යන පොලිස්පති කොරහත් බිඳගෙනම යන්න හදයි !

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජාතික පොලිස් කොමිසමට ද පිටපතක් සහිතව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියක් මේ වනවිට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

පසුගිය අරගල සමයේදී අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගත් මොහොතේ එහි තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදු කළ මූලික විමර්ශන වාර්තාව සමග ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසකට එරෙහිව චෝදනා පත්‍ර ද එම ලිපිය මගින් ඉදිරිපත් කර ඇත.

මේ සංසරණය වන ලිපියට අදාළව නාට්‍යානුසාරී කාරණා දෙකක් පවතී.

එයින් පළමුවැන්න නම් මෙම ලිපිය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන නමුත් මෙය තවමත් එහි යොමුව සඳහන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලැබී නොමැති වීමයි. ඒ අනුව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න යම් හදිසියක් නිසා මෙය රාජකාරි යොමුව වෙත යන්නටත් කලින්ම මාධ්‍ය වෙත යොමුකර ඇති බව පැහැදිලි ය. මේ හදිසිය වෙනෙකක් නොවේ, ඔහු බලාපොරොත්තුවෙන් සිටි සේවා දිගුව නොලැබෙන බවටත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කෙරෙනු ඇති බවටත් ඊයේ (16) දිනයේ සිට පළවුණු පුවත ය.

සී. ඩී. වික්‍රමරත්න මහතා තවත් වසරක කාලයක් සඳහා සේවා දිගුවක් බලාපොරොත්තුවෙන් තමන්ට පහළින් සිටින ජ්‍යේෂ්ඨයින් තිදෙනාටම විවිධ චෝදනා එල්ල වී ඇති නිසා තමන්ටම ඉදිරි වසරත් පොලිස්පති ධුරයෙහි කටයුතු කිරීමට ඉඩදෙන ලෙස ඉල්ලා දේශපාලන බලධාරීන් වෙත ඉල්ලීම් පිට ඉල්ලීම් යොමු කළ බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු. නමුත් වික්‍රමරත්න මහතාගේ ඒ බලාපොරොත්තුව අද (17) දවස වනවිට සම්පූර්ණයෙන්ම බිඳී ගොස් තිබේ.

ඔහුට සේවා දිගුවක් ලබාදීම සඳහා කිසිදු අනුමැතියක් ලැබී නොමැති අතර දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පති තනතුරට පත්කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද අනුමැතිය හිමිව ඇති බව අපි කලින්ම වාර්තා කළෙමු.

එවන් තත්වයක් යටතේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සිය විශ්‍රාම දිනය පසුවූ පසුවත් තමන් දැනට භාවිතා කරන පොලිස්පති නිලනිවසේ තවත් මාසයක් රැඳී සිටීමට කල් ඉල්ලා ඇත. එසේම තමන් දැනට භාවිතා කරන පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයක් සහ කාර් රථයක් ද තවත් මාස 6ක කාලයක් සඳහා තමන්ට පාවිච්චි කිරීමට ඉල්ලා ඇති බවත් සඳහන්. ඔහුගේ ආරක්ෂාව පිළිබඳ කාරණා සලකා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම ඉල්ලීම්වලට ද අනුමැතිය දීමට සිටියදී පොලිස්පතිවරයා මෙසේ ඔහුගේ ලිපිය මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවත් වාර්තා විය.

සී. ඩී. වික්‍රමරත්න මහතාට කලින්ම පොලිස්පති පුටුව වැඩබලන්නට හෝ අයිති වුණේ පාස්කු ප්‍රහාරයෙන් පසු එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්යය නිවාඩු යැවුණු නිසා ය. පූජිත් ජයසුන්දර මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව 2020 නොවැම්බර් 27 වනදා සිට වික්‍රමරත්න මහතා වැඩබලන කොටස නැතිවම පූර්ණ වශයෙන් පොලිස්පති ධුරයට පත්වූයේය. ඇත්තෙන්ම බලන කල ඔහුට පොලිස්පති තනතුර සම්බන්ධයෙන් බෝනස් කාලයකුත් ලැබී තිබේ.

එහෙත් තමන්ට වයස 60 සම්පූර්ණ වෙද්දී ඊළඟ සුදුස්සාට තනතුර ලබාදෙමින් නම්බුකාර ලෙස ඉවත්ව යනවා වෙනුවට ඔහු කළේ තමන්ට පසුව සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන් තිදෙනාටම එරෙහිව විවිධ විමර්ශන ඇති බව කියමින් ඊළඟ වසරත් තමන්ටම පොලිස්පති පුටුවේ ගත කරන්නට ඉඩදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීම ය. මේ ඉල්ලීම කරන්නට ඔහු හිටපු බලධාරීන් ඇතුළු විවිධ ලොක්කන් පසුපස ගිය බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ සියල්ල අසාර්ථක වූ තැන වික්‍රමරත්න පොලිස්පතිවරයා සිදුකර ඇත්තේ තමන්ගේ විශ්‍රාමය සහ ඊට අදාළ වරප්‍රසාද අනුමත වූ දිනයේදී ම තමන්ට පසුව පොලිස්පති ධුරයට නිර්දේශ වූ නිලධාරියාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර අමාත්‍යාංශ ලේකම්වරයාට යැවීමට ය. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයාට එය යැවීමටත් පෙර තමන්ගේ මාධ්‍ය හිතවතුන් පිරිසකට එම ලිපියේ ඡායාරූප යැවීම ය.

මෙහි දෙවැනි කතාව වන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විමර්ශනයක් අවශ්‍ය නම් ඒ පිළිබඳව පසුගිය පෙබරවාරි 09 වෙනිදා ලැබුණු ලිපියකට ඔහු අද හරියටම ඔහුගේ විශ්‍රාමය අනුමත වන මාර්තු 17 වනදා පිළිතුරු ලබාදී තිබීම ය. එයත් මාධ්‍ය වෙත කලින්ම යවා තිබීම ය.

පොලිස්පති ධුරය යනු ලේසි පාසු එකක් නොවේ. එය මෙතෙක් ලැබී ඇත්තේත් 35 දෙනෙකුට පමණි. එවන් තනතුරක් දරන්නට මෙන්ම එය හැරයා යන්නට ද අවශ්‍ය විනය පුද්ගලයකු තුළ පිහිටා තිබිය යුතුය. එහෙත් සී. ඩී. වික්‍රමරත්න මහතාට වයස පසු වූ පසුවත් මේ තනතුර දරන්නට නොසෑහෙන වුවමනාවක් පහළ වී ඇති බව පෙනේ. ඒ වුවමනාව ගලන්නේ මොන මුදල් ප්‍රවාහ හරහා ද යන්නත් අපි ඉදිරියේදී හෙළිදරව් කරන්නට කැමැත්තෙමු.

ශ්‍රී ලංකා පොලීසියේ නිල සුනඛ අංශයක් තිබේ. එය වෙනම එකකි. ඒ සුනඛයින්ට සැමගේම ගෞරවයකුත් තිබේ. දැනට වික්‍රමරත්න මහතාගේ කල්ක්‍රියාව අනුව පොලීසියේම අය කියන්නේ ඔහු පොලිසියට අදාළව සුනඛයකුටත් අන්ත බවකි.

LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *