නායකයෙකුට හැංගෙන්නට බැරි ද? පසු බසින්නට බැරි ද? – නිශාන්ත කමලදාස

මෙම සටහන දේශපාලන සංසිද්ධියක් පසුබිම් කර ගෙන ලියන්නේ වුව ද මෙයින් මතු කරන්නට හදන්නේ කළමනාකරුවෙකුට, සමාජ විද්‍යාව හදාරන්නෙකුට හා සාමාන්‍ය පුරවැසියන්ට ද වැදගත් විය හැකි කරුණු කාරණා ය.

මේ දිනවල මුහුණු පොත රත් වී තිබේ. ඒ අනුර කුමාර ප්‍රහාරයෙන් බේරීමට සැඟවුනාය යන ප්‍රවෘත්තිය සමගින් ය. ජාජබ ට විරුද්ධ පාර්ශව එය අනුරට ද ජාජබ ට ද මඩ ගහන්නට භාවිතා කරන අතර ජාජබ හිතවතුන් බොහෝ දෙනෙකු ඒ ප්‍රවෘත්තිය බොරු බව කියන්නට විශාල උත්සහයක් ගැනීම මීට හේතුව ය. අප මේ පාර්ශව දෙකින් එකකටවත් අයිති නැති නිසා මේ දෙස අපට සන්සුන් ව බැලිය හැකි ද?

අප අතර තිබෙන මතයක් නම් කුමක් වුව ද කාගෙන ඉදිරියට යා යුතු බව ය. ජයග්‍රහණය සඳහා එය අවශ්‍ය කොන්දේසියක් බව ය. කළමනාකරුවෙකුගේ ඇසින් මේ දෙස බලන්නේ නම් පෙනෙන්නේ එය අතිශයින් මුග්ධ වැඩක් බව ය. කළමනාකරණයේ උපාය මාර්ගික කළමනාකරණය යනුවෙන් වෙන ම විෂයයක් තිබෙන්නේ ඒ බව තහවුරු කරන්නට ය.

එහි ප්‍රධාන ඉගැන්වීමක් නම් උපාය මාර්ගය තීරණය කළ යුත්තේ අප සතු ශක්තීන් දුර්වලතා හා අවට පරිසරය අපට එල්ල කරන අභිියෝග මෙන් ම බිහිකරන අවස්ථා ද සැලකිල්ලට ගෙන බව ය.

ඒ අනුව ඇතැම් තැනක පසු බැසීමටත් කල් බැලීමටත් තව තැනක ආක්‍රමණශීලිව ඉදිරියට යෑමටත් තරගකරුවන්ට ප්‍රහාරයන් එල්ල කිරීමටත් තීරණය කළ යුතු ය.

මේ බුද්ධිමය ප්‍රවේශය ඇතැම් විප්ලවවාදීන් හඳුන්වන්නේ අවස්ථා වාදය ලෙස ය. ඔවුන්ට අනුව සියල්ල විනාශ වුව ද ඉදිරියට යා යුතු ය. ලංකාවේ පැවතුන අතිශය සුන්දර අරගලය අවසානයේ පැරද පලා යන තැනකට පත් වූයේ ද මෙන්න මේ මතවාදය නිසා ය. ඒ නිසා කළමනාකරුවන්ට පමණක් නොව ඉදිරිගාමී ඔ්නෑ ම සංවිධානයකට හා අරගලයකට මේ නුවණ වැදගත් ය.

මේ නුවණ මග හැරී යෑමට එක් හේතුවක් නම් බොහෝ දෙනෙකුට (විශේෂයෙන් අරගලකරුවන්ට) හැගීම් වලට මිසක බුද්ධියට ආමන්ත්‍රණය කළ නොහැකි නිසා ය. හැගීම් වලින ප්‍රලය වූ මනසකින් විමසුම් බුද්ධිය බැහැර වන්නේ ය. කළමනාකරුවන්ට මේ තත්වයෙන් බොහෝ පාඩම් ඉගෙන ගත හැකි ය.

මේ මුහුණු පොතේ රත් වීම හරහා අප ඉගෙන ගත යුතු එවැනි වැදගත් පාඩමක් වන්නේ ලංකාවේ සංස්කෘතික මනස තුළ ඇති පුද්ගලාභිවාදනය යි. නායකයෙකු දේවත්වයට නංවා ඔහු හැම දෙයක් ම දන්නා හැම දෙයක් ම කළ හැකි සුපර් මෑන් කෙනෙකුගේ තත්වයට පත් කිරීම තුළ මිනිසුන් ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ නායකයෙකු නොව වීරයෙක් බව ය. ඉතින් ඒ භූමිකාව ඉටු කළ යුතු ය. මේ දවස්වල අපට දක්නට ලැබෙන බොහෝ දේශපාලන සංදර්ශන වල අපට දක්නට ලැබෙන්නේ ඒ වීරයාගේ චරිතයට ඇඳ ඇති නළුවන්ගේ රඟපෑම් ය. ඔවුන් සැබෑ වීරයන් නොවන නිසා මතු කරන්නේ අතිශය බාල උත්ප්‍රාසයක් වුව ද එසේ රඟන නායකයන්ට වත් ඒ රඟපෑම් බලමින් විසිල් ගහන ප්‍රේක්ෂකයින්ට වත් ඒ බව තේරෙන්නේ නැත.

අප මතක තබා ගත යුත්තේ චිත්‍රපට වල වීරයන්ට ගුටි කන්නට බැරි බවත් සැඟවෙන්නට බැරි බවත් ය. ඒ නිසා කොතෙක් අවාසිදායක තත්වයක් යටතේ සටන් කළ හැකි ශිල්ප ක්‍රම ඔහු දැන සිටිය යුතු ය. නැතිනම් ඔහුට සෙසු අය විසින් ආරූඪ කළ යුතු ය.

මී මැසි රැජිනය නැති වීමෙන් පසු මීමැස්සන් එක වර අයාලයේ යනවාක් මෙන් මෙසේ බිහි කරන ‌නායකයෙකු නැතිවුවහොත් ව්‍යාපාරය ම රට ම සංවිධානය ම මඳ කලකට අයාලේ යන්නේ ය. ඒ නිසා මීමැස්සන් පාලනය කරන්නාක් මෙන් ම මෙවැනි සංවිධාන පාලනය කරන්නට සැලසුම් හදන අය ද කරන්නේ ඒ නායකයා අල්ලා ගැනීම ය. ඔහුගේ බල බිඳීම ය. ඔබට දැන් අපේ දේශපාලන අතීතය මතක් කර ගත හැකි ය. විජේවිරගේ මරණය ද ප්‍රභාකරන්ගේ මරණය ද මතක් කර ගත හැකි ය. ‌ඊටත් අතීතයට ගොස් අවශ්‍ය නම් බණ්ඩාරනායකගේ මරණය ද මතක් කර ගත හැකි ය. ඒ නිසා එවන් නායකයෙකු රැක ගැනීමට අනුගාමිකයන් නොකරන දෙයක් ඇත. තවමත් විශ්වාස නැත්නම් ඔබට මී මැස්සන්ගෙන් අසා දැන ගත හැකි ය.

මේ නිසා ම අප ඉගෙන ගත යුතු ඊළග පාඩම නම් එක් නායකයෙකු අභිනන්දනය කරන පක්ෂයක් ‌සංවිධානයක් පමණක් නොව ආයතනයක් ද ගොඩ නැගිය යුතු නැති බව ය. බොහෝ දියුණු රටවල එවැනි නායකයෙකු නැත. ඇත්තේ ප්‍රබල සංවිධානයන් ය. නායකයන් වෙනස් වීම අපි ඇඳුම් මාරු කරන ගණනට සිදු වන්නේ ය. ඒ නිසා අප මුහුණ දෙන බොහෝ ප්‍රශ්න වලට ඔවුන් ට මුහුණ දීමට සිදු නොවේ.

අපට යාවජීව නායකයන් සිටින්නේ මේ තත්වය නිසා ය. අබල දුබල වූ පසු කැමැත්තෙන් ‌ඉවත් ව ගියහොත් මිසක හෝ මිය ගිය හොත් මිසක අපේ රටේ බොහේ තැනක නායකයෙකු වෙනස් නොවන්නේ ඒ නිසා ය.

මේ සටහනෙන් කියවෙන අනෙත් පාඩම නම් හැගීම් වලින් ප්‍රලය වී එකිනෙකා සමග විරසක වෙනවා වෙනුවට මෙවැනි සිද්ධීන් විමසන්නේ නම් ඒ හරහා ඉගෙන ගත හැකි පාඩම් බොහෝ බව ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *