රුපියල ශක්තිමත් වීම නව ආර්ථික පෙරළියක ඇරඹුමයි – ආර්ථික විශ්ලේෂක චිත්‍රාල් ජයර්වණ

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මහ බැංකු වාර්තා අනුව ඊයේ (9දා) එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307.36ක් වන අතර විකුණුම් මිල රුපියල් 325.52ක් ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා රුපියල ඉහළ යෑම සහ ඒ හා සමගාමීව ආර්ථිකය ශක්තිමත් වන ආකාරය පිළිබඳ ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක චිත්‍රාල් ජයවර්ණ සමඟ කළ සාකච්ඡාවයි මේ.

රුපියල ශක්තිමත් වීමත් සමඟ ඩොලරයේ අගය පහළ යෑම මෙරට ආර්ථිකයට බලපාන්නේ කොහොමද?

පසුගිය අවුරුද්දේ ඩොලරය එක දිගටම වාගේ ඉහළ ගියා. එයට හේතු වුණ විවිධ හේතු තියෙනවා. පසුගිය කාලය තුළ ඩොලරය කෘත්‍රිමව ඇද බැඳ තබා ගැනීමක් කළා. අද වෙද්දි මෙරට ඩොලර් සැපයුම ඉහළ ගිහින් තියෙනවා. ඒකට අපනයනයන් නැවත සක්‍රිය වීම ප්‍රබල ලෙස බලපා තිබෙනවා. ආයෝජකයන් මෙරට වෙත නැවත පැමිණෙමින් තිබෙනවා. අඩාළ වුණ කෘෂිකර්ම නිෂ්පාදන අපනයනය නැවත ආරම්භ වුණා.

ඒ නිසා අඩාළ වූ ඩොලර් නැවත මෙරටට ලැබෙන්න පටන් ගත්තා. ඒ වගේම පසුගිය මාස තුන හතර තුළ සංචාරකයන්ගේ පැමිණීම විශාල ලෙස වැඩිවෙලා තියෙනවා. ඒ නිසා මෙරටට ඩොලර් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ සියල්ලම මෙරට රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය අඩුවීමට හේතුවක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම ආනයනයන් සීමා කිරීම නිසා මෙරටින් ඩොලර් රටින් පිටට යෑම සීමා වුණා. ඒ සියලු දේවල් නිසා රුපියලේ අගය ඉහළ යාම සහ ඩොලරයේ අගය පහළ යාම සිදු වුණා.

අපට ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම නිසා රටේ විශාල ආර්ථික පරිවර්තනයක් එක් සතියකින් හෝ දෙකකින් ඇති වෙනවා කියලා අපේක්ෂා කරනවා නම් ඒක වැරැදි සිතුවිල්ලක්. එහෙත් ක්‍රමානුකූලව රටේ ආර්ථිකය සෙමෙන් යථාතත්ත්වයට පත්වෙනු ඇතැයි සුබදායක බලාපොරොත්තු තබන්න පුළුවන්. ඩොලර් මෙරට පැමිණීම සහ තිබෙන ඩොලර් ආරක්ෂිතව තිබීම නිසයි අද වන විට යම් පහසු තැනකට පත්වීමට අපට හැකියාව ලැබී තිබෙන්නේ. ඒත් අපට දැන්ම සියල්ල හරි කියා සිතූ සිතූ ලෙස වැඩ කරන්න බැහැ. එහෙම වැඩ කළොත් නැවතත් ආර්ථිකයේ අවුල් සහගත තත්ත්වයකට පත් වෙන්න පුළුවන්.

ආර්ථිකයට පනවා තිබූ යම් යම් බාධා අවහිරතා ඉවත් කර ගැනීමට රුපියල ශක්තිමත් වීම සමඟ අපට හැකියාව තියෙනවා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නොවෙයි රටේ ආර්ථිකයට සමාජයට ශක්තියක් වෙන්න පුළුවන් ද්‍රව්‍ය තිබෙනවා. එවැනි දේ ආනයනයට පනවා තිබෙන බාධා ඉවත් කළ හැකියි. එයින් පසුගිය කාලයේ බිඳ වැටුණ ආර්ථිකය සහ සමාජීය ජීවිතය නැවත ගොඩනැඟීමට හැකියාව ලැබෙනවා. හැකිළී තිබෙන ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම කළ හැක්කේ මෙවැනි නිසි වැඩපිළිවෙළකට අනුවයි. එසේ කළහොත් අපට අපේ රටේ ආර්ථිකය නැවත හොඳ තැනකට පත් කර ගැනීමට හැකියාව ලැබේවි.

ඔබ සිතන විදිහට රුපියලේ අගය ඉහළ යෑම තුළ මෙරට තුළ භාණ්ඩ මිල ඉක්මනින් පහළ යනු ඇතැයි විශ්වාස කරනවාද?

සමහරු සිතන විදිහේ ක්ෂණික භාණ්ඩ මිල පහළ යෑමක් සිදු වෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාවට අනුව පමණක් නොවෙයි සාමාන්‍ය දැනුම අනුවත් එය අපට තේරුම් ගන්න පුළුවන්. ඩොලරයේ පහළ යෑමේ ප්‍රතිඵල විදිහට ආනයනික භාණ්ඩ මිල පහළ යෑමට යම් කාලයක් ගතවෙනවා. උදාහරණයකට ගනිමු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග දැනට මෙරටට බෙහෙත් වර්ග තොග ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. ඒ තොග හෙට අඩු මිලට දෙන්නේ නැහැ. යළිත් බෙහෙත් තොග ආනයනය කරද්දි ඇති ඩොලරයේ අගය අනුව තමයි මීළඟ බෙහෙත් තොගය ආනයනය කිරීම සිදු වෙන්නේ. එදාට ඩොලරය අඩුවී රුපියල වැඩි වී යම් ස්ථාවර අගයකට පැමිණ තිබේවි කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව එදාට ඒ මිල අනුව බෙහෙත් ඇතුළු අත්‍යාවශ්‍ය ආනයනික භාණ්ඩ මෙරටට ආනයනය කිරීම සිදු වේවි.

ඒත් දැනටමත් සීනි, පරිප්පු ඇතුළු ද්‍රව්‍ය කිහිපයක මිල ක්ෂණිකව පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඔබ කියන කරුණ සහ පරිප්පු සීනි මිල පහළ යෑමේ තත්ත්වය පරස්පරයි නේද.?

එතැන කිසිදු පරස්පරයක් නැහැ. අපේ රට තුළ ව්‍යාපාරික මාෆියාවක් ක්‍රියාත්මක කරනවා. උදාහරණයකට ගනිමු සීනි ආනයනය. සීනි ආනයනය කරනු ලබන්නේ ව්‍යාපාරිකයන් කිහිපදෙනකුයි. ඒ අය අතේ තමයි මිල තීරක බලය තියෙන්නේ. ඒ තීරක බලය අනුව නිතරම ඒ අය ප්‍රමාණයට වඩා ලොකු ලාභයක් තමන් වෙත තියාගන්නවා. ඒ නිසා ඔවුනට අවශ්‍ය නම් පුළුවන් පහසුවෙන්ම තමන්ගේ පාරිභෝගික භාණ්ඩයේ මිල පහළ හෙළන්න යම් ප්‍රමාණයකට. අපේ රටේ උද්ධමනය වැඩි වීම සහ ආර්ථික අර්බුදය වඩාත් උග්‍රවීමට මේ තත්ත්වයද දැඩි ලෙස බලපානු ලැබුවා. රටටම අවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක මිල පුද්ගලයන් කිහිප දෙනකුට තීරණය කරන්න අවස්ථාව ලැබෙනවා නම් ඒක කිසිසේත්ම සුදුසු දෙයක් නොවෙයි.

මේ වගේ අර්බුදකාරී කාලයක සතොස යම් ප්‍රමාණයකට පාරිභෝගිකයා ඉලක්ක කර සහන දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. එහෙත් භාණ්ඩ මිල පාලනය කිරීමෙන් කිසිම වෙලාවක භාණ්ඩ මිල පාලනය කිරීමට හැකියාවක් නැති බව තහවුරු වෙලා තියෙනවා.

පසුගිය කාලය පුරාම ආනයන භාණ්ඩ රැසක් ආනයනය සීමා කර තිබුණේ තවත් භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා තිබුණේ මෙරට ඩොලර් හිඟයට විසඳුමක් විදිහටයි. ඒත් අද වන විට ඩොලර් හිඟය යම් පමණකට විසඳෙමින් තිබෙන බව පෙනෙනවා. මේ තත්ත්වය තුළ ආනයන සීමා ඉවත් කිරීමක් සිදුවේ යැයි ඔබ සිතනවාද.?

වක්කඩ කැඩුවා වගේ ඕනැ එකයි එපා එකයි දෙකම ආනයනය කළ යුතු නැහැ. තෝරා ගෙන අපට අත්‍යවශ්‍ය දේ මොනවාද කියල තීරණය කර නැවත ආනයනය කිරීම කළ යුතුයි.

එදා මෙරටට ආනයනය කළේ මොනවාද කියලා අපට මතකයි. අත්‍යවශ්‍ය නොවන සෙල්ලම් බඩු පවා චීනයෙන් ආනයනය කළා. එහෙත් ඒවා අත්‍යවශ්‍ය දේවල් නොවෙයි. නැවතත් ඒ වගේ තීරණ නොගත යුතුයි. වාහන ආනයනය කළ යුතුයි කියන අදහසක්ද පවතිනවා. ඒත් මම නම් ආර්ථික විශ්ලේශකයකු විදිහට මේ දේ අගයන්නේ නැහැ. තවත් අවුරුද්දකට වැඩි කාලයක් වාහන ආනයනයෙන් තොරව රටට යන්න පුළුවන්. එහෙත් එක් දෙයක් කළ යුතුයි. වාහන අමතර කොටස් ටයර් වැනි දේ ආනයනය කළ යුතුයි. එමඟින් වාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබෙනවා.

වාහන ක්ෂේත්‍රය නිසා විශාල පිරිසක් යැපෙන්නේ නැහැ. එහෙත් ඉදිකිරීම් ක්ෂේත්‍රය ඊට වඩා ලොකු පිරිසක් යැපෙන අංශයක්. ඒනිසා ඉදිකිරීම් අංශයට අවශ්‍ය කරන උපකරණ, යකඩ වැනි භාණ්ඩ සහ සිමෙන්ති වැනි දේ බාධාවකින් තොරව ආනයනය කිරීමට හැකි වටපිටාවක් ඇති කළ යුතුයි. ගණන් බලා ඇති ආකාරයට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා පමණක් ලක්ෂ දහයක් වගේ තියෙනවා. ඔවුන්ගෙන් යැපෙන්නන් ප්‍රමාණය තවත් විශාලයි. ඒ තත්ත්වය තුළ ඇතිවන ධනාත්මක වාතාවරණය තුළ මෙවැනි වඩාත් ඵලදායක අංශ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

ඩොලරය පහළ යෑම, රටට වඩාත් ඵලදායක අංශයක් වන කෘෂිකර්මයට බලපාන්නේ කොහොමද?

කෘෂි කර්මාන්තයට ඩොලර් එකේ වාසිය ලොකුවට ගලපා ගන්න හැකියාව තියෙනවා. මේ දිනවල වගාවලට බලපාන ප්‍රධාන සාධකය බවට පත්ව තිබෙන්න පොහොර මිල, කෘෂිකර්ම උපකරණ සහ පළිබෝධ නාශක මිල ගණන් සියල්ල සහන දායක තැනකට ගන්න පුළුවන්. අද වන විට ලෝක වෙළෙඳපොළ තුළ පොහොර මිල ඉහළයි. ඒ තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්වූ පසු කෘෂිකර්මික අංශයට ලොකු සහනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙයි. ඩොලරයේ පහළ යෑමේ වාසිය අප රටක් විදිහට ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ එවිටයි. අපේ රටේ තේ සඳහා නිෂ්පාදන වියදම රබර් සඳහා වියදම වැඩි වෙලා තියෙනවා. පොහොර මිල සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ ගිහින්. ඩොලරයේ අගය පහළ යෑම නිසා ලැබෙන වාසිය කෘෂිකර්ම අංශයට යොදා ගැනීමට ලොකු හැකියාවක් නව තත්ත්වය තුළ ඇති වෙලා තිබෙනවා.

අපේ රටට අලුතින් ඩොලර් ඇද ගත හැකි නව ක්‍රම සහ විධි ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

අවුරුදු සිය ගණනක් ගියත් අදත් අප අපනයනය කීවාම මතක් කරන්නේ තේ, පොල්, රබර් පමණයි. ඒත් අද වෙද්දි අපට සාම්ප්‍රදායික දේ මතම යැපෙන්න බැහැ. ඒනිසා නව නිෂ්පාදන කෙරෙහි යොමු වෙන්න ඕනෑ. අපේ රට අදත් සම්ප්‍රදායික දේ මතම විදෙස් විනිමය සෙවීමට උත්සුක වුණාට විදේශ මුදල් සොයා ගැනීමට නව ක්‍රම රැසක් තිබෙනවා.

ජපානය අවුරුද්දකට නව නිෂ්පාදන සියයකට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා, අත්හදා බලනවා. ඒත් අපට බැරි වෙලා තිබෙනවා අවුරුද්දකට නව නිෂ්පාදන දහයක්වත් නිෂ්පාදනය කරන්න. ඒවායෙන් ආදායමක් උපයා ගන්න. අප රට මෙතරම් පසුගාමී තැනකට පත්වෙලා තියෙන්නේ මේ නිසයි.

ඩොලරයේ අගය පහළ යෑම නිසා මෙරට උද්ධමනය පාලනය වීම කුමන ආකාරයකට සිදු වෙයිද?

උද්ධමනය පාලනය වෙන්න එක කරුණක් විතරක් සම්පූර්ණ වෙලා හරියන්නේ නැහැ. ඩොලරයේ අගය පහළ යෑම නිසා අපට ඉන්ධන ආනයනයේදී අඩු මුදලක් වැය වෙනවා. ගල් අඟුරු නැව් ආනයනයට වැය වෙන්නේ අඩු මුදල් ප්‍රමාණයක්. මේ හැම දෙයක්ම එක්ව ගත්තාම මේ ආශ්‍රිතව සිදුවන සියලු නිෂ්පාදනවල මිල ගණන් පහළ යෑම අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම තුළ ක්‍රමානුකූලව උද්ධමනය යම් කිසි පාලනයක් වෙත නතු වෙන එක අනිවාර්යෙන්ම සිදුවෙන දෙයක්. එයට නිශ්චිත කාලයක් සඳහන් කරන්න බැහැ. අද තත්ත්වය මාස තුනක්වත් ස්ථාවරව තිබුණොත් අපේ රටේ ආර්ථික තත්ත්වය පාලනය කිරීමට හොඳ ඉඩක් නිර්මාණය වී තිබෙනවා.

ඔබ සඳහන් කරන සහනශීලී ආර්ථික තත්ත්වය ඇති වීමට කොතරම් කාලයක් ගත වෙයිද.?

අද ඇතිව තිබෙන වර්ධනාත්මක තත්ත්වය දිගින් දිගටම රඳවා ගැනීමට හැකියාව ලැබුණොත් ලබන වසර වෙන විට රටේ ආර්ථික වර්ධනය නැවත සතුටුදායක තැනකට පත්කර ගැනීමට හැකියාව ලැබේවි.

 

ආර්ථික විශ්ලේෂක චිත්‍රාල් ජයර්වණ

 

සාකච්ඡා කළේ – උදිත ගුණවර්ධන

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *