රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජනය නොකරයි ; උද්ඝෝෂණ පමණයි

 

වෘත්තීය සමිති ගණනාවක් විසින් හෙට කැඳවා ඇති වැඩ වර්ජනයට සහභාගී නොවී උද්ඝෝෂණවල පමණක් යෙදීමට එම වෘත්තීය සමිති   එකමුතුවේ ප්‍රධාන පාර්ශවයක් වන රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය තීරණය කොට තිබේ.

තම සාමාජිකයින් හෙට දිනයේ නැවුම් සහ ශක්තිමත් ප්‍රවේශයකින් සහය දෙන බව එම සංගමය ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කොට ඇති නිවේදනය මෙසේ ය.

මාධ්‍ය නිවේදනය

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යමකාරක සභා රැස්වීමේ තීරණ.

ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරන අසාධාරණ සහ අයුක්තිසහගත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට වෘත්තීයවේදීන්, සේවා නියුක්තිකයින් මෙන්ම සමස්ත ජනතාවම පීඩාවට පත්ව ඇති බව යළි යළිත් තහවුරු වෙමින් පවතී.

ජන පීඩක බදු ප්‍රතිපත්තියට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි සියලුම සේවා නියුක්තිකයින්ගේ සහ වෘත්තිය සමිති වල සහභාගිත්වයෙන් හෙට දින පැවැත්වෙන දැවැන්ත වෘත්තීය සමිති  ක්‍රියාමාර්ගයට උපරිම සහයෝගය ලබාදීමට අද දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කරන ලදී.  ඒ අනුව නැවුම් සහ ශක්තිමත් ප්‍රවේශයකින් හෙට දිනයේ දී අප සාමාජිකයින් තම සහයෝගය ලබා දෙනු ඇත.

ජනාධිපතිවරයා සහ වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අතර පැවති සාකච්ඡාවේදී ද නැවතත් සනාථ වූ පරිදි, මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් ලබාදීමට පාලකයින් තවමත් සූදානම් නැත. එබැවින් මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා සියලු පාර්ශව එක්කරගනිමින් සටන් ක්‍රියාමාර්ග වඩාත් ප්‍රබල සහ තීව්‍ර කළ යුතු බවද අද දිනයේදී මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදී.

සෞඛ්‍ය සේවාව යනු අතිශය සංවේදී ක්ෂේත්‍රයකි. සැබෑ වෛද්‍ය වැඩ වැඩවර්ජනයකදී රෝගීන්ට සිදුවන බලපෑම අතිමහත්ය. අප සැමවිටම උත්සාහ කරනුයේ රෝගීන්ට අවම බලපෑමක් සිදුවන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි යෙදීමටය. ඒ අනුව හෙට දිනයේදී ද රෝගීන්ට සහ ජනතාවට සිදුවන බලපෑම අවම වන පරිදි වෘත්තිය සමිති කටයුතු වල යෙදීමට තීරණය කරන ලදී.

රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වා ගනිමින් හෙට දිනයේ දී රට පුරා පැවැත්වෙන  උද්ඝෝෂණ මාලාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ උපරිම  සහභාගිත්වය ලබාදෙනු ඇත. එමෙන්ම එම උද්ඝෝෂණයන් සඳහා සහභාගී වන සාමාජික වෛද්‍යවරුන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පූර්ණ වෘත්තිය සමිති රැකවරණය ලබාදීමට ද තීරණය කරන ලදී.

හෙට දින මෙරට සියළු ක්ෂේත්‍ර සහ වැඩබිම් ආවරණය කරමින් පැවැත්වෙන දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හමුවේත්, අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට ආණ්ඩුව නම්‍යශීලී නොවන්නේ නම් සියලු පාර්ශව එක්කරගනිමින් එළඹෙන සතියක කාලයෙන් පසු ඕනෑම මොහොතක මුළු රටම අකර්මණ්‍ය  විය හැකි දැඩි ක්‍රියාමාර්ග කරා යොමුවන්නට කිසිසේත් පසුබට නොවන බව යළිත් අවධාරණය කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *