මහින්ද රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීමට ජනපති එකඟ වී තිබෙනවා.- මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි 8 වෙනිදා මේරටේ බහුතර ජනතාවක් දල්වාගත බලාපොරොත්තු ඉටුවීම සිද්ධ නොවීම හෝ ප්‍රමාදවීමට අදාල හේතු කාරණා මොනවද කියලා මම තේරුම් ගත්ත හැටියට පැහැදිලි කරන්නයි මා මහන්සි ගන්නේ. මම විශ්වාස කරනවා මෙතන ඉන්න හුගක් පිරිස මම රාවයට ලියන පුවත් කියවන අය කියලා. ජනවාරි 8 පොදු අපේක්ෂකයෙක් කරලියට එන්නෙ එක්තරා ආකාරයකට අසුරු සැනින් කියල අපිට කියන්න පුලුවන්. ජීවිත කාලයක් තිස්සේ සූදානම් වෙලා හිටිය පුද්ගලයකු නොවේ පොදු අපේක්ෂකය වෙන්නෙ. රටම විශ්මයට පත් කරමින් තමයි පොදු අපේක්ෂකයෙක් බිහිවෙන්නෙ. හැබැයි කරලියට ආපු පොදු අපේක්ෂකය මහජනයා ආමන්ත්‍රණය කරපු අවස්ථා මේ හැමෝට ම මතක් වෙනව ඇති. ඔහු කතා කරපු හැම වචනයකම ඉතාම වැදගත් අර්ථයක් හා බරක් තිබුණා. ඔහු මේ රටේ පොදු අපේක්ෂකය විදිහට පත්වූ විශ්වාසය උඩ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට නොහැකී කියපු අය පවා ඒකරාශී උනා. බලය කියන්නෙ මොනවගේ එකක් ද, බලය අත්හරින්න නායකයෝ කල්පනා කරන්නට ඕනි. බලය බදාගන්නට නෙවෙයි නායකයෝ කල්පනා කරන්නට ඕනි. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක දර්ශනයෙන් සම්පූර්ණයෙන් දුරස්ථ කරල විකෘති කරලා දැම්මා. මේ ආකාරයෙන් ඔහු මේ පක්ෂෙ ඉදලා ලබපු අත්දැකීම් ඉතාමත්ම හොදින් විග්‍රහ කලා. ඔහු ජනාධිපතිවරයා බවට පත් වෙලා අද වනවිට, මාසයක් ඇතුලත ජනප්‍රියත්වය අඩුවෙලා තියෙනවා. මෙන්න මෙතන තමා බරපතලකම ප්‍රශ්නය. මේක ඔහුගේ ආත්මීය දෝෂයක් ද, නැති නම් කිසියම් බලවේගයකින් සිද්ධ කල දෙයක් ද? මේ කට හොදම උදාහරණ ගන්න පුලුවන් පොතක් පලවෙලා තියෙනවා මා දුටු ජනවාරි අට කියලා. ඒ පොත රචනා කරල තියෙන්නෙ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් ජයතිලක. ජනාධිපතිවරණය යේ දී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සහයෝගය දුන්නා. මෙතුමත් එක්ක මගේ කිසිම තරහක් නෑ. නමුත් ලියල තියෙන පොත ගැන මා තුල ඇති උනේ තිගැස්මක්, කම්පනයක්. හිතට එන දේවල්, කරපු කියපුව අත්දැකීම් සියල්ලම ඔහු ලියලා තියෙනවා. පොදු අපේක්ෂකය ජයග්‍රහණය කරල දින දෙකකට පසුව මහින්ද අමරවීරට කතා කරනවා. හදිස්සියේම අමරවීරල ගෙදරට යනවා තමාව ජනපති කරන්න මහන්සි වුණ කිසිකෙනෙකුට කතා නොකර අමරවීරගේ වාහනෙට ගොඩවෙලා කියනවා යමු මහින්ද අමරවීරගෙ ගෙදර කියලා. ඒ යන්නෙ කිසිම ආරක්ෂකයෙක් නොමැතිව. මට තේරෙන විදියට නම් ඒක ඉතාම බරපතල දෙයක්. එතනදි අමරවීර සාකච්ඡාවට ප්‍රවේශයක් ලබාගෙන තියෙන්නෙ මෙහෙමයි ” ඔබතුමාට විරුද්ධව වැඩියම වැඩ කලේ මම. ඔබට අඩුවෙන්ම ඡන්දෙ දුන්නේ තංගල්ල ජනතාව. මගේ ඉල්ලීම් කීපයක් තිබෙනවා.
1- රාජපක්ෂ පවුල ආරක්ෂා කර දීම.
ඉන් අනතුරුව සිදුවන සියලු දෙය අමරවීර විසින් නාමල් රාජපක්ෂට දැනුම් දෙනවාලු. එම රාත්‍රියේ ම නාමල් අමරවීරගේ නිවසට පැමිණෙන බව දක්වා තියෙනවා .අපි අහනවා ජනාධිපති අමරවීරට මේවාගේ ප්‍රතිඥාවක් දෙන්නෙ ඇයි කියලා. මේක ප්‍රශ්න කරනකොට තව එක කරුණක් තියෙනවා එකතු කරන්නට අවශ්‍ය, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙනකොට සිද්ධ වෙන දෙයක්. මහින්ද රාජපක්ෂ මහත්තයා මැතිවරණ කොමසාරිස්ගෙන් කෝල් කරල අහනවා දැන් මොකද වෙන්නෙ කියලා. එතකොට කියනවා සර්ට ටිකක් අවාසිදායක තත්වයක් කියලා.”ඔව් මම දන්නවා මම පරදිනවා” කියලා ප්‍රකාශයට පත් කරලා, රනිල් වික්‍රමසිංහ මහත්තයාට කතා කරනවා. ඔහු අරලියගහ මන්දිරයට යනවා තිරු නඬේෂන් සමග. සාමකාමී බල හුවමාරුවක් සිදුවන බවක් තමා මේ වාර්තා දක්වන්නේ. ඒ වෙනකොට තිරු නඬේෂන් හිටියෙ මහින්ද රාජපක්ෂගෙ කල්ලියෙ. එයා මොකටද රනිල් එක්ක යන්නෙ. මේවා තමයි අපට තියෙන ප්‍රශ්න.
ජනක බණ්ඩාර තෙන්නකෝන්ට තමයි මහින්ද රාජපක්ෂව පරද්දන්න ඕන වෙලා තිබිලා තියෙන්නේ. ඒකට පිරිස උද්යෝගයෙන් එකතු නොවුන නිසා මහත් පරිශ්‍රමයකින් පිරිස එක් රැස් කරන්න කටයුතු යොදා තිබුණා. අන්තිම අවස්ථාවේ තිරු නඬේෂන් ඇවිත් ඔහුව වැලදගන්නවා. ඉන් අනතුරුව උද්යෝගය සිදී වැනසිලා ගිහින් තියෙනවා. රනිල් වික්‍රමසිංහට ඇඟිල්ල දික්වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ පිලේ දූෂණ වංචා යටගහනවා කියලා. මාධ්‍ය සංදර්ශන විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ජනාධිපති පොරොන්දු වෙනවා මහින්ද රාජපක්ෂ ආරක්ෂා කරනවා කියලා . බලාගෙන යනකොට දෙකම එකයි.
මහින්ද රාජපක්ෂට විරුද්ධව නීතිමය පියවර නොගැනීම බරපතල තත්ත්වයක්. මලික් ජයතිලක සහ ශිරාල් ලක්තිලක දෙදෙනා තමයි මහින්ද රාජපක්ෂ ආරාක්ෂා කිරීමේ කටයුතු සිද්ධ කරන්නේ. ඒ පිළිබඳව මා දුටු ජනවාරි 8 ග්‍රන්ථයේ පැහැදිලිව සඳහන් වෙනවා. ජනවාරි 8 පොරොන්දු වලට අනුව මේවගේ දෙයක් කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා ද කියලා ප්‍රශ්නයක් පැන නගිනවා. මේකට මේ ගොල්ලෝ ගිවිසුමක් ගහලා තියෙනවා. අවස්ථා තුනක් ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වීමක් ශිරාල් ලක්තිලක ප්‍රමුඛ පිරිසක් සිදුකර තිබෙනවා. දෙවැනි සාකච්ඡා වාරයට මෛත්‍රී ජනාධිපතිතුමත් සහභාගි වෙලා තියෙනවා. එය ඉතා රහසිගතව සිදුවෙලා තියෙනවා. එය අතිශයින් සාර්ථක වූ බව ග්‍රන්ථයේ වැඩිදුරටත් සදහන් වෙනවා. මෙවන් සාකච්ඡාවක් පැවැත්වීම සදාචාරාත්මක නෑ. ඒවගේ සාකච්ඡාවක් කරනවා නම් රනිල් චන්ද්‍රිකා ගේ අදහස් විමසීමකුත් අවශ්‍ය වෙනවා. ගෞරවාන්විත පැවැත්ම පිළිබඳ බැසිල් රාජපක්ෂ සමඟ මොවුන් සාකච්ඡා කර තිබෙනවා.
ජනවාරි 8 සිදුවූ වෙනස පිළිබඳව ජනතාව ඉන්නේ බොහොම කළකිරීමකින්. ඒ වනතුරු ගෞරවාදරයට පාත්‍රවූ පොදු අපේක්ෂකයා ජනාධිපති පදවියේ දිවුරුම් දුන්නාට පසුව ඔහුගේ ආත්මය හොරකම් කරලා තියනවා. මේක ඉතාම බරපතල වරදක්. මේ හින්දා තමයි මහින්ද රාජපක්ෂව එළවන්න පෙළගැසුන අයට උගුරේ ලේ රහ වෙනකල් කෑගහන්න වෙලා තියෙන්නේ. දේශපාලඥයෙකුට රාජ්‍ය පාලනයට වරමක් ලැබෙන්නේ කෙටි කාලයකටයි. ඒ කෙටි කාලය තුළ ඔහු ලබා දුන් ප්‍රතිඥා ඉටු කරන්න ඕනි.
ප්‍රජාතන්ත්‍රවාදීව රටේ බහුතරයකට එකඟවිය හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගතයුතුයි. ඒ තුළ ජාතික සංහිදියාව සාක්ෂාත් වෙන්නට ඕනි. බලය බෙදීම පිලිබඳ විවෘත නිදහස් මතවාදයකට එන්න ඕනි. අපි මැරිලා යන්නට ඕනේ, මේ රටේ ඉපදිලා ඉන්න දරුවන්ට ,ඉපදෙන්න ඉන්න දරුවන්ට සාමකාමීව සහජීවනයෙන් ජීවත්වීමට හැකි රටක් බවට පත්කරලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *