|

ආර්ථිකය ස්ථාවර රටක හැමෝම එකතු වෙලා ඡන්දය තියමු – ආචාර් ය අතුලසිරි සමරකෝන්

නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකය ගැඹුරුම ආගාධයට වැටී තිබෙන මේ මොහොතේ රට අර්බුදයෙන් අර්බුදයට ගමන් කරවන්නේ නැතිව රටේ පිළිගත් සියලු දේශපාලන පක්ෂ සහ පුරවැසි කණ්ඩායම් වාද භේද සියල්ල පසෙක තබා ශ්‍රී ලාංකීය රාජ්‍යය ගොඩනැඟීමට පියවර ගත යුතු යැයි නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව වැටී ඇති දැවැන්ත ආර්ථික අගාධය, ඉන් රට ගොඩගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම කෙසේ කළ යුතු දැයි ‘දිනමිණ’ අප සමඟ පැහැදිලි කරමින් ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා දැක්වූ අදහස් සමුදායයි මේ.

– සියලු වාද භේද දුරලා ශ්‍රී ලාංකීය රාජ්‍යය ගොඩනැඟිය යුතුයි
– ජනතාව දරා ගත නොහැකි ජීවන බරකින් පෙළෙනවා

ශ්‍රී ලංකාව මේ වන විට ලබා ගත් විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි රටක් බවට ප්‍රකාශකොට තිබෙනවා නේද?

ඔව්.

වසර 2022 අප්‍රේල් 12 වැනි දා පළමු වතාවට ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීමට අසමත් බවට රජය නිවේදනය කළා. ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ඒ සමඟම නොකියා කියැවුණා. අප අද දවසේ මේ ගත කරන්නේ බංකොලොත් රටක ආර්ථික, සමාජ, දේශපාලන තත්ත්වයන් මතයි. අපට කීර්තිමත් ණය ආපසු ගෙවීමේ ඉතිහාසයක් තිබුණු බවත් මතක් කළ යුතුයි.

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දෙන අභියෝග මොනවාද?

ප්‍රධාන වශයෙන් මා අභියෝග 3ක් දකිනවා.

ඒ මොනවාද?

පළමු අභියෝගය, ශ්‍රී ලංකාව ලබාගත් විදේශ ණය ආපසු ගෙවීම යළි ඇරඹීම.

දෙවන අභියෝගය, ස්වදේශික කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා වැඩි දියුණුවක් ඔස්සේ ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනාගැනීම.

තුන්වන අභියෝගය, ආර්ථික අපහසුතා මැද පීඩාවට පත් වී සිටින දිළිඳු ජන කොටස් සඳහා රැකවරණය, සුබසාධනය ඇති කරලීම.

මෙවැනි අභියෝග මැද ප්‍රපාතයට වැටුණු රටක් පාලනය කිරීමේදී විදේශීය අහිතකර බලපෑම්, අතපෑම්වලට අපට මුහුණ දීමට සිදු වෙනවා නේද?

අනිවාර්යෙන්ම ඔව්. අපි ඉතිහාසය පුරා ගෙනහැර බැලුවහොත් රට අභ්‍යන්තරිකව ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයන්ට ලක්වූ අවස්ථාවල විදේශීය රටවලට සංවිධානවලට අපට බලපෑම් කිරීමට වැඩි ඉඩකඩක් නිර්මාණය කර දී තිබෙන බව කිව යුතුයි. අපි රටක් ලෙස එකමුතුව සමෘද්ධිමත්ව නැඟී සිටියහොත් විදේශ බලපෑම් හෝ බාහිර පාර්ශ්වයන්ගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලට ලක්වීමට තිබෙන ඉඩකඩ අවහිර වෙනවා.

දැන් මේ මොහොතේ රට අභ්‍යන්තරව අර්බුද රැසකට මුහුණ දී තිබෙනවා. ඒවා සමනය කර ගැනීමට අප කටයුතු කළ යුතුයි නේද?

හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අවංකවම කතා කරනවා නම් මේ මොහොතේ සියලු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, පුරවැසියන් එක් අරමුණක් කරා ගොනු විය යුතුයි. එනම්, අපේ රට ශ්‍රී ලාංකීය රාජ්‍යය ගොඩනැඟීම ඉලක්ක කරගත යුතුයි. මේ මොහොතේ ආණ්ඩුවට රටේ ආර්ථික ප්‍රශ්නය, සමාජ ප්‍රශ්නය, දේශපාලන ප්‍රශ්නය ගැන යම් විග්‍රහයක් තිබෙන්නට පුළුවන්. ඒ වගේම විපක්ෂයටත් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ අය හිතන දකින ආකාරය ගැන මතවාදයක් තිබෙන්නට පුළුවන්. නමුත් මේ මොහොතේ එවැනි වාද විවාදයන්ට, මතගැටුම්වලට ප්‍රමුඛතාවය ලබා දිය යුතු හෝ ලබා දිය හැකි මොහොතක නොවෙයි රට තිබෙන්නේ. රට සෑම අතින්ම ඉතා භයානක ගිනි කන්දක තිබෙන බව නම් කිව යුතුයි. මෙය රටේ සියලු දෙනා නිසි ලෙස අවබෝධ කරගෙන සිටිනවා දැයි මා තුළ පවතින්නේ සැකයක්.

රට භයානක අගාධයක වැටී තිබියදී අපේ රටේ අභ්‍යන්තරිකව භේද භින්න වීම් සිදු වී තිබෙනවා යැයි ඔබ නොකියා කියනවා. එයට ඔබ එකඟද?

ඔව්. මේ මොහොතේ ඕනෑම අයෙකුට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අභ්‍යන්තරව සිට හෝ බාහිරව සිට බැලුවත් දක්නට ලැබෙන්නේ ඒකරාශී නොවූ එක මතයකට ගොනු නොවූ කණ්ඩායම් විවිධ දේ ප්‍රකාශ කරමින් සිටින බවයි. මෙය කටුක සත්‍යයි.

එවැනි පරිසරයක් තුළ රටට සාර්ථක ඉදිරි ගමනක් යාමට ඉඩක් තිබේද?

අභ්‍යන්තරිකව වාද භේද නොමැති නම් අපට සාර්ථක ඉදිරි ගමනක් යෑමට වැඩි ඉඩක් ලැබෙන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒ නිසයි අප යෝජනා කරන්නේ විදේශ බලපෑම් හෝ අතපෙවීම් අවම රටක් බවට අප පත්වීමට අපේ තිබෙන අභ්‍යන්තරික අඩුපාඩු මඟ හරවා ගැනීම අප විසින්ම කර ගත යුතුයි.

මෙම අභියෝග ජය ගැනීමට කුමක් කළ යුතු ද?

අපි අනිවාර්යෙන්ම රටක් ලෙස ආර්ථික අතින් ශක්තිමත් වීම කරගත යුතුමයි. ඒ වගේම අපගේ දේශපාලන ස්ථාවරත්වය, සමාජ ස්ථාවරත්වය ඇති කරගත යුතුමයි. ආර්ථික අතින් ශක්තිමත් වීමේදී අපි හැකි තරම් ජනප්‍රිය තීන්දු තීරණ ගෙන කටයුතු කරනවාට වඩා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගෙන ක්‍රියා කළ යුතු අවධියකට රට මේ මොහොතේ පත් වී තිබෙන බව අවධාරණය කර ගත යුතුයි. මේ මොහොතේ අප කිසිවෙකුටත් සරල සුමට ක්‍රියාමාර්ග ඔස්සේ රට ගොඩනැඟීමට හැකි තත්ත්වයක් නොමැති බව නම් කිව යුතුමයි. අද රට පත්ව තිබෙන තැන දැවැන්ත කැපකිරීම්වලින් වාගේම වෙහෙස මහන්සි වී වැඩ කිරීම් තුළින් පමණක් ගොඩගත හැකියි.

ආර්ථික අභියෝගය ජය ගැනීමට අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතුමද?

ඔව්. එය අනිවාර්යෙන්ම සිදු කර ගත යුතු තැනට පත් වී තිබෙනවා. අප රට අද මුහුණ දී තිබෙන දැවැන්ත ආර්ථිකය වැනි අභියෝගයන්ට ලෝකයේ වෙනත් රටවල් මුහුණ දී තිබෙනවා. විවිධ අවස්ථාවලදී එසේ සිදු වී තිබෙනවා. එවැනි තැන්වලදී ඔවුන්ට නැඟී සිටීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට සිදු වුණා. එය අපටත් පොදුයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන්නේ නම් අපගේ විදේශ විනිමය ප්‍රශ්න, විදේශ වෙළෙඳාම් තුළ පවතින ආනයන අපනයන පරතරය පියවා ගැනීම යනාදියට විසඳුම් ලෙස වෙනත් මූල්‍ය ආයතන වෙත හෝ රටවල් වෙත හෝ යොමුවීමට සිදු වෙනවා. නමුත් පිළිගත් ආයතනයක් ලෙස ලෝකය දන්නා අයි.එම්.එෆ්. වෙත යෑම වඩාත් සුදුසුයි.

විදේශ ණය ලබා ගැනීමේදී විවිධ රටවල් හා සංවිධාන වෙත යොමු වීම සමඟ අපට විවිධ කොන්දේසිවලට යටත් වීමට සිදු වෙනවා නේද?

එය අනිවාර්යෙන්ම සිදු වන්නක්. විදේශ ණයක් පමණක් නොව ඔබ පෞද්ගලික ජීවිතයේදී බැංකු ණයක් ලබා ගැනීමේදී විවිධ කොන්දේසිවලට යටත් වීමට සිදු වෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඔබ තෝරාගත යුත්තේ ලබා ගන්නා ණය මුදල ඉතා ඵලදායීව, කාර්යක්ෂමව ආයෝජනය කර හෝ ණය ලබා ගත් අරමුණ වෙනුවෙන්ම වැයකොට ඉන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමයි. ඉන් පසු ණය මුදල ආපසු ගෙවීමයි. අප මේ දේ සිදු නොකොට ණය කොන්දේසිවලට යටත් වීමට සිදු වෙනවා යැයි කීම සුදුසු දෙයක් නොවෙයි.

දැන් මේ මොහොතේ මැතිවරණයක් පැවැත්විය යුතු ද?

විපක්ෂය ලෙස ගතහොත් මැතිවරණ ඉල්ලා සිටීම ඔවුන්ගේ කතාවක්. ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුදයක් ගැන කියමින් එය පමා කිරීමට කටයුතු කර තිබෙනවා. මේ කතා සියල්ල නිවැරැදි හෝ සියල්ල වැරැදි යැයි කිව නොහැකියි. නමුත් රටේ ජනතාව ඉතා අසීරු ආර්ථික, සමාජ, දේශපාලන පීඩනයකට ලක් වී තිබෙනවා. ජනතාව මේ අවස්ථාවේ දරා ගත නොහැකි ජීවන බරකින් පෙළෙනවා. එවන් පීඩාවට පත් වූ අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට මැතිවරණ පැවැත්වීමට මුල් තැන ලබා දීමට වඩා ආර්ථිකය ශක්තිමත් කිරීම පළමු කාර්යය බව ආණ්ඩුව කියනවා. දැන් එවන් පසුබිමක් තිබෙන්නේ.

නමුත් රට මුහුණ දෙන අභියෝග ජය ගැනීමට අනිවාර්යයෙන්ම රටේ දේශපාලන ස්ථාවරත්වය ඇතිවිය යුතුයි නේද. ඒ සඳහා මැතිවරණයක් පැවැත්වීම සිදු කළ යුතුයි නේද?

රටක මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණයක්. ඡන්දය පාවිච්චි කිරීම ජනතා අයිතියක්. එය සුරැකීම කළ යුතුයි. ආණ්ඩුවත්, විපක්ෂයත්, මැතිවරණ කොමිසමත් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. එක්ව ක්‍රියා කළ යුතුයි. මැතිවරණය පැවැත්වීම හෝ කල් දැමීම තනිව තීරණය නොකොට සියලු දෙනා එක්ව තීරණයක් ගෙන කළ යුතු දෙයක්. විශේෂයෙන් විධායකයේ බලතල ප්‍රයෝජනයට නොගෙන ව්‍යවස්ථාදායකයේ නියෝජිතයින්ගේ තර්ක විතර්ක මැද මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක්, තීරණයක් ගත්තා නම් එය තමයි වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත වන්නේ. නීති සම්පාදනය කරන බලධාරියා වන ව්‍යවස්ථාදායකය මේ සම්බන්ධයෙන් තර්කානුකූලව කටයුතු කොට තීරණයක් ගත්තා නම් වඩාත් යෝග්‍යයි.

රට පාලනය කළ අතීත පාලකයින් දූෂිතයි, හොරු, මහජන දේපළ කොල්ලකෑ අයයි යන මතයක් ගොඩනැඟී තිබෙනවා. එය මැතිවරණයකදී ප්‍රතිඵලයට කුමනාකාරයේ බලපෑමක් කරාවිද?

වාමාංශික මතධාරී නව කණ්ඩායමක් මෙම මතය සමාජගත කිරීමට විශාල කාර්යයක් ඉටු කළා. ඒ තුළින් දූෂණය, වංචාව නතර කිරීමට සහ එවැනි දේ සිදු කළ අයගෙන් වත්කම් අය කර ගැනීමට ක්‍රියා කරන බවට ප්‍රකාශ කර සිටියා. ඒ ගැන ජනතාව දක්වන ප්‍රතිචාරය මැතිවරණයේදී පෙන්නුම් කරාවි.

අප රට ලබාගෙන ඇති ජාත්‍යන්තර ණය ආපසු ගෙවීම, නැතිනම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට වත්මන් රජය විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටිනවා. එය ඔබ දකින්නේ කෙසේ ද?

මේ වන විට රජය පැත්තෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටිනවා. ආණ්ඩුව කටයුතු කරන ආකාරය ගැන විවේචනාත්මකව කරුණු දක්වමින් විපක්ෂයත් ඔවුන් බලයට පැමිණිය හොත් සිදු කරන ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම් පිළිබඳ කරුණු කියනවා. කුමන පක්ෂයක් බලයට ආවත් ඒ වගකීම ඔවුන් මත පැටවෙනවා. මේ කුමන කණ්ඩායමට බලයක් ලැබුණත් වඩාත් පහසුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ හැක්කේ නව ලිබරල්වාදීන්ට බවයි මගේ විශ්වාසය. අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් පසුවනුයේ දුරස්ථ තැනක.

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ පාලන කණ්ඩායම IMF වෙත නොගියේ ඇයි?

ඔවුන්ට විශ්වාසයක් තිබුණා පවතින මූල්‍ය අර්බුදයට දේශීය වෙළෙඳපොළෙන් සහ තම ජාත්‍යන්තර හිතවතුන්ගේ අනුග්‍රහ‍ෙයන් විදේශ මුදල් ලබාගෙන ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකි බවට. නමුත් එය සාර්ථක වූයේ නැහැ.

IMF කොන්දේසිවලට යටත් වීමට ඕනෑම පාලනයකට සිදු වනවා නේද?

ඔව්. කවුරුත් දැඩි මූල්‍ය විනිවිදභාවයක්, මූල්‍ය විනයක් පවත්වාගෙන යා යුතුයි. මුදල් පිළිබඳව පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. රටේ ජනතාවට වගවිය යුතුයි. යහපාලනයක් ඇති කළ යුතුයි.

ස්වදේශීයත්වය මුල්කර ගත් ආර්ථික ක්‍රමවේදයකට අපට ගමන් කිරීම පහසු වන්නේ නැහැ. එය විශාල අභියෝගයක් නේද?

ඔව්. එය අනිවාර්යයෙන්ම විශාල අභියෝගයක් තමයි. නමුත් සමාජ වෙළෙඳපොළ තරගකාරීව ජය ගැනීමට නව ලොව හා ගැළපෙන ආර්ථික ක්‍රමවේදයකට අප යා යුතුයි. සෑම දේම පිටරටින් ගේනවා වෙනුවට ආනයන අභිමුඛ කර්මාන්ත ඇති කළ යුතුයි. අපනයන වැඩි කර ගත යුතුයි. සාම්ප්‍රදායිකත්වයට නූතනත්වය එකතුකොට අලුත් ගමනක් යා යුතුයි.

සමාජ සුබසාධනය හා රැකවරණය සැලසීම අනිවාර්ය කරුණක් නේද?

එය මේ වන විට අවශ්‍ය කරුණක් බව නොකියන්නට කිසිවෙක් නෑ. ඕනෑම කෙනෙක් කියන්නේ තමන්ට රැකවරණයක් තිබිය යුතුයි කියායි. අද මධ්‍යම පාන්තිකයින් නව බදු ප්‍රතිපත්තිය නිසා පීඩාවට පත්වී තිබෙනවා. දිනෙන් දින ඉහළ යන බඩු මිල නිසා දිළිඳු ජනතාව පීඩාවට පත් වී අසරණ වී තිබෙනවා. සමාජයේ සරණ අවැසි කණ්ඩායම වැඩි වී තිබෙනවා. ඒ සඳහා වියදම් කිරීමට ප්‍රමාණවත් මුදල් මහා භාණ්ඩාගාරය සතුව නැහැ. මෙවැනි වටාපිටාවක් තුළ සරණ අවශ්‍ය අයට සුබසාධනය, සහන සැලසීම ප්‍රමුඛ කාර්යයක් විය යුතුයි. ඉහත අභියෝග ජය ගැනීමට සමත් ශක්තිමත් කණ්ඩායමක් දැන උගත් ජාත්‍යන්තරය සමඟ වැඩ කරන පිරිසක් බවට සියලු ශ්‍රී ලාංකිකයින් පත් විය යුතුයි. එය අපේ රට මුහුණ දෙන දැවැන්ත අර්බුදයන්ගෙන් ගොඩ ඒමේ මඟයි.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර් ය

ආචාර් ය  අතුලසිරි සමරකෝන්

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *