ජනාධිපතිතුමාගෙ නියපොතු කපපු හැටි – අජිත් පැරකුම් ජයසිංහ

රාවයේ තිස්වන සංවත්සරය බලන්න ගියානේ.

මං ඉතින් යනකොට ටිකක් පරක්කු වෙලා. අපට ඉතින් ඔය බණ්ඩාරනායක මෙව්ව එක ගෙදර වගේ යැ. මං ඉතින් හෙණ ඈත බස් නැවතුමෙන් බැහැලා පයින් කොටලා ප්‍ර‍ධාන ඇතුළුවීම පැත්තෙන් ම රතු පලස මතින් ගිහින්, අහන්න කෙනෙක් නැති නිසා කැන්ටිමේ හාදයකුගෙනුත් අහලා ගියා කෙළින් පාරෙන් ම වහෙන් ඔරෝ නැතුව අදාළ ඉස්තානෙට.

අප්පට සිරි! සිනා සිසී ඉන්නෙ නැතෑ කළු ඇඳුම් ඇඳපු හාදයො වගයක් මග.

“මහත්තය දෙන්නකො බෑග් එක” කියලා ඉල්ලගෙන පොඩි සිකුරිටි හාදයෙක් අවුස්සන්න ගත්තා පිස්සගෙ පළා මල්ල. ඒ අතරෙ ලොකු සිකුරිටි බලපි මගෙ සර්වාංගය. සාක්කුවෙ මාරු කාසි වගයක් තිබිලා බීප් බීප් ගාපි!

බෑග් බලන පොඩි සිකුරිටි මං දවල්ට කන්න කෑම ගෙනාපු පෙට්ටියත් ඇරලා බලාපි. ඌට දෙයක් ඉතුරු කළේ නැහැ මං ඒකෙ.

ඔය අස්සෙ තව හුට්ටප්පරයකුත් වුණා. අපේ දූලගෙන් නියපොතු කපන කටර් එකයි උන්ගෙ නියපොතුයි බේර ගන්න බැරි නිසා මං ඒක දාගෙන තිබුණ මගෙ බෑග් එකේ. කෙළියා තාප්පෙට.

පොඩි සිකුරුටි මං හිතන්නෙ ඇත්තට ම මේ ආණ්ඩුවට මාර ආදරෙයි. මේ ආණ්ඩුව පොරවෙන්වත් කපන්න බැරි වෙන්න ඉස්සෙල්ලා මං නේල් කටර් එකෙන් කපයි කියලා ඌ හිතන්න ඇති.

ඌ ඒක එකෙළ මෙකෙළ කරනකල් මං ලොකු සිකුරිටිට තෙලක් බෙදුවා. මේකට ලොකු ලොක්කො එන බව දන්නවා නම් මං එන්නෙත් නැහැ ය කියලා. ඌත් ඉතින් පූසා වගේ හිනා වෙන නිසා මං තවත් පොර වෙලා කිව්වා අපි නම් ඕකුන්ව ගණන් ගන්නෙ නැහැ කියලාත්. ඇත්ත නේ. අපට ඕකුන්ව ගණන් ගන්නවත් කිට්ටු කරන්න පුළුවනෑ.

කොහොමින් කොහොම හරි අදාළ තැනට ගියයි කියමුකෝ. මං නිමල් අබේසිංහට මේ කාරණේ කිව්වා ම “අර පැත්තෙන් ආවා නම් ඉවරයි නේ,” කියලා කාර් පාක් එක පැත්ත පෙන්නුවා. මොකෙක්වත් චෙක් කරන්නෙ නැහැ. සිවිඩ්ඩෙන් කොස් ඇටේ පැඩ්ඩෙනවා වගේ සිම්ප්ලි හෝල් එක ඇතුළට යන්න පුළුවන්.

අනේ මුන්ගෙ අම්මගෙ සිකුරිටි. සුයිසයිඩ් කාරයෙක් වුණත් ප්‍ර‍ධාන දොරටුවෙන් ආවොත් විතරයි මුන් පරීක්ෂා කරන්නෙ. උන්ට ම හරියන සිකුරිටි!

මං යනකොට වික්ටර් අයිවන් සහෝදරයාගේ කතාව අහවරයි. මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුණාට වැටුණෙ පොද වැස්සක් ය කියල ඔහු කියල තියෙනවා. මහ නියඟෙකට ඉතින් පොද වැස්සකින් ඇති වැඩක් තියෙනව යැ. පස්සෙ ජනාධිපතිතුමා කිව්වෙ ඒක මල් වැස්සක් ය කියලා. ඔව් ඉතින් ඒගොල්ලන්ට එහෙම නැතෑ.

අනුර කුමාර දිසානායක දුන්නා ජනාධිපතියි, අගමැතියි වේදිකාවේ තියාගෙන ඇට්ටි හැළෙන්න. ලැජ්ජාවක් තියෙනවා නම් මූණ රතු වෙන්න ඕනැ කොණ්ඩ කුරුල්ලෙකුගෙ පුක වගේ. ඒ වුණාට ඉතින් අනුරටවත් එහෙම එකක් නැති එකේ මෛත්‍රීපාලට තියෙයි යැ. රනිල්ට නම් නැති බව පහුගිය දවස්වල ඔප්පු කරලා පෙන්නුවනේ. හැබැයි මං හිතන්නෙ සමාජයෙ තියෙන පොදු දෝස්මුර ටික ඔක්කොම අනුර දෙසා වැදෑරුවා.

ප්‍රේක්ෂකයන් අතරෙ හිටිය 2015 ජනවාරි 8 විප්ලවීය දේදුනු වර්ණ හමුදාව ම. රාවය වැදගත් වෙන්නෙ අලෙවිය නිසා නො වන බව දන්නා අනෙකුත් අයත් ඇවිත් හිටියා.

මං හිතන්නෙ රාවය කළේ මෛත්‍රීටයි, රනිල්ටයි කර ගන්න බැරි වැඩක්. රාවය ඒ බැටෑලියන් එක ආපසු කැඳවා දුන්නා උන්නැහේලගෙ දුක් ගැනවිල්ල අහන්න. මෛත්‍රී හරි රනිල් හරි කැඳෙව්වා නම් නො යන අයත් එතන හිටියා. උදාහරණයක් තමයි මේ මම.

ඉතින් ඒ පිරිස ඉදිරියේ මෛත්‍රීයි, රනිලුයි හොටු පිහදමමින් අනුකම්පාව දිනා ගන්න උත්සාහ කළා. බොරු කියන්න ඕනැයැ. මට නම් පව් කියලා හිතුණා. ඒ හින්දා මාත් ආයෙමත් තීරණය කළා ඔන්න ඔහේ 2020 වෙනකල් සහයෝගය දීලා බලනවා ය කියලා. හැදෙනවා නම් හැදියව්. නැතිනම් මක බෑ වෙයව්. මොක්කු වුණත් ඉතින් අරුන්ට වඩා හොඳයි නේ. අඩු ගානෙ නිදහසේ බනින්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් හරි තියෙනව නේ.

අනුර දිසානායක නම් කියන්නේ ඒගොල්ලන්ට ආණ්ඩුවක් පිහිටුවන්න අලුත් බලවේගයක් හදන්න ඕනැ ය වගේ මෙව්වා එකක්. ඒකෙ අවුල තියෙන්නෙ ඉතින් අපට තියෙන්නෙ බලවේගෙ හදන්න විතරක් වෙන එකයි. දැන් වගේ බනින්නවත් පුළුවන් වෙයි ද දන්නෙ නැහැ.

සම්බන්ධන් ලොක්කා පාසල් සාහිත්‍ය සමිතියක මගේ රට මාතෘකාවෙන් පහේ ළමයෙක් කරන විදියෙ කතාවක් කරද්දි රාවුෆ් හකීම් ලොක්කා කියෙව්වෙ නැතෑ ඔබ්සර්වර් එකට ලකී ලියන කොලෝනියල් කතුවැකිය වගේ එකක්.

ඔය අස්සෙ රාවය තරුණ විචාරක තරගයේ ජයග්‍රාහකයන්ට සම්මාන වගේකුත් දුන්නා. ජයග්‍රාහී තරුණ විචාරකයො ජනාධිපතිගේ පාද නමස්කාර කර කර ඔය ගත්තෙ සම්මාන. උන්ට දොස් කියල වැඩකුත් නැහැ. සභාවෙ තිබුණෙ ඔක්කොම ශ්‍රී නොම්මර කාලෙ ඩයල්.

රාවයට සුබපතන්න දෙයක් නැහැ. මං රාවයෙ කොටසක් ද නැද්ද මං දන්නෙ නැහැ. ඒ වුණාට රාවය කියෙව්වෙ නැති වුණා ම අවුල් වගේ ඒකට ලිව්වෙ නැති වුණාමත් ටිකක් අවුල්. හෙට පාන්දර තුනට නැගිටින්න ඕනැ තනියායට ලිපියක් ලියන්න. උඩුවා අද දවසට කෝල් තුනක් ද හතරක් ද දුන්නා. හැදෙන සංස්කාරකවරු දෙපෙත්තෙන් දැනේ කිව්වලු.

W3LANKA

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *