විරෝධතා මුවාවෙන් විනාශයට – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

රටේ ඉහළ ආදායම් ලබන පිරිසේ බදු ප්‍රමාණය අඩු කරන ලෙස ඉල්ලා මාර්තු පළමුවැනිදා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය මේ සතියේ සිට නැවත ආරම්භ කරන බව ද අඛණ්ඩ වැඩ වර්ජනයක් ලෙස එය පවත්වාගෙන යන බව ද ඇතැම් වෘත්තීය සමිති නායකයන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 

එම වර්ජනය ආරම්භ කිරීමට පෙර රජය සමහර සේවා සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා නියෝග ප්‍රකාශයට පත් කළේය. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය සේවා පනත යටතේ රජයට කිසියම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කළ හැකිය. ඒ ආකාරයට ප්‍රකාශයට පත් කර ඇති සේවා අංශයක හෝ ආයතනයක හෝ වැඩවර්ජනය කිරීම නීති විරෝධී වන අතර වැඩ වර්ජනය කරන ඕනෑම පුද්ගලයකුට දඬුවම් පැමිණ විය හැකිය.

මාර්තු පළමු වැනි දා වැඩ වර්ජනය කරන බව මුලින් ප්‍රකාශ කර තිබුණ ද අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීමෙන් පසු වැඩවර්ජනය වෙනුවට ලෙඩ නිවාඩු දැමීම, අකුරට වැඩ කිරීම වැනි නම් යොදා ගනිමින් එදින වැඩවර්ජනය කිරීමට බොහෝ වෘත්තීය සමිති ක්‍රියාකර ඇති බව පෙනේ.

 

 

 

 

මෙම වැඩ වැරුමේ අරමුණ වන්නේ රජය විසින් අලු‍තින් පනවා ඇති උපයන විට ගෙවන බද්ද අවලංගු කර දැමීමය. රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් ආදායම් ලබන පිරිස්වලින් ආදායමට අනුපාතිකව උපයන විට බද්ද අය කර ගනු ලැබේ. මසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන ලක්ෂපතියන්ගෙන් එසේත් නැත්නම් වසරකට රුපියල් දස ලක්ෂයකට වැඩි ආදායම් ලබන මිලියනපතියන්ගෙන් මෙම බද්ද අය කර ගනු ලැබේ.

එම බද්දට විරෝධය පාමින් ඉහළ වෘත්තිකයන්ගේ සංවිධාන මෙන්ම බදු බලනොපාන පිරිස් සාමාජිකත්වය දරන වෘත්තීය සමිති ද වර්ජනයට එකතු වී සිටී. රටක සංවර්ධනය සඳහා රජයේ ආදායම් මාර්ග ලෙස බදු අය කර ගන්නා අතර ඉහළ ආදායම් ලබන අයගෙන් වැඩිපුර බද්දක් අය කර ගැනීම ස්වභාවිකය.

රජයේ ඉහළ වැටුප් ලබන මෙම මිලියනපතියන් රජයේ වියදම්වලින් වැඩි ප්‍රමාණයක් බුක්ති විඳින බව ද අනෙකුත් පිරිස්වලට වඩා සමාජීය වශයෙන් විවිධ සේවා සඳහා ඔවුන්ගෙන් ඇති වන ඉල්ලු‍ම ඉහළ මට්ටමක පවත්නා බව ද පැහැදිලි වේ. උදාහරණයක් ලෙස මෙම පිරිස් පරිභෝජනය කරනු ලබන මෝටර් රථ, වායු සමීකරණ සහ එවැනි අනෙකුත් සුඛෝපභෝගී භාණ්ඩ වෙනුවෙන් රටේ විදේශ විනිමය ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් කිරීමට සිදු වේ.

ඉන්ධන පරිභෝජනය සඳහා ද ඒ ආකාරයෙන්ම වියදම් දැරීමට සිදු වේ. බොහෝ විට එම පවුල්වල දරුවන් විදේශවලට යවා අධ්‍යාපනය ලබාදෙන බැවින් රටේ විනිමය ඉපයීම්වලින් විශාල ප්‍රමාණයක් ඒ සඳහා යෙදවීමට ද සිදු වේ. එබැවින් මෙවැනි පිරිස් විසින් වැඩිපුර බදු ප්‍රමාණයක් රජයට ගෙවීම යුක්ති සහගත වේ.

එසේ වුව ද මේ අය ඉල්ලා සිටින්නේ බදු ප්‍රමාණය අඩු කර බදු ගෙවීමට ඇතුළත් වන ආදායම් මට්ටම වැඩි කර ඔවුනට සහන සලසා දෙන ලෙසය. රජය මෙම වෘත්තීය සංවිධාන සමඟ පැවැති සාකච්ඡාවල දී පෙන්වා දෙනු ලැබූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ අවස්ථාවේ සාකච්ඡා පැවැත්වෙන බැවින් ඒ සම්බන්ධයෙන් වෙනසක් කිරීමට කිසිදු ඉඩක් නැති බවයි. එහෙත් ඉදිරියේ දී මේ පිළිබඳව එකඟතාවලට පැමිණීම සඳහා ඉඩක් ඇතැයි ද ප්‍රකාශ කර තිබුණි.

රට තුළ මේ ආකාරයට බදු විරෝධතා පැවැත්වෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉතා විශේෂ ප්‍රකාශයක් පසුගිය සතියේ නිකුත් කර තිබුණි. එහි ශ්‍රී ලංකා අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් සහ ශ්‍රී ලංකා අංශයේ ප්‍රධානී මසහිරෝ නොසකි විසින් නිකුත් කරන ලද එම නිවේදනයේ ණය හිමියන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීමට නම් බදු සංශෝධන අත්‍යවශ්‍ය බව සඳහන් කර තිබුණි.

දුප්පතුන් සහ පීඩාවට පත් පිරිස් ආරක්ෂා කර ගනිමින් බදු ආදායම ඉහළ නැංවීමට කටයුතු කිරීම මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය කරුණක් බව ද සඳහන් විය. මහජනතාව මේ අවස්ථාවේ දී විඳින අපහසුතා තමන් අවබෝධ කරගෙන සිටින නමුදු රට අද මුහුණ දී තිබෙන තත්ත්වයෙන් අත්මිදීමට නම් ඉහළ ආදායම් ලබන පිරිස් වෙතින් ඉහළ බදු ලබා ගැනීමට සිදු වන බව ද ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම නිවේදනය කියවන ඕනෑම වෘත්තිකයකුට උපයන විට බදු පිළිබඳ නව වෙනස්කම් ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් පමණක් නොවන බව ද එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට නිර්දේශ කර තිබෙන දෙයක් බව ද පැහැදිලි වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තවමත් ලැබී නොතිබුණ ද ශ්‍රී ලංකාව විසින් ණය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු කොන්දේසි සියල්ලක් පාහේ මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස සමහර ආර්ථික අංශ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව ද පෙනී යයි. ඩොලරයේ වටිනාකම සම්බන්ධයෙන් පසුගිය සතියේ දක්නට ලැබුණු වෙනස්කම් එයට උදාහරණයක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම වැඩි වී ඩොලරයේ වටිනාකම අඩු වුණු බවක් දක්නට ලැබුණි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ විවිධ හේතු මත රුපියලේ අගය වැඩි වී ඇති බව ද එය තවදුරටත් ඉහළ යෑම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට විනිමය වෙළඳපොළේ බලපෑම් කිරීමට සිදු වූ බවත්ය. එම සතිය තුළ ඩොලර් මිලියන 300ක් පමණ වෙළඳපොළෙන් මිලදී ගත් බවත් එනිසාම වෙළඳපොළේ ඇති විය හැකි ප්‍රසාරණාත්මක තත්ත්වය අඩු කර ගැනීමට හැකි වූ බවත් එහි සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ දී අනුගමනය කරන ලද දැඩි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵල ක්‍රමයෙන් ලැබෙමින් තිබෙන බව ඉන් පැහැදිලි වේ. ඉන්ධන නැව්වලට, ගෑස් නැව්වලට, ගල් අඟුරු නැව්වලට වරායට පැමිණෙන විට මුදල් ගෙවීමට නොහැකිව තිබූ තත්ත්වයේ සිට අද සතියකට ඩොලර් මිලියන 300ක් පමණ වෙළෙඳ පොළෙන් මිල දී ගැනීමට හැකිවන තත්ත්වයකට වර්ධනය වී තිබේ. IMF ගිවිසුම අත්සන් කළ විට ඩොලරයේ අගය අඩු වී රුපියලේ අගය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන පිරිස් විසින් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් එවීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිව තිබේ.

ආර්ථිකය යහපත් වන විට, ඇතිව තිබූ ගැටලු‍ බොහෝමයක් විසඳෙන විට, එම තත්ත්වය කඩාකප්පල් කිරීමේ අරමුණෙන්ම ක්‍රියාත්මක වන පිරිසක් ද සිටින බව පෙනේ. මාර්තු පළමුවන දා වර්ජනය කරන බව පවසා ලෙඩ නිවාඩු, අකුරට වැඩ කිරීම් ආදී වචන යොදා වැඩ නොකර සිට පඩි ලබාගන්නා පිරිස් තවදුරටත් අඛණ්ඩ වර්ජනයකට කටයුතු සූදානම් කරන බව පෙනෙයි. රජය අත්‍යවශ්‍ය සේවා නියෝග ප්‍රකාශයට පත් කළ ද බොහෝ අය සිතා සිටින්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අනුගමනය කර නැති බවයි.

මීට පෙර ද අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කළ ද එම නියෝග ක්‍රියාත්මක වූයේ නැත. එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස්ය. මාර්තු 01 වර්ජනය අවස්ථාවේ අත්‍යවශ්‍ය සේවා නියෝග ක්‍රියාත්මකව පැවතුණි. එබැවින් එදින වර්ජනයට සහභාගි වූ ඕනෑම අයකු උසාවියට ඉදිරිපත් කිරීමට රජයට හැකි වේ. එවැනි වරදකට සිර දඬුවම් හෝ දඩ හෝ ඒ දෙකම පැනවිය හැකිය. දේපළ රාජසන්තක කිරීමට හැකිය. කිසියම් වෘත්තියක යෙදෙන අයගේ නම් එම වෘත්තීය ලේඛනයෙන් ඉවත් කිරීමට ද හැකිය. වෘත්තීය සංගම් විසින් කිසියම් අයකු වර්ජනයට පොළඹවන්නේ නම් එම අය ද ඉහත කී දඬුවම්වලට යටත් වේ.

වරාය වෘත්තීය සමිති නායකයන් ජනමාධ්‍ය හමුවල දී ප්‍රකාශ කළේ නැව් අටකට වරායට ඒමට තමන් ඉඩ නොදුන් බවත් කෝටි ගණනක අලාභයක් වර්ජනය නිසා සිදු වූ බවත්ය. මෙම ප්‍රකාශන අත්‍යවශ්‍ය සේවා නීති කැඩූ බවට ඔවුන්ගෙන්ම ඉදිරිපත් වන සාක්ෂි වේ. රජයට පසුගිය වර්ජනයේ දී අත්‍යවශ්‍ය සේවා නියෝග උල්ලංඝනය කළ බවට ඕනෑම අයකුට විරුද්ධව දැන් උසාවියට වාර්තා කළ හැකි බව වෘත්තීය සංගම් නායකයන් විසින් වසන් කරති.

වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ලෙස විරෝධතාවක, උද්ඝෝෂණයක හෝ වැඩවර්ජනයක යෙදෙන විට මහා පිරිසක් සමඟ ඒවාට සම්බන්ධ වන බැවින් තමන් තනිවන බවක් නොදැනේ. මහ පිරිසක් තමන් සමඟ සිටින බැවින් තමන් අතිශය ශක්තිමත් යැයි ද සිතා ගනී. මහා බලයක් ඇතැයි ද විශ්වාස කරයි. එහෙත් අත්‍යවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක වන විට තත්ත්වය වෙනස් වේ. උසාවියට ඉදිරිපත් කරනුයේ තනි තනිව මිස මහ පිරිස් වශයෙන් නොවේ.

උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු වැරදිකරු වුවහොත් සිර දඬුවමේ සිට දේපළ රාජසන්තක කිරීම දක්වා දඬුවම්වලට තනිව ලක් වීමට සිදුවනු ඇත. රට ඉතා දුෂ්කර අවස්ථාවකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ දී වෘත්තීය සමිති නායකයන්, නැව් නැවැත් වූ බවට ද පාඩු සිදු කළ බවට ද කරන ප්‍රකාශ ඔවුන් පිළිබඳ රට තුළ ද්වේශයක් ඇති කිරීමට ද මහජනතාව තුළ පිළිකුලක් ඇති කිරීමට ද හේතු වනු ඇත. අත්‍යවශ්‍ය සේවා පනතේ භයානක ප්‍රතිඵල පිළිබඳව තම සාමාජිකයන්ගෙන් වසන් කර ඔවුන් වැඩවර්ජනවලට පෙළඹවීම වෘත්තීය සමිති නායකයන් තම සාමාජිකයන්ගෙන් ප්‍රතික්ෂේප වීමට ද ඔවුන්ගේ වෛරයට ලක් වීමට ද හේතු වනු ඇත.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ

හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *