ජනාධිපතිවරයාත්, අග‍්‍රාමාත්‍යවරයාත් තමන්ට ලැබිල තියෙන ජනවරමට අනුව කටයුතු කළ යුතුයි. – චමීර පෙරේරා – වමේ කේන්ද්‍රය – සම කැඳවුම්කරු

ජනවාරී 8 මේ රටේ ආරම්භ කළ දේශපාලන පරිවර්තනයේ අභිලාෂයන් ආරක්‍ෂාකරගන්න නම්, වික‍්‍රමසිංහ මහත්තයට තියන අර්ජූන මහේන්ද්‍රන් ලැදියාව අත්හරින්න අවශ්‍යයි. ඒ වගේම මෛත‍්‍රීපාල මහත්තයට තියෙන ගෝඨාභය පේ‍්‍රමයත් අත්හරින්න අවශ්‍යයි. අපිට තියෙන ප‍්‍රශ්නය තමයි, මේ දෙපොල ජනවාරි 8 ඇතිකරගත්ත අභිලාෂයන් වලින් එහාට ගිහින්, ජනවාරි 8ත්, අගෝස්තු 17ත් මේ රටේ මහජනයා සමග ඇතිකරගත්ත එක`ගතාවයන්ගෙන් එහාට ගිහින් තමතමන්ගේ න්‍යායපත‍්‍රයන්ට අනුව කටයුතු කරමින් සිටිනව. වමේ කේන්ද්‍රය විදිහටත්්, පුරවැසි සංවිධාන හැටියටත් අපි බොහොම පැහැදිලිව කියනව, අපිට කාගෙවත් එක්ක පුද්ගලික සම්බන්ධකම් නෑ. අපිට කා එක්කවත් ඞීල් නැහැ. අපි එක්කෙනෙක් වෙනුවෙන් තව කෙනෙකුට පහර දෙන්නෙ නෑ. අපි එක නායකයෙක් ආරක්‍ෂා කරගන්න තව කෙනෙකුට පහර දෙන්නෙ නෑ. අපි බොහොම ස්වාධීනව අපි පෙනී සිටින්නේ ජනවාරි 8වෙනිදාත්, අගෝස්තු 17 වෙනිදාත් ඇතිකරගත්ත මහජන න්‍යායපත‍්‍රය වෙනුවෙන්. මේ මහජන න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කරන්න තමයි ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් බැඳී සිටින්නේ. ඔවුන් වගකියන්නේ මේ රටේ මහජනතාවට. ලක්‍ෂ 62 ක ජනතාවට. පුරවැසි ව්‍යාපාරවලට.
ජනධිපතිවරයාට අපරාධයන්ට ලක්වුණු හමුදා නිලධාරීන් රැුකීම සඳහා ජනවරමක් ලැබිල නැහැ. තමන්ට ලැබිල තියන ජනවරම පිළිගන්න. ජනාධිපතිවරයාත්, අග‍්‍රාමාත්‍යවරයාත් තමන්ට ලැබිල තියෙන ජනවරමට අනුව කටයුතු කළ යුතුයි. ඒ ජනවරම ලැබිල තියෙන්නෙ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යුක්තිය ඉටුකරන්න. ජනවාරි 9 වෙනිදා ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියට ඇවිත් කිව්වෙ මොකක්ද? ‘මම නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් ජීවිතය වුණත් දෙනව’ කිව්ව. ඒ නිසා තමයි 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංසෝධනය ගෙනල්ල, ජනාධිපති හැටියට තමන්ගේම බලතල අඩුකර ගැනීම සඳහා  කටයුතු කරමින් මුලූ ලෝකයේම ගෞරවයට පාත‍්‍ර වූ නායකයෙක් හැටියට අගැයීමට ලක්වුනෙ. ප‍්‍රශංශාවට ලක්වුනෙ.
ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සිදුකෙරුව. ඒ මගින් රාජපක්‍ෂ පාලනය ග‍්‍රහණයට අරගෙන තිබුණ ආයතනවලට ස්වාධීනත්වය ලබාදෙමින් නිදහසේ කටයතු කරමින්, යුක්තිය ඉටුකිරීමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කරන්න පටන්ගත්තා. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තය එකවිටම කිව්වාම ‘මගෙන් අහන්නැතුව ඇයි ගෝඨාභය දක්කන් ගියේ? මගෙන් අහන්නෙනැතුව ඇයි හමුදා නිලධාරීන් ප‍්‍රශ්න කෙරුවෙ? ඇයි අධිකරණයට ගෙනියන්නෙ? ඇයි එෆ්.සී.අයි.ඩි.යට ගෙනියන්නෙ?’ කියල, ජනවාරි 8 ව්‍යාපාරය තැතිගැන්වෙනව. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් දිවිදෙනව’ කියමින් නැවත වතාවක් අධිකරණ ක‍්‍රියාවලිය ප‍්‍රශ්න කරනවා නම්, ඒකෙන් ඇ`ගවෙන්නෙ වැරදි අදහසක්. නැවත වතාවක් අපි මහින්ද රාජපක්‍ෂ යුගයේ දැකපු, රාජපක්‍ෂවරුන් කියනදේ අහන, ඔවුන්ට අවනත අධිකරණය වගේ අධිකරණයක් ඇති කිරීමටද කටයුතු කරන්නේ කියන සැකය පහළ වෙනව. එහි යම් යම් සංඥාවන් අපට ලැබෙමින් තියෙනව. මීට දින කිහිපයකට කලින් ලැබුණ. බුද්ධි අංශ නිලධාරීන් නිදහස් වෙනව. බුද්ධි අංශ නිලධාරීන්ට ඇප ලැබෙනව. උදුලාගම කියන බුද්ධි අංශ නිලධාරියා සිදුවීම් ගණනාවකටම සැකකරන පුද්ගලයෙක්. ඔහු පෙරට්ටුවකින් හඳුනාගත්ත පුද්ගලයෙක්. නීතිපතිවරයා විරුද්ධ වෙද්දි ඔහුට ඇප ලැබෙනව. නීතිපතිවරයා විරුද්ධවෙද්දි තමයි ගල්කිස්ස උසාවියෙන් ඇප ලැබෙන්නෙ, ඒක ප‍්‍රශ්නයක්. කොහොමද එහෙම වෙන්නෙ එක විටම? නැවත වතාවක් අපි ගමන් කරමින් තිබෙන්නේ රාජපක්‍ෂවරුන් පාලනය කරපු අධිකරණයටද? ඒ ආකාරයටද මේ අධිකරණය හසුරුවන්න උත්සාහ කරන්නේ? කියන සැකය පහළවෙමින් තියෙනව. ජනවාරි 8 වෙනිදා බලාපොරොත්තු වුනේ මේක නෙමේ. ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වුනේ යුක්තිය ඉටු කරන එක. බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් නෙමෙයි.  ඒ අය බුද්ධි අංශ නිලධාරීන් හෝ ජාතිය ආරක්‍ෂාකරපු අය නෙමෙයි. ඒ අය රාජපක්‍ෂ පවුල ආරක්‍ෂාකරපු අය. ඒ අය කුලීකරුවන්. ඔවුන් කෙරුවේ කුලී සේවයක්. ඒ අය කෙරුවේ මේ රටේ වෘත්තීය සමිති නායකන්, මේ රටේ රාජපක්‍ෂවරුන්ට විරුද්ධවුන පුරවැසියන්ගේ නිදහස නැතිකරපු එක. ලසන්ත වික‍්‍රමතුංග වගේ අය, එක්නැලිගොඩ වගේ අයට මොකද වුනේ?
එක්නැලිගොඩ කොළඹ ඉඳලා ගිරිතලේට යනකල් ගෙනියන්නෙ කොහොමද? එයට බුද්ධි අංශ සම්බන්ධ බවට තොරතුරු එළිවෙමින් තියෙනව. එතකොට ඒ අය අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න නොකළ යුතුද? අපි ජනාධිපතිවරයගෙන් අහන්නෙ ඒක. ජනාධිපතිවරයා ලබා දී තිබූ පොරොන්දුව ඒක. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකර යුක්තිය ඉටුකරන බව. අපි කියන්නෙ ජාතික ආරක්‍ෂාව නැති කරන්න කියන කාරණාව නෙමෙයි. යුක්තිය ඉටු කරන්න කියන එක. ගෝඨාභය තමයි මේ මහා අපරාධයන් පසුපස සිටි නායකත්වය. ඔහු තමයි ආරක්‍ෂක ලේකම්වරයා. ඔහු වගකිව යුතුයි බොහො ඝාතනයන්ට, ඔහු වගකිවයුතුයි බොහෝ පැහැරගැනීම්වලට, බොහෝ අතුරුදහන්වීම්වලට ඔහු වගකිව යුතුයි. ජනවාරි 8 ව්‍යාපාරය තුළින් නායකත්වයට පත්වෙච්ච කෙනෙක් ඔවුන්ව ආරක්‍ෂාකරන්න උත්සාහ කරනවා නම්, එය ජනවාරි 8 වෙනිදා ඇති වූ වෙනස පාවාදීමක්. එදා වෙනසක් වෙනුවෙන් පෙනීසිටි ලක්‍ෂ 62 පාවාදීමක්. එහ ජනමතයට එරෙහි වීමක්. ඒ නිසයි අපි මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් ඉල්ලා සිටින්නේ, අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔබට තිබෙන වගකීම ඉටුකරන්න. තම තමන්ගේ පුද්ගලික න්‍යායපත‍්‍රයට අනුව කටයුතු කරන එක නෙමෙයි කරන්න අවශ්‍යය. අර්ජූන් මහේන්ද්‍රන් මහත්තය ආරක්‍ෂා කරන්න නෙමෙයි අග‍්‍රාමාත්‍යවරයා පත්කෙරුවෙ. හිතවතුන් රකින්න නෙමෙයි මේ රටේ ජනවාරි 8 ව්‍යාපාරය මේ රටේ රජයක් පිහිටෙව්වේ, අගෝස්තු 17 වෙනිදා ආණ්ඩුවක් පිහිටෙව්වෙ ජනතා න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කරන්න. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ කෝප් කමිටුවෙ වාර්තාවට අනුව මේ රටේ ජනතාවගෙ මුදල්වලට විශාල පාඩුවක් කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි කියලයි. වැරදිකරුවන් රකින්න බෑ. තමන්ගෙ පුද්ගලික හිතවත්කම් මත කටයුතු කරන්න බෑ.
අපි ඊයෙ දැක්කා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා එක්තරා මාධ්‍යයක් ඉදිරිටයට ඇවිල්ලා කියනව, අපි කිසිම යූ.එන්.පී. කාරයෙක් ඉස්සුවෙ නෑ කියල. ඒක ඇත්ත. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තය යූ.එන්.පී. කාරයෝ  ඉස්සුවෙ නැ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ඉස්සුවේ මේ රටේ පුරවැසියන්ව. මේ රටේ වෘත්තීය සමිති නායකන්ව, මේ රටේ මාධ්‍යවේදීන්ව, කලාකරුවන්ව ඒ අයව තමයි ඒගොල්ල ඉස්සුවෙ. ඒ නිසා තමයි අපි ජනවාරි 8 වෙනිදා ඒ අයව ගෙදර යැව්වේ. දැන් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට හයියක් ලැබෙනව මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ‘අපි මේ අයව ඉස්සුවේ නෑ’ කියල කියන්න. අපි බොහොම ප‍්‍රසිද්ධියෙ ජනවාරි 8 වෙනිදට කලිනුත් කිව්වා, ගෝඨාභය රාජපක්‍ෂ තමයි මාද්‍යවේදීන්ට අත තිබ්බෙ කියල.
මේක තමයි ගෝඨාභය යුගයේ සිදු වූ දේ. ගෝඨාභය ගැන කතා කරන්න බය වුනා. ගෝඨාභය ගැන කාටුන් අඳින්න බය වුන සමාජයක් තිබුණෙ. ඒ සමාජය අපි වෙනස් කෙරුව. ඒ වෙනස ආරක්‍ෂා කරන්න තමයි මෛත‍්‍රීපාල සිරිසේන මහත්තය, රනිල් වික‍්‍රමසිංහ මහත්තයත් බැඳිල ඉන්නෙ. ඔවුන්ට ඩිල් බෑ. රාජපක්‍ෂවරු ආරක්‍ෂා කරන ඞීල් බෑ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයගෙ ආණ්ඩුව රාජපක්‍ෂවරු ආරක්‍ෂා කරන්න පෙනී ඉන්නව නම් ඒකට ඉඩදෙන්න බෑ. මේ ආණ්ඩුවෙ ඉන්න රාජපක්‍ෂ කෙනෙක් රාජපක්‍ෂවරු ආරක්‍ෂා කරන්න යම් යම් උත්සාහයන් දරනවා. ඒකට ඉඩ දෙන්න බෑ. රාජපක්‍ෂලා ආරක්‍ෂා කරන්න රාජපක්‍ෂ කෙනෙක් කටයුතු කෙරුව කියල යම් යම් වාර්තාවන් මාධ්‍යවල පලවෙනව. මේ පිළිබඳව රජය සොයා බැලිය යුතුයි. රජය මේ පිළිබඳව අවධානම යොමු කළ යුතුයි. කවුරුන් හෝ සූදානම් වෙනව නම්, ජනවාරි 8 නිසා යම් යම් තනතුරු ලබාගත්ත අය ඒ සඳහා උත්සාහ කරනවා නම්, ඒකට ඉඩ දෙන්න සූදානම් නැහැ.  ඒ නිසා අපි ඉල්ලා සිටිනනේ ජනවාරි 8 ඇතිකරගත්ත රජයෙන් මේ රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරන කියල. ඒ පොරොන්දු තමයි යුක්තිය, නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය. කවුරුත් මේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපිට ගෙනල්ලා දුනනෙ නෑ.
අපි දැක්ක යම් යම් මාධ්‍යවල මේ ටේ ප‍්‍රධානීන් කියනව, මම නිදහස ගෙනාව ජනවාරි 8 වෙනිදා කියල. ඔය කවුරුත් නිදහස ගෙනාවෙ නෑ. ඒ අය මහින්ද රාජපක්‍ෂ කාලේ ඇමතිකම් දරාගෙන ඔලූව පාත්කරගෙන හිටපු අය. විපක්‍ෂයේ ඉඳගෙනත් වචනයක් කතාකරන්න බැරුව හිටපු අය. ගෝඨාභයලා රතුපස්වල මිනිස්සු ඝාතනය කරද්දි, වැලිකඩ බන්ධනාගාරෙට පැනල 26 දෙනෙක් විතර ඝාතනය කරද්දි, සද්ද නැතුව හිටපු අය. කොහෙද ඒ අය නිදහසක් ගෙනාවෙ? නිදහස සඳහා සටන් කෙරුවෙ මේ රටේ ජනතාව. තමන්ගෙ මරණ සහතිකය අතේ තියාගෙන සටන් කරල තමයි මේ නිදහස ලබා ගත්තෙ. ඔය නායකයො නිදහස උදාකරල දුන්නෙ නෑ. මේ රටේ පුරවැසි ව්‍යාපාර, මේ රටේ මහජන ව්‍යාපාර නිදහස ලබාගත්තෙ සටන් කරල. ඒ සටන් කරල ලබාගත්ත නිදහස අපි රැුගෙන යනව. ඉතිහාසය බොහොම විවෘතයි. ජනවාරි 8 අපියි නායකයො හැදුවෙ. පුරවැසි ව්‍යාපාර තමයි ජයග‍්‍රහණයේ උරුමක් කාරයෝ. ඒක ඉතාම පැහැදිලියි. මේකෙ අයිතිය තියෙන්නෙ අපිට. පුරවැසි ව්‍යාපාරවලට. ඒ නිසා අපි මේ නිදහස වෙනුවෙන් සටන් කරනව.
ජනාධිපතිවරයා කිව්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගැන හොඳ කතාවක්.  වහල්ලූ කැමති නැහැ නිදහසට. වහලා නිදහස ලැබුණත් යළිත් වහල් හිමියා ළ`ගට යනව කියල කිව්ව. අපිට ජනාධිපතිවරයගෙන් අහන්න තියෙන්නෙ ඔබ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතට අරගෙන, ඔබේ කාර්යභාරය වෙන්නෙ අර වහල් හිමියගෙන් ගලවගෙන නිදහස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දෙන්න. ඔබගේ කාරයභාර්ය වෙන්නෙ අර රාජපක්‍ෂ නමැති වහල් හිමියගෙන් නිදහස් වෙන එක. ඒක ඔබත් පෙන්නන්න  ඕනෙ. අපිට සැකයක් තියෙනව ඔබට පුලූවන්ද ඒ රාජපක්‍ෂවරුන්ගෙ වහල් භාවයෙන් මිදෙන්න කියල. රාජපක්‍ෂවරුන් රකින්න නම් යන්න එපා. ඒක තමයි ජනවාරි 8 ව්‍යාපාරය වෙනුවෙන් අපි ඉල්ලනනෙ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *