පුවත්පත් කලාවේදීන් ඝාතනය සම්බන්ධ ගෝලීය නීති මුක්ති දර්ශකයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව ඉවතට

පුවත්පත් කලාවේදී්න් ආරක්ෂා කර ගැනීමේ කමිටුව (CPJ) විසින් 2008දී ආරම්භ කරන ලද ගෝලීය නීති මුක්ති දර්ශකයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ. මෙම වාර්තාව සෑම වසරක ම නොවැම්බර් 2දා පළ කරනු ලැබේ. මළවුන්ගේ දිනය ලෙස ද සැලකෙන මෙම දිනය CPJ විසින් පුවත්පත් කලාවේදීන් ඝාතනය සම්බන්ධ නීති මුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කර තිබේ. පසුගිය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ ‘ජයග්‍රාහී’ සිව්වන ස්ථානයේ වැජඹුණේ ය.

පසුගිය වසර දහයක කාලය තුළ නො විසඳුණු පුවත්පත් කලාවේදීන්ට එරෙහි අපරාධ සංඛ්‍යාව ජනගහණයට සාපේක්ෂව සලකමින් මෙම දර්ශකය ගණනය කරනු ලැබේ. 2016 දර්ශකය සඳහා සැලකිල්ලට ගෙන තිබෙන්නේ 2006 සැප්තැම්බර් 1 සිට 2016 අගෝස්තු 31 දක්වා කාල පරිච්ඡේදයයි. දර්ශකයට ඇතුළත් කරනු ලබන්නේ මෙම කාල පරිච්ඡේදය තුළ නො විසඳුණු ඝාතන පහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති රටවල් ය. මෙවර රටවල් 13ක් එයට ඇතුළත් වී තිබේ. ගිය අවුරුද්දේ 14කි.

2015 වසරේදී ලොව පුරා පුවත්පත් කලාවේදීන් 72ක් මරා දැමිණි. එයින් 69%ක් මිනී මැරුම් ය. 31%ක් රාජකාරි කරන අතර දී සිදු වූ මරණ ය.

මෙම දර්ශකයේ පළමු ස්ථානය දෙවන වරටත් අත් කරගෙන තිබෙන්නේ සෝමාලියාවයි. එහි මාධ්‍යකරුවන් මරා දැමීම් වැඩි සංඛ්‍යාවකට සැක කෙරෙන්නේ අල්-ෂබාබ් සන්නද්ධ කණ්ඩායමයි. දෙවන හා තුන්වන තැනට පත් වන සිරියාවේ හා ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය ත්‍ර‍ස්ත සංවිධානය විසින් අඩු වශයෙන් මාධ්‍යකරුවන් හයදෙනෙකු හෝ මරා දමා තිබේ.

ඇෆ්ගනිස්තානය, නයිජීරියාව, බංග්ලාදේශය හා පකිස්තානය මෙම දර්ශකයේ පිට, පිට දෙවෙනි අවුරුද්දටත් සිටිති.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක් 2008 සිට 2015 දක්වා ම මෙම දර්ශකයේ අඛණ්ඩව ඇතුළත්ව සිටිය හ. ශ්‍රී ලංකාව ඉවත් වීම නිසා දැන් එම සංඛ්‍යාව අටකි.

පුවත්පත් කලාවේදීන් මරා දැමීම සම්බන්ධයෙන් වැරදිකරුවන්ට දඬුවම් කිරීමේදී ඝාතන සැලසුම්කරුවන් ද ඇතුළුව සියලු අපරාධකරුවන්ට දඬුවම් ලබා දී තිබෙන ප්‍ර‍තිශතය 3%ක් පමණක් බව CPJපවසයි. සැකකරුවන්ගෙන් 40%ක් ඉස්ලාමීය රාජ්‍යය වැනි සන්නද්ධ කණ්ඩායම් වන අතර 25%ක් රජයේ හෝ හමුදාවල අයයි.

W3Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *