සෝභිත හිමියන් ප්‍රාර්ථනා කල ලෝකය ගොඩනැගීම වත්මන් ආණ්ඩුවේ වගකීමක්- මහාචාර්ය සරත් විජේසූරිය

සෝභිත හිමියන් අපවත්වී වසරක් සපිරෙන අද දින උන්වහන්සේ ගැන කෙටියෙන් යමක් පැවසීමෙන් අනතුරුව අනුස්මරණ දේශනය ලෙස රටේ ප්‍රධාන පුරවැසියන් අබිමුව සෝභිත හිමි ප්‍රාර්ථනා කල සාධාරණ සමාජය උදෙසා ආයාචනයක් කිරීමටයි මා සූදානම් වන්නේ. සෝභිත හිමියන් සංඝ ශාසනය තුළ නිල තානාන්තර ලබා නොගෙන උන් වහන්සේටම ආවේණික ප්‍රතිපත්ති මත ජීවත් වෙමින් ස්වාධීන ජීවිතයක් ගත කල පරමාදර්ශී භික්ෂූන් වහන්සේ නමක් ලෙස හැදින්වීම අතිශයෝක්තියක් නොවේ. උන්වහන්සේ සතු වූයේ අත්දැකීම් වලින් සම්පූර්ණ ජිවිතයකි. ජාති ආගම් වැනි දෘෂ්ටි වාදයන්ගෙන් ඈත් වෙමින් මානව සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් දැක්වූ කැපවීම ප්‍රශස්තයි. ජීවිතයේ අවසානයේ ජනතාව වෙනුවෙන් කැපවූ භුමිකාවකටයි නායකතවය දුන්නේ. භික්ෂු ශාසනය ගැනත් දේශපාලන සංස්කෘතිය ගැන උන් වහන්සේගේ අත්දැකීම් සම්භාරය ලේඛන ගත කලේ නම් අපේ රට පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වයට හේතු සාධක විමසා බැලිමට , ඒ තරම් හොද මූලාශ්‍රයක් තවත් නැතුවාට සැකයක් නැහැ.
2015 ජනාධිපතිවරණය දී පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය උදෙසා සිවිල් සමාජයේ නායකත්වය දුන්නේ සෝභිත හිමියන්ය. මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට නම් සියලු ප්‍රගතිශීලි බලවේග එකට එකතු කලයුතුයි යන මතය උන් වහන්සේ මතු කලා. පොදු අපේක්ෂකයෙක් කරලියට එන විට ඔහුගේ භුමිකාව නිරූපනය වෙනුවෙන් නිසි පදනමක් ඇති කිරීම උන්වහන්සේ සිදු කර අවසානයි. ඒ පදනම නිසා තමන්ට උරුම පක්ෂයේ බලය නොමැතිව නිර්පාක්ෂිකව ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ නැමති බලවේගය පරාජය කිරිමට පොදු අපෙක්ෂකයා සමත් වෙනවා. ඒ ජයග්‍රහණය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අනභිභවනීයයි. ජනාධිපතිවරණය දී මහින්ද රාජපක්ෂ පරජය කිරිමට කැපවීම සම්බන්ධව කවර සාධකයක් මත හෝ සෝභිත හිමියන් කණගාටුවට පත් උනේ නැති බව අවධාරණයෙන් පැවසිය යුතුයි. උන් වහන්සේ සමග අත්වැල් බැදගත් කිසිවෙකුත් අදටත් කණගාටුවට පත්වන්නේ නැති බව අවධාරණයෙන් ප්‍රකාශයට පත් කල යුතුයි. මේ රටේ බහුතර ජනතාවක් ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ පරාජයට පත්කලේ ඇයි දැයි නිතරම විමසා සිටිය යුතු ප්‍රශ්නයක්. අසංවේදීව හෝ නොසලකා හරිමින් යහපත් රාජ්‍ය පාලනයක් ගෙනයාම සිහිනයක් වනු නිසැකයි. සෝභිත හිමියන් ප්‍රාර්ථනා කල ලෝකය ගොඩනැගීම වත්මන් ආණ්ඩුවේ වගකීමක්. ඒ ලෝකය ගොඩනගා ගැනීම වෙනුවෙන් අවදියෙන් කටයුතු කිරීම සෝභිත හිමියන් සිවිල් සමාජයට පවරා දැයෙන් සමුගත්බව අපගේ අවංක හැගීමයි. එබැවින් අද දැන් සිවිල් සමාජයේ වගකීම වී තියෙන්නෙ රාජපක්ෂවරු විකෘතිකල දේශපාලන සංස්කෘතිය, ප්‍රකෘතිමත් කර ගැනිමයි. එය මොනම අයුරකින් වත් ආණ්ඩුව සමග අරගලයක් නොවන බව මම මේ අවස්ථාවේදී දක්වනවා.
එනමුත් ජනවාරි අට ජයට කැපවූ නීතිගරුක පුරවැසියන් තුල ඇතිවී තිබෙන පිලිකාවක් වු කනස්සල්ල නොසලකා හැරීම ආණ්ඩුවේ පැවැත්මට තීරණාත්මක සාධකයක් බව අමතක නොකල යුතුය. යහපත් දේශපාලන සංස්කෘතියක් කඩිනමින් බිහිකල නොහැකි බව පැහැදිලි කාරණාවක්. එහිදී ජනාධිපතිතුමා මුහුණ දෙන අභියෝග මෙන්ම ,අගමැතිතුමා මුහුණ දෙන අභියෝග තේරුම් ගැනීමට සිවිල් සමාජය අසමත් නෑ. එනමුත් දිගින් දිගටම පුරවැසියන්ට වචන වලින් පමණක් සංග්‍රහ කිරීම ආණ්ඩුවේ පැවැත්මට වලංගු වන්නේ නෑ. පුරවැසියන්ගේ දෑස් දැල්වී තිබෙන්නේ ක්‍රියාවන් දෙසටයි. සාධනීය ප්‍රතිඵල දෙසටයි. ජනවාරි අට වෙනස සමගින් පුරවැසියන් ප්‍රධාන වශයෙන් අපෙක්ෂා කරන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණයි. දේශපාලන සංස්කෘතිය යහපත් මට්ටමෙන් එසවීමයි. ඒ සදහා මේ වන විට තබා ඇති පියවර ගැන අවබෝධයක් ඇතත්, ඒ වෙනුවෙන් ආණ්ඩුවේ කැපවීම දිරිමත් නොකරන විසංවාදයන් ඔස්සේ මතුකරණ සැක සංකා විදහාපාන්නේ සාමූහික පරමාදර්ශයකින් ව්‍යුක්ත තත්වයක්. මේ තත්ත්වය අර්බුදයක් බවට පත්වීමට ඉඩ නොදිය යුතුයි. එසේ නොවන අන්දමෙන් කටයුතු කරන ලෙස සෝභිත හිමියන්ගේ නාමයෙන් මේ අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් රටේ ප්‍රදාන පුරවැසියන් අභිමුව ආයාචනය කර සිටිනවා. මරබිය නැති රටක මේ රටේ නිදහස හා සාමය, නීති ගරුක පුරවැසියන් ගේ අපේක්ෂාව වුණා. රටේ පැවැති යුද්ධය ගැනත්, යුද්ධය නිමවීම ගැනත් යුද්ධය නිමවීමෙන් පසු ජාතිය එක්සේසත් කිරීමට අසමත් වීම ගැනත් අද වන විට සමාජයේ මතය යහපත් බව කිව යුතුයි. ජාතිවාදය හා ආගමික අන්තවාදය පසෙකලා මානවවාදි හැගීම් උද්දීපනය කිරීම ඔස්සේ සමජයේ බහුතරයකගේ පිබිදීම ආරක්ෂා කිරීම හා ඒ තත්වය කළමනාකරණය කිරිම ආණ්ඩුවේ වගකීම වන අතර ඊට අකම්පිතව නිර්භීතව කැපවන ලෙස සෝභිත හිමියන්ගේ නාමයෙන් මේ අවස්ථාවේදී රටේ ප්‍රධාන පුරවැසියන් අභිමුව ආයාචනය කර සිටිනවා. දේශපාලන ප්‍රතිසංස්කරණ සදහා වඩාත් වැදගත් වන්නේ ගතානුගතික දෘෂ්ටිවාද බැහැර කරමින් විවිධ තීරණ වලට එලබීමයි. ලොව කිසිම රටක් ඒ රටේ ප්‍රධාන පුරවැසියන් තෘප්තිමත් වන කිසිම ප්‍රතිසංස්කරණයක් කිරීම සිදු කර නැතිබව කිව යුතුය. ලොව යහපත් දේශපාලන සංස්කෘතියක් උදෙසා කර තිබෙන්නේ රටේ බහුතරය වෙනුවෙන් කල හැකි ප්‍රතිසංස්කරණයි. මේ යතාර්ථයෙන් අපට් ව්‍යුක්ත විය නොහැකියි. රාජපක්ෂ වරු හා ඔවුන්ගේ ගජ මිතුරන් රටට කල හදිය තව දුරටත් විග්‍රග කර වැඩක් නෑ. ඔවුන් සම්බන්ධව නීතියක් ක්‍රියාත්මක වීම හා මන්දගාමී ප්‍රතිපත්තිය පාලනයට ආණ්ඩුව කල් නොමරා රටේ අධිකරණ පද්ධතිය යහපාලනය උදෙසා යෝග්‍ය තත්ත්වයට පත් කිරීමට පියවර ගත් යුතුමයි. ඒ ගැන ආණ්ඩුව අසාර්ථක බව අපේ පිලිගැනීමයි.
ධනය සහ බලය ඇති අයට එක් නීතියකුත් පොදුජනයාට තවත් නීතියකුත් තිබෙන රට අශීලාචාර රටක්. කලුසල්ලි කරයින් හා ධනවතුන් ආණ්ඩුවේ ගජමිතුරන් වීම, තිබෙනතාක් රටේ දරිද්‍රතාව තුරන් වන්නේ නෑ. නීතිය යුක්තිය සාධාරණත්වය රටතුල ස්ථාපිත වන්නේත් නෑ. යහපාලනය යථාර්ථයක් වන්නේත් නෑ. එබැවින් අප දිගින් දිගට ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ බරපතල වංචා දුෂණ නඩු විශේෂ අධිකරණ යක් මගින් විභාග කොට විසදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බව පෙන්වා දෙමු. සෝභිත හිමියන් මෙලොවින් සමුඅරන් වසරක් පිරෙන අද දින මා ජනාධිපතිතුමා හා අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා උන් වහන්සේට කරන් බුහුමණක් ලෙස විශේෂ අධිකරණයක් ඉක්මනින් ස්ථාපිත කරන ලෙස. එය 2016 ජනවාරි 8 ට පෙර ආරම්භ කිරීම ඉතා වැදගත් වේ. ජනවාරි අට වෙනස සැබෑ වෙනසක් කිරීමේ කාර්ය හිමවන්නේ මුදල් අමාත්‍යවරයාටයි. මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම ගැන බැසිල් ප්‍රනාන්දු අදහස් දක්වාතිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය වලට මුදල් නිසි ආකරයෙන් වෙන් කලයුතු ව ඇත. පොලිස් ක්‍රමය නවීකරණය කිරීමට කඩිනමින් පියවර ගත් යුතුයි. බදවා ගැනීමේ ක්‍රමය ප්‍රශස්ත විය යුතුය. පොලීසියට අකර්ශනීය වැටුප් හිමිවිය යුතුයි. නීතිපති දෙපාර්තමේන්තු සංයුතිය තෙගුණයකින් වෙනස් කල් යුතුයි . සාර්ථක අල්ලස් කොමිසමක් ස්තාපිත කල යුතුයි. දිගු කලක් තිස්සේ ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය දුෂණය වී ඇති බැවින් එහි සංවර්ධනයක් ඇතිකල යුතුයි.
මහින්ද රාජපක්ෂ මේ රටේ නීතිගරුක පුරවැසියන් විසින් පරාජයට පත් කරනු ලැබුවද, ඔහුගේ දේශපාලන යාන්ත්‍රනය පරාජයට ලක් කිරීමට මහජන වරමක් ලත් ආණ්ඩුව අසමත් වෙනවා. රාජ්‍ය සේවය හා අධිකරණ ක්ෂේත්‍රය පවතින්නෙ ඔවුන් විකෘතිකල ආකාරයෙන්මයි. ප්‍රථමයෙන් අධිකරණ පද්ධතිය සම්බන්දව නිසි ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. මහජනයා ගේ විශ්වාසය ඇතිවන ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කලයුතුය. ඒ සදහා ත්‍රිපුද්ගල හෝ පස් පුද්ගල අදිකරණයක් පත්කල යුතුයි. මහජනයා ගේ අයිතිවාසිකම් තහවුරු කරණ දේශපාලන අත පෙවීම් නොමැති අධිකරණ පද්ධතියක් ස්ථාපිත කලයුතුය. සෝභිත හිමියන් වැඩියෙන් කතා කලේ යුක්තිය හා සාධාරණත්වය සම්බන්වයි. එනිසා මේ යෝජනා කරණ ආකාරයේ කොමිසම් සභාවක් පත් කිරීමට මම ඉල්ලා සිටිනවා. අද අප ජීවත් වන්නේ සාමය හා සංහිදියාව රජකරන ස්වර්ණමය යුගයකයි. මෙය සාමය හා සංහිදියාව වෙනුවෙන් අපට ලැබී ඇති අවසන් අවස්ථාවයි. ජාතිවාදය ප්‍රතික්ෂේප කරන පුද්ගලයකු ලෙස ජනාධිපතිතුමා හැදින්විය හැකියි. සාමය හා සංහිදියාව වෙනුවෙන් ජනාධිපතිතුමා කටයුතු කරන බව අපට පෙනෙනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණයවීම මේ රටේ නීතිගරුක පුරවැසියන්ගේ අපේක්ෂාවයි. මුලු රටම ඉල්ලා සිටින්නෙ අලුත් ව්‍යවස්ථාවක්. යලි ජනාධිපතිවරණයක් මේ රටේ ජනතාව අපෙක්ෂා කරන්නේ නෑ. යහපත් මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය බවත් ,නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතු බවත් සෝභිත හිමියන් අපේක්ෂා කලා.
ජාතික ගැටලුව අවසන් කිරීමට නිසි දේශපාලන ප්‍රතිපත්තියක් අවශ්‍යව ඇත. අද දවසේ අප පැමිණ තිබෙන්නේ තීරණාත්මක අවස්ථාවකටයි. එනම් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එකමුතුව ආණ්ඩුව කරගෙනයාමයි. එබැවින් උදාවී තිබෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට අප උත්සුක විය යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *