මහින්ද රාජපක්ෂ බුද්ධි අංශ පාවිච්චි කළේ අතකොලු හැටියට- නීතිඥය ජේ්. සී වැලිඅමුණ

ජනවාරි 8 වෙනසක් එක්ක නොයෙක් ආකාරයේ ප්‍රතිසංස්කරණ ගැන කතාබහක් සමාජයේ තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හෝ සාමාජීය ප්‍රතිසංස්කරණ පිලිබඳව ගොඩාක් අය අදහස් ප්‍රකාශ කලා. ඒ කාලෙ කරපු අපරාධ පිලිබඳව, ඒ කාලේ කරපු අපරාධ යටපත් කලේ ඇයි කියලා අපි නොදන්නවා නෙවෙයි. ඒ පිලිබඳ කිසිදු පරීක්ෂණයක් සිදුනොවන නිසා, එවැනි අපරාධ පිලිබඳ නැවත විමර්ශන කිරීමේ අවශ්‍යතාව අපට තදින්ම දැනෙනවා. ඒ දැනුනෙ යම්කිසි සමාජයෙන්ම ආපු හටගැනීමක් නිසා. ඒවාගේම මේ සම්බන්ධව නඩු කීපයකටත් අපි සම්බන්ධ වුණා. මම ප්‍රකාශ කරන කරුණු වලින් 99% ම අධිකරණයේ පවතින නඩුවලට අදාළ සාක්ෂි මත පදනම්ව තමයි මම කතා කරන්නේ. තාජුඩීන් ඝාතනය, ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ පැහැරගැනීම වැනි යටගසා තිබූ විමර්ශන සියල්ලක්ම සිදුවුනේ දකුණේ. මේවා සිදුවන 2009- 2013 කාලය තුල ලංකාවේ කොතැනක කවුරු අපරාධයක් කලත්, ඒ පිලිබඳ හමුදා බුද්ධි අංශ දැනුවත්ව හිටියා. තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ ඝාතන සිදුකල පුද්ගලයන් පිලිබඳ කිසිදු සැකයක් හමුදා බුද්ධි අංශවලට තිබෙන්නට විදියක් නෑ. ඒවාගේ දෙයක් සොයා ගත නොහැකි නම් කොටි සංවිධානය සමග යුද්ධ කර දිනන්න විදියක් නැ. එම විමර්ෂණයන් යට ගැසීමක් සිදුවෙලා තියෙනවා. මේ සියල්ල සිදුවන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය යුධමය වශයෙන් පරාජය කලාට පසුවයි. මේ කාලසීමාව තුළ මහින්ද රාජපක්ෂ මහත්තයා හමුදා බුද්ධි අංශ පාවිච්චි කලේ තමන්ගේ අතකොළු හැටියට. එහි අවාසනාවට හමුදා නිළධාරීන්ට වෘත්තීමය සීමාවෙන් එහාට ගිහින් මෙවැනි කටයුතු කරන්නට සිදුවූ බව අපට පිලිගන්නට වෙනවා.
එක්නැලිගොඩ නඩුව දැනට අවුරුද්දකට පෙර ආරම්භ කලා. සී.අයි.ඩී එකට භාර දුන්නට පස්සේ, එතැන් සිට සිදුවූ පර්යේෂණ ඉතාම තාක්ෂණිකව සංකීර්ණ විමර්ෂණයක් සිදුවු අවස්ථාවකදී යම් පිරිසක් විසින් අධිකරණයේ කටයුතු වලට බාධා සිදුකළා. එක් අවස්ථාවකදී රජයේ නීතිඥයට සහ එක්නැලිගොඩ මහත්මියගේ නිවස අභියස පොස්ටර් ගැහුවා. හමුදාවේ සහයෝගය අඩු නිසා මෙම මරණවල විමර්ෂණ කටයුතු අඩාල වෙලා තියෙනවා. හමුදාව සහ රාජ්‍ය නිලධාරීන් නිවැරදි තොරතුරු ලබානොදෙන නිසා සී.අයි.ඩී එකට අධිකරණයේ සහය පතන්න සිදුවෙලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය මේ සම්බන්ධ සාක්ෂි සෙවීමේ කටයුතුවල නිරත වෙලා තියෙනවා. අපි පවසන්නේ මේවායේ අවසන් විමර්ෂණය ඉක්මනින් අවශ්‍ය බවයි. පොලීසියේ විමර්ෂණයන්ට සහයෝගය ලබාදීම හමුදා නිලධාරීන්ගේත් පුරවැසියන් සියළු දෙනාගේත් වගකීමක් මෙන්ම යුතුකමක්. එක්නැලිගොඩ නඩුවේ ලිපිගොණුවක් සම්බන්ධව උසාවියෙන් ප්‍රශ්න නගන විට එය අප ළඟ නොමැති බව ඔවුන් ප්‍රකාශකරනවා. නමුත් සී.අයි.ඩී එක උසාවියට කරුණු දක්වන්නේ එම ලිපිගොණුව තිබෙන බවයි. කුමන බාධක ආවත් අවසානයේ පොලීසියට හැකියාව ලැබෙයි මෙම මරණවල වගකිව යුත්තන්ට නිසි දඬුවම් පමුණුවන්න.
ලසන්ත හා තාජුඩීන් මරණ සම්බන්ධව නොයෙකුත් චරිත කරන ප්‍රකාශයන් හොඳින් අධ්‍යයනය කල විට යම්යම් ගැටළුකාරී තත්ත්වයන් මතුවෙනවා. මාධ්‍යය සාකච්ඡා පවත්වමින්, පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරින්ගේ නම් ප්‍රසිද්ධියට පත්කරමින්, ඒවාට බාධා පමුණුවනවා. නමුත් මෙම විමර්ෂණ කිසිම යට ගැසීමකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවෙනවා. අධිකරණය හමුවේ පවතින කරුණු සම්බන්ධයෙන් විකෘති අසත්‍ය ප්‍රචාරයන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා. මෙවැනි පරීක්ෂණ හමුදාවේ චිත්ත ධෛර්යට ලොකු තර්ජනයක් කියලා පෙන්වන්න හදනවා. නමුත් මේ අපරාධවලට හමුදාවේ අය සම්බන්ධ නම් විමර්ෂණය කළ යුතුමයි. කොටි සංවිධානය නැවත නැගිටින්නට යනවා යැයි අසත්‍ය ප්‍රචාර ගෙන යනවා යම් යම් රාජ්‍ය විරෝධී මාධ්‍ය මගින්. අපිත් උතුරේ නිතරම යන එන මිනිස්සු. නමුත් කොටි සංවිධානයට නැවත හිස එසවිය නොහැකියි. අපි ඒ බව හොඳින් දන්නවා. දෙමළ පුරවැසියන් කොටි ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරනවා. ජනවාරි 8 න් පසු අපේක්ෂිත විප්ලවය ,වෙනස දැකීම සඳහා අත්‍යාවශ්‍ය එක් අංගයක් තමයි මෙම විමර්ෂණයන් ඉක්මනින් කිරීම හා ඒවා සිදුකරන නිලධාරින් ආරක්ෂා කිරීම. ජනපතිගේ ප්‍රකාශය මත පදනම්ව රටේ වෙන සියළුම දේවල් තේරුම් ගතයුතු නැහැ. එය අපි කවුරුවත් අපේක්ෂා නොකළ ප්‍රකාශයක්. එය නොකලා නම් වැඩිය හොඳයි කියලා තමයි අපි හිතන්නේ.
19 වැනි තොරතුරු පනත, ගෙනාවා සේම අප අපේක්ෂා කල සංහිදියාව ගෙන ඒමම සාධාරණ සමාජයක් උදෙසා අඩිතාලම දැමිය යුතුමයි. ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා ගෙදර යැවිය යුතු යැයි කියන අදහස් මත නොපිහිටා ප්‍රජාතන්ත්‍රවාදී රටක් ස්ථාපිත කිරීම ඉක්මන් කල යුතුයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *