මැතිවරණ පෙත්සම ගැන මෝසම ඉවත් කර ගනියි ; විභාගය 23 දා ම යි

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 23 වනදා ට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ගොනුකළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරු අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කලින් නියම කළ පරිදි ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එම මෝසම අද එස්.තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ, කරුණු දක්වමින් එම පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 10 වනදා තීන්දු කළ බව සඳහන් කළේය.

එහෙත් තැපැල් ඡන්ද විමසීම ලබන 22 වනදා පැවැත්වීමට නියමිතව තිබූ බැවින් ඊට කලින් එම නඩුව සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලා අදාළ මෝසම ගොනුකළ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන හෙයින් එම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විම තුළින් මහජනතාවට කිසිදු යහපතක් නොවන බව පෙන්වා දෙන පෙත්සම්කාර විශ්‍රාමික කර්නල් වරයා එබැවින් අදාළ ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් එම පෙත්සම ගොනුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *