ආබාධිත සෙබලුන්ගේ විශ්‍රාම වැටුප් සටනෙන් ගැඹුරට දේශපාලනය – අජිත් පැරකුම් ජයසිංහ

යුද්ධයෙන් මිය ගිය සෙබළුන්ට රණවිරුවන් යයි කියනු ලැබේ. ඒ අන්දමින් ම යුද්ධයෙන් ආබාධිත සෙබළුන්ට ආබාධිත රණවිරුවන් යි කියනු ලැබේ. ආබාධ නැති සෙබළුන්ට ද රණවිරුවන් ය භාවිතා වනු නිරීක්ෂණය කර ඇත්තෙමි. යුද්ධය අවසන් වූ පසු හමුදාවට බැඳුණු අයට ද රණවිරුවන් යයි කියනු ලැබේ. රණවිරුකම වෘත්තියක් වී ඇති සෙයකි.

සොල්දාදුවාගේ වෘත්තීය අනන්‍යතාව නිසි පරිදි යළි පිහිටුවීම යුදහරණ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය කොටසකි. ඒ සඳහා මෙම රණවිරු මානසිකත්වය අවසන් කළ යුතුව තිබේ. අනාගතයට අවශ්‍ය හමුදාවක් නිර්මානය කිරීමට මෙම රණවිරු මානසිකත්වය බාධාකාරී ය.

බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, උදය ගම්මන්පිල වැනි රාජපක්ෂවාදී ජාතිවාදීන්ගේ උපායමාර්ගයකට අනුව නොවැම්බර් 7දා කොළඹදී මහා කලබලයක් ඇති කළ ආබාධිත සෙබළුන් පිරිසගේ  විශ්‍රාම වැටුප් ඉල්ලීම රජය විසින් ලබා දී තිබේ.

මෙම ඉල්ලීම කලක සිට පැවති, උදය ගම්මන්පිලලාගේ, රාජපක්ෂලාගේ ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබිණි නම් ලබා දිය හැකිව තිබුණු ඉල්ලීමකි.

එම ඉල්ලීම මුළුමනින් ම සාධාරණ නැත. මෙම සෙබළු සියලු දෙනා සම්පූර්ණයෙන් ම ආබාධිත ද නැත. එසේම, ඔවුන් ආබාධිතභාවය නිසා ලැබෙන විශ්‍රාම වැටුප් අයිතිය සඳහා අවශ්‍ය වසර 12ක සේවා කාලය සපිරීමට පෙර සේවයෙන් ඉවත් වුණේ ස්වකැමැත්තෙන්, වන්දි ලබා ගනිමින් හා මෙවැනි ඉල්ලීම් සඳහා ඇති අයිතිවාසිකම් ද අතහැර දමමිනි. ඔවුන්ට වයස අවුරුදු 55 දක්වා මූලික වැටුප හා ආබාධිත විශ්‍රාම දීමනාවක් ද ගෙවනු ලැබේ. මෙය රජයේ බොහෝ සේවකයන්ට, උපාධිධාරීන්ට ලැබෙන වැටුප් සමග සන්සන්දනය කළ විට සාධාරණ එකකි. මහන්සි වී වැඩ කරන පෞද්ගලික අංශයේ හා අවිධිමත් අංශයේ ඇතැම් සේවකයන්ට ලැබෙන වැටුප් මීට වඩා බොහෝ අඩු ය.

ඔවුන්ට තිබෙන ගැටලුව වයස අවුරුදු 55න් පසු එම වැටුප අහිමි වීමයි. මෙය ලංකාවේ පෞද්ගලික අංශයේ සියලු සේවකයන් මුහුණ දෙන තත්වයකි. ලංකාවේ මිනිසකුගේ උපතේදී ආයු අපේක්ෂාව කාන්තාවකට නම් අවුරුදු 78 මාස 6යි. පිරිමියෙකුට එය අවුරුදු 72කි. ජීවිතයේ ඉතිරි කාලය ගෙවීම සඳහා පෞද්ගලික අංශයේ සේවකයන්ට තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ ඉතුරුම් පමණි.

ආබාධිතයා යනු සමාජ අනුකම්පාව මත ම ජීවත් විය යුතු අයෙකු නො වේ. රජය විසින් කළ යුතුව තිබෙන්නේ ආබාධිතයන්ට ස්වාධීනව ජීවත් වීම සඳහා අවශ්‍ය තත්වයන් ගොඩනගා දීමයි. රජයේ වියදමින් නඩත්තු කළ යුත්තේ එහෙම බැරි අය පමණි.

මහජන මුදලින් වන්දි ගෙන ඉවත් වී, දශක ගණනාවක් තිස්සේ වැඩක් නො කර, මහජන මුදලින් වැටුප් ගත් මෙම ආබාධිත සෙබළුන් විරුවන් ලෙස කළ යුතුව තිබුණේ මෙම කාලය තුළදී සිය ජීවිතයේ ඉදිරි කාලය සැලසුම් කිරීමයි. ඔවුන් ගත් වන්දිය, ලබා දුන් වැටුප ඒ වෙනුවෙන් යොදවන්නට ඔවුන්ට යුතුකමක් තිබිණි. එයට රජය කුමන ආකාරයේ මග පෙන්වීමක් කළා ද යන්න අප දන්නේ නැත. ඉහළ මට්ටමේ වෘත්තික හමුදාවකට නම් නම් එසේ කළ හැකි ව තිබිණි. එවැන්නක් සිදු වී ඇති බවක් නො පෙනේ.

මෙම සෙබළ පිරිසගේ ඉල්ලීම ඉතා පැහැදිලිව රාජපක්ෂ පවුලේ ඉල්ලීම හා සමපාත වන එකකි. රාජපක්ෂ පවුල ඉල්ලන්නේ යුද්ධය අවසන් කළ නිසා තමන්ට රිසි පරිදි රට පාලනය කරමින් වරප්‍ර‍සාද, ලාභ ලබා ගැනීමේ නිදහසයි.

මෙම සෙබළුන්ගේ ඉල්ලීම සාධාරණ වන්නේ ‘උන්ට දෙනවා නම් අපටත් දියව්’ යන පදනමිනි. මෙය මෙතනින් අවසන් වේ ද?

එවැනි ඉල්ලීම් සාධාරණ වන තවත් පදනම් ගණනාවක් තිබේ. මහජන මුදලින් වැටුප්, දීමනා, වරප්‍ර‍සාද ලබා ගන්නා, බදු සහන මත ආනයනය කරන වාහනය විකුණා රජයට ලැබිය යුතු මුදල් කෝටි ගණනින් සාක්කුවේ දමා ගන්නා, මහ බැංකු බැඳුම්කර වංචා වැනි සුපිරි ගේම්වලට සම්බන්ධ, ජනතා ප්‍ර‍ශ්න නො විසඳීම වෙනුවෙන් අවසානයේ වසර පහකට පසුව මහජන මුදලින් විශ්‍රාම වැටුපක් ද ලබා ගන්නා දේශපාලකයන් නම් පිරිසට දෙනවා නම් අපටත් දියව් යයි ඉල්ලා සිටින පදනමින් ද එය සාධාරණ ය.

විශ්‍රාම වැටුප් ගෙවන්නේ මහජන මුදලිනි. මේ වන විට රජයේ සේවයේ විශ්‍රාමිකයන් ලක්ෂ පහක් පමණ සිටිති. ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ජාතික ආදායමින් 3%ක් පමණ වැය වන බව වාර්තා වේ. විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය වසරකට වැය කරන මුදල රු. බිලියන 200ක් පමණ වේ. එහෙත්, ලංකාවේ ජනගහණයෙන් 82%ක් ම කිසිදු විශ්‍රාම වැටුපක් ලබන්නේ නැත.

2012 වසරේ ජනගහණ සංඛ්‍යාලේඛන අනුව සමස්ත ජනගහණයෙන් 12.4%ක් වූ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණ අනුපාතය 2020 වන විට 16% දක්වා වැඩි වේ. වසර 2030ට පෙර ලංකාවේ සමස්ත ජනගහණයෙන් හතරෙන් පංගුවක් වැඩිහිටියෝ ය. එය තරුණ ජනගහණයට වඩා විශාල පංගුවකි. දැනට ලංකාවේ තරුණ ජනගහණය සමස්ත ජනගහණයෙන් 22%ක් පමණ වේ.

රු. 3000ට අඩු මාසික ආදායමක් ඇති වැඩිහිටි ජනතාවට රු. 2000ක වැඩිහිටි දීමනාවක් රජය විසින් ගෙවනු ලැබේ. ලක්ෂ හතරකට ආසන්න වැඩිහිටි ජනගහණයකට මෙම දීමනාව ගෙවනු ලැබේ. තවත් 131,000කට මෙම දීමනාව ගෙවිය යුතුව ඇති බවත්, ඒ වෙනුවෙන් 2017 අයවැයෙන් ප්‍ර‍තිපාදන වෙන් කරන බවත් සමාජ සවිබලගැන්වීමේ හා සුබසාධන ඇමති එස්.බී. දිසානායක 2016 වසරේ ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් ඔක්තෝබර් 1දා මහනුව‍ර පොල්ගොල්ලේදී පැවැත්වුණ ජාතික උත්සවයේදී ප්‍ර‍කාශ කළේ ය.

ලංකාව ඇදී යමින් සිටින්නේ වැඩ කළ හැකි මිනිසුන් සංඛ්‍යාවට වඩා යැපෙන්නන් සිටින යුගයක් වෙතයි. එවැනි සංදර්භයක් තුළ, රටේ පාලකයන්ගේ අවධානය යොමු විය යුතුව තිබෙන මූලික කාරණා තිබේ. ලංකාවට සිය අනාගත සුරක්ෂිතතාව චිරස්ථායී කර ගත හැක්කේ ජනවිකාස වාසිය ඇති වර්තමාන අවධියේදී කරනු ලබන ඵලදායී ආයෝජන ඔස්සේ ය. (ජනවිකාස වාසිය යනු සමාජයක් ඉහළ මට්ටමේ උපත් හා මරණ අනුපාතිකයන් සහිත ග්‍රාමීය කෘෂිකාර්මික සමාජයක සිට පහළ මට්ටමේ උපත් හා මරණ අනුපාතිකයන් සහිත නාගරික කාර්මික සමාජයකට සංක්‍ර‍මණය වීමයි. – රොනල්ඩ් ලී හා ඇන්ඩෘ මේසන්)

ලංකාවේ පාලකයන් පමණක් නොව, දේශපාලන පක්ෂ හා සිවිල් සමාජය පවා රට මුහුණ දී තිබෙන තත්වය නිවැරදිව වටහා ගැනීමේ උනන්දුවක් පෙන්වන්නේ නැත. මා නම් මෙයට හේතුව ලෙස දකින්නේ දේශපාලකයන්, රජයේ නිලධාරීන්, සිවිල් සමාජ නායකයන් ඇතුළත් වන මධ්‍යම පංතියේ ගැටලුවක් ලෙසයි. ප්‍ර‍ධාන වශයෙන් ම රජයෙන් යැපෙන මධ්‍යම පංතියක් වන මෙම බලවේගය ඔවුන්ට වාසිදායක වන පවත්නා තත්වය ව්‍යූහාත්මක වශයෙන් වෙනස් කිරීමට කැමැත්තක් දක්වන්නේ නැත.

එහෙත්, ලංකාවේ මූලික ම ගැටලුව වන්නේ රජය කඩා නො වැටී තබා ගන්නේ කෙසේ ද යන්නයි. ඒ සඳහා උර දී සිටින්නේ සුවිසල් බදු බරකට උර දී සිටින, ඵලදායී වැඩ කරමින් නිෂ්පාදන හා සේවා ආර්ථිකයන්ට දායක වන පිරිසයි. අවාසනාවට රජයෙන් අවම සේවාවන් ප්‍ර‍මාණයක් ලබා ගන්නේ ද මෙම පිරිසයි. වෘත්තික ප්‍ර‍ජාවක් ලෙස වෙන් කර දක්වන්නේ නම්, පෞද්ගලික අංශයේ සේවකයන් හා අවිධිමත් ශ්‍ර‍ම අංශයේ සේවකයන් මෙම ප්‍ර‍වර්ගයට අයත් වෙති.

දේශපාලකයන්ගේ වරප්‍ර‍සාද වෙනුවෙන් ද, කාර්යක්ෂම මහජන සේවාවක් නො සපයමින් රජයේ සේවකයන් ලබා ගන්නා වැටුප් වෙනුවෙන් ද, පිංපඩි වෙනුවෙන් ද වැඩ කළ යුත්තේ ඒ අසරණයෝ ය. එපමණක් නොව, ලංකාවේ මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් දේශපාලන ක්‍ර‍මය තුළ ඔවුන්ට නියෝජනයක් ද නැත.

නැවත මුල් කාරණයට එන්නේ නම්, විශ්‍රාමික ආබාධිත සෙබළුන්ගේ මෙම ඉල්ලීම ලබා දීම දේශපාලනික ය. හේතුව, මෙතන තිබුණේ වෙන දේශපාලන ගේමක් වීමයි. මෙම පිරිස යොදාගෙන ජාතිවාදී රාජපක්ෂවාදීන් උත්සාහ කළේ හමුදාව රජයට එරෙහිව කුපිත කිරීමට ය.

මෙම ජාතිවාදීන් බලාපොරොත්තු වුණේ රජය සෙබළුන්ගේ ඉල්ලීම නො දෙනු ඇති ය කියා ය. එහෙත්, සාකච්ඡාව සඳහා ගිය පිරිස යහපත් පිළිතුරක් රැගෙන ආපසු පැමිණෙන්නට පෙර ඔවුන් ප්‍ර‍චණ්ඩත්වය වෙත යොමු වූයේ කෙසේ හෝ සිය අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙනි. මෙම කලබලය තනිකර ම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ආබාධිත සෙබළුන්ගේ ලේ සැලීමේ අරමුණින් දේශපාලනිකව මෙහෙයවන ලද්දකි.

W3LANKA

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *