙකක් ලෙස පෙනී ගිය එජාප හා ශ්‍රීලනිප මතවාද අතර පරස්පරය මේ වන විට බොහෝදුරට තුරන්ව ගොසිනි. එය යහපාලන ආණ්ඩුවක පැවැත්මට එක් හේතුවකි.

වත්මන් ආණ්ඩුව බිහිවන්නේ මෙම පක්ෂ දෙකේ නායකයන් දායක වූ පොදු අරගලයක ප්‍රතිඵලයක් වශයෙනි. එම පොදු අරගලය නම් මහින්ද රාජපක්ෂ මහතාගේ දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය පෙරළා දැමීමට කළ අරගලයයි. එම අරගලයට මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප කණ්ඩායමක් ද සමඟ පැමිණ දායක වූයේ ජනාධිපතිවරණ සටනේ පොදු අපේක්ෂක භූමිකාව බාර ගනිමින්ය. ජනාධිපතිවරයා කියන පරිදි ඔහුට ශ්‍රීලනිප ඡන්ද ලැබුණේ සියයට 12 ප්‍රතිශතයක් පමණි. එසේ කීමෙන් ජනාධිපතිතුමා කියා ඇත්තේ තමන්ට ඡන්දය දුන්නේ කවුදැයි තමන්ට අමතක නැති බවයි.

මෙරටෙහි බොහෝ දේශපාලන පක්ෂ, පුරවැසි සංවිධාන, බහුවිධ සංවිධාන හා තනි තනි පුද්ගලයන් ලෙස පවා දායක වෙමින් හා කැපකිරීම් කරමින් කළ එම මහ සටන තුළ ඇතිවූ සබඳතා පහසුවෙන් බිඳ දැමිය නොහැකිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සබඳතාවය ගොඩනැඟී තිබෙන්නේද ඒ ආකාරයෙනි. එමනිසා මෙය සාමාන්‍ය සභාග ආණ්ඩුවකට වඩා ස්ථාවරය.

ඩඩ්ලි සේනානායක මහතා 1965 දී පිහිටුවූ හත් හවුල් ආණ්ඩුවේ එකිනෙකට වෙනස් පක්ෂ ගණනාවක් නියෝජනය වීය. ප්‍රබල මාක්ස්වාදියකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ එම හවුලට සම්බන්ධ වී සිටියේය. එමෙන්ම එස්. ජේ. වී. චෙල්වනායගම් මහතාගේ ෆෙඩරල් පක්ෂය හත් හවුලේ සාමාජික පක්ෂයකි. වාමාංශිකයන් හිතුවේ ආණ්ඩුව ඉක්මනින් පෙරළිය හැකි බවයි. තම ප්‍රතිපත්ති ද පාවාදෙමින් වාමාංශිකයෝ ඩඩ්ලි – චෙල්වා ගිවිසුමට එරෙහිව පෙළපාලි ගියහ. ගිවිසුම ඉරා දැමුවද ආණ්ඩුව වැටුණේ නැත. එම ආණ්ඩුව 1970 දක්වා දිගටම බලයේ රැඳී සිටියේය. එසේ කළේ ආණ්ඩුව තුළ සම්මුතිවාදය ක්‍රියාවට නඟමින්ය.

1970 දී ද බලයට පත්වූයේ සමඟි පෙරමුණ නම් සභාග ආණ්ඩුවයි. එහි සාමාජිකයකුව සිටි ලංකා සමසමාජ පක්ෂය 1975 දී ඉන් ඉවත්වීය. නැතහොත් ඉවත් කරනු ලැබීය. ආණ්ඩුව වැටුණේ නැත. එයට හේතුව නම් අනෙක් පක්ෂ ඉවත්වුවත් ආණ්ඩුව ගෙන යන්නට තරම් බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිමිකරගෙන සිටීමයි.

ජනාධිපති බලය යොදා ආණ්ඩුවක් පෙරළා දැමීම අත්දකින්නට ලැබෙන්නේ 2004 දීය. එවිට කළේ පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව තිබූ එජාප ආණ්ඩුව විසුරුවා හැරීමයි. ඒ වන විට ජවිපෙ හා ශ්‍රීලනිපය අතර සන්ධානයක් ද ගොඩනැඟී තිබිණි. එය දේශපාලන ශක්තියක් ලෙස යොදාගත හැකි විය.

පාර්ලිම්න්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට එදා තිබුණු බලය අද නැත. මෙම පාර්ලිමේන්තුව 2020 දක්වා පවතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දහනව වන සංශෝධනය හඳුන්වාදීමෙන් පසුව තත්ත්වය එයයි. මෙම පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටයි. එමෙන්ම දෙමළ ජාතික සන්ධානයට හා ජනතා විමුක්ති පෙරමුණට ද සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් හිමිව ඇත. ඒ අය‍ගේ දේශපාලන මතවාද මොනවාදැයි රටම දනිති. මෙම පාර්ලිමේන්තු සංයුතිය වෙනස් කරන්නට ජනාධිපති බලයට හැකියාවක් නැත. ඒකාබද්ධ විපක්ෂය කොහොම හිතුවත් අපට පෙනෙන ආකාරයට නම් ජනාධිපතිවරයා එවැන්නක් ගැන හිතන්නේවත් නැත. සිතීමට වුවමනාවක් හෝ හැකියාවක් ද ඇති බවක් පෙනෙන්නට නැත.

එජාපයෙන් පිරිසක් ආණ්ඩුවට ගැනීම සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ මුල් කාලයේදීය. එය කළේ ඒ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබියදීය. එමෙන්ම ජනාධිපති බලතල ඇතිව සිටියදීය. පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ද තිබිණි. එමෙන්ම එවැන්නක් දේශපාලන වශයෙන් සාධාරණීකරණය කිරීමේ හැකියාවක් ද තිබිණි. ඒ එවකට පැවැති යුද්ධ තත්ත්වයයි. මේ කියන සාධක කිසිවක් හෝ එයට සමාන කිසිදු තත්ත්වයක් අද නැත.

සිහින දැකීම

ඒකාබද්ධ විපක්ෂය යැයි පෙනී සිටින කණ්ඩායම කියන්නේ ජනාධිපතිතුමා තමන් සමඟ එක්ව ජනාධිපති බලය යොදා එජාපයෙන්ද පිරිසක් රැගෙන ඇමැතිකම් දී ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි. එලෙස ජනාධිපතිතුමාට එකතු වන්නට කියන්නේ කෙබඳු පිරිසක් සමඟද යන්න ද වැදගත් ය. ඒ මහින්ද රාජපක්ෂ කණ්ඩායමයි. පසුගිය කාලයේ රටේ මහජන ධනය කොල්ලකෑ පිරිසයි. ජනමාධ්‍යවේදීන් මෙන්ම පෞද්ගලික කෝන්තර මත ද මිනීමැරූ පිරිසයි. එම තතු දැන් එළියට එමින් පවතියි.

තැනක කෝටි ප්‍රකෝටි ගණනක ධනයට කිසිදු හිමිකරුවෙකු නැත. තවත් තැනක මුණුබුරන්ට දේපළ ගන්නට ආච්චීට මැණික් මලු ලැබී ඇත‍්තේ නොදන්නා උදවියගෙනි. මේ සිදුව ඇත්තේ මොනවාදැයි මේ රටේ ජනතාවට අමුතුවෙන් කියා දිය යුතු නැත. තවත් සොරකම් දූෂණ රාශියක් ගැන පරීක්ෂණ සිදුවෙයි. ඒ සියල්ලෙන් හෙළිවන්නේ සිදු වී ඇති කොල්ලකෑමේ ප්‍රමාණයයි.

ජයග්‍රහණය හිමිවීම

මිනිස් ඝාතන රැසක තොරතුරු ද එළියට එමින් පවතියි. මේවා බොරු ‍චෝදනා, දේශපාලන පළිගැනීම් යැයි කීවාට මේ රටේ ජනතාවට අත්දකින්නට බැරිය. සිදුවූයේ කුමක්දැයි තේරුම් ගැනීමට ජනතාව බුද්ධිමත්ය.

ජනාධිපතිතුමාට තමන්ගේ ආණ්ඩුවක් හදාගන්නට සම්බන්ධ කර ගන්නට කියන්නේ මෙබඳු පිරිසක් ද? දේශපාලන වශයෙන් දිගින් දිගට පිරිහෙමින් දුබලවෙමින් සිටින පිරිසක් ද?

ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කළේ රට තුළත් පක්ෂය තුළත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය දුර්වල කොට එතුමා තම සැලැස්මට නතුකර ගැනීමටය. ඔවුන් විරෝධතා රැළි තිබුවේ තරගෙට මැයි දින තිබ්බේ පා ගමන් ගියේ ඒකටය. එසේ වුවද එම තරගයෙන් ජය හිමිව තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බව පැහැදිලිය. රට තුළ මෙන්ම පක්ෂය තුළද දැන් ජනාධිපතිතුමා වඩා ශක්තිමත්ය. රාජපක්ෂ කල්ලියේ කෙරුවාව හෙළිවන තරමට එම ශක්තිය වඩාත් ඉහළ යනු ඇත. ප්‍රධාන පක්ෂ දෙකක් එකට වැඩ කිරීමේදී මත ගැටුම් ඇතිවීම ස්වභාවිකය. එකම පක්ෂයේ වුවද එබඳු ගැටුම් තිබිය හැකිය. එසේ වුවද එම ගැටුම් නිසා ආණ්ඩු පෙරැළෙනු ඇතැයි සිතීම මිථ්‍යාවකි. එය තේරුම් ගත හැකි වන්නේ දේශපාලන පෙළගැසීම් හැදෑරීමෙනි. එබැවින් අපට කිව හැක්කේ යහපාලන ආණ්ඩුව අද හෙට පෙරළා දැමීමට සිහින දකින්නන් මෙන්ම එය අස්ථාවර යැයි හිතන්නන් ද සිටින්නේ මුළාවක බවයි.

අන්ත අසරණ භාවයට පත්ව සිටින ඒකාබද්ධ විපක්ෂයට එයින් යම් ආතල් එකක් ගත හැකිය. එයින් රටට ඇති සෙතක් නැත. රටට සෙතක් අත්වන්නේ යහපාලන ආණ්ඩුව වඩාත් ස්ථාවරව පවත්වාගෙන යෑම මඟිනි. දේශපාලනය පෙළගැසී ඇත්තේ ඒ ආකාරයටය.

සී. ජේ. අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *