හෙල්මට් වලින් ගසා මැරීමට දෙන දඩුවම කුමක් ද? දඩුවම් කළ යුත්තේ කාට ද? – නිශාන්ත කමලදාස

 

11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනෙකු විසින් පහර දෙනු ලැබ වැඩිහිටි පියෙකු මරණයට පත් වූ නිවසක් නිසා පසුගිය දින වල මුහුණු පොතේ විශාල සංවාදයක් ඇති විය. බොහෝ දෙනෙකු ප්‍රාර්ථනා කොට තිබුනේ මේ සිසුන්ට මරණය ය. තවත් අය ආයුධ පෙන්නන සූත්‍රය භාවිතා කරන ලෙස ද තවත් සමහරු සවුදි අරාබියේ දඩුවම් ලබා දෙන ලෙස ද කියා තිබුණේ ය.

සිසුන්ට මරණය ප්‍රාර්ථනා කර අත පිහදා ගන්නට අදහස් කළ අයට අමතරව මේ සිද්ධියට හේතු විය හැක්කේ කුමන සාධක ද යන්න පිළිබඳව තම තම නැණ පමණින් කරුණු ඉදිරිපත් කරන්නට ද බොහෝ දෙනා ඉදිරිපත් වී තිබුණේ ය. එවැනි එක් හේතු දැක්වීමක තිබුණේ වැඩිහිටියන්ට ගරු නොකළ යුතු බවට මතවාදයක් සමාජගත කළ උදවිය මෙයට වගකිව යුතු බව ය. ඔවුන් අනියමින් කියන්නේ වැරැද්ද ඇත්තේ වැඩිහිටියෙකු ඝාතනය වීම හේතු කොට ගෙන බව ය. සම වයසේ කෙනෙකු මෙවැනි ඉරණමකට අත් වීම යුක්ති යුක්ත ද? ජීවිතය ජීවිතයක් වන්නේ වැඩිහිටියෙකු වීම නිසා ද?

පොදුවේ අනෙකාගේ ජීවිත වලට ගරු නොකරන ඒවාට වටිනාකමක් නොදෙන සමාජයක් ඇති ව තිබෙන බව ඇත්ත ය. එයට හේතු මොනවා ද? ඒ තත්වය ඇති කරන ලද්දේ කවුරුන් විසින් ද? අප ඒ ප්‍රශ්න වලට උත්තර සොයා ගත යුතු ය.

අප රට කැරලි දෙකක් හා දිග්ගැස්සුණු යුද්ධයක් තිබූ රටකි. ඒ කැරලි වල දී ද යුද්ධ වල දී ද දෙපාර්ශවය ම ප්‍රදර්ශනය කළේ කුමක් ද? තමන්ගේ අරමුණ ඉටුවන්නේ නම් අහිංසක ජීවිත බිලි වීම ගණන් ගත යුතු නැති බව ය. ඒවා ඔ්නෑ ම කැරැල්ලක යුද්ධයක සිදු වන සාමාන්‍ය දේවල් බව ය. වෙන එකක් තබා යුද්ධයෙන් බාහිර ව සිදු කරන ලද ඇතැම් හමුදා භටයෙකුගේ නොපනත් කමකට ද සමාව දෙන්නට තරම් මතයක් රට තුළ ඇති කර තිබුණේ ය. අධිකරණයෙන් වැරදි කාරයෙකු කරන ලද එවැනි හමුදා භටයෙකු ජනාධිපති සමාව ලැබීමට තරම් පොළඹවන ප්‍රබල මතයක් රට තුළ ඇති කර තිබුණේ ය.

මිනිමැරුම් වලට වැරදි කරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුට ද ජනාධිපති සමාව ලැබීම ජනාධිපවරුන් දෙදෙනෙකු යටතේ ම සිදු වීම ද එයින් එක් අයෙකු සමාව ලැබීමෙන් පසු නිවාස අධිකාරියේ සභාපති තනතුරෙන් පිදීම ද නිසා අන් මිනිසුන්ගේ ජීවිත වලට එහෙමට සංවේදී වීමක් අවශ්‍ය නොවන බව රටේ ඉහළම තැන් වලින් ම කියමින් තිබුණේ ය.

මරණීය දණ්ඩනය සඳහා තීන්දු වුනු අය එල්ලා මැරීමට නීති සම්පාදනය වී තිබුණ ද ඒ එක ද දඩුවමක් සඳහාවත් කාලයක සිට ජනාධිපතිගේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එල්ලුම් ගස ක්‍රියාත්මක වුනේ නැත. ශිෂ්ඨ රටවල් බොහෝමයක ද එය ක්‍රියාත්මක වීම අත්හිටුවා ඇති තත්වයක පවා නැවතත් එය ගෙන ඒම ට උත්සහ කළ ජනාධිපති කෙනෙකු අපට නැවත වතාවක් ලැබී තිබුණේ ය. ඒ ගැන කළ මත විමසුම් වල දී පෙනී ගියේ බහුතර ජනතාව එල්ලුම් ගහේ නැවත ආගමනය පිළිබඳව අපේක්ෂාවෙන් සිටි හා සිටින බව කි. ඔවුන් ද මරණයට මරණයෙන් සංග්‍රහ කිරීමට ඉටා ගෙන සිටි බවකි. ඒ සතෙකු පවා මරණයට පත් කිරීම පවක් ලෙස සලකන අංගුලිමාල වැනි මිනීමරුවෙකු පවා රහත් වූ පසු රහතන් වහන්සේ කෙනෙකු හැටියට පිළිගන්නා මිනිසුන් ඉන්නා රටක වීම බාහිර කෙනෙකු පුදුමයට පත් කරන හේතුවකි. ඒත් අපේ රටේ වැඩි දෙනෙකුට එය පුදුමයක් වුනේ නැත. ඒ බහුතරය ඒ මරණය අනුමත කළ නිසා ය.

මේ රට තුළ මරපිය කියන සටන් පාඨයට අමතර ව ඇසෙන අනෙත් සටන් පාඨය ගහපිය යන්න ය.

ගහන්න කියන්නේ ගුරුවරුන්ට හා දෙමාපියන්ට ය. ඒ සිසුන්ට හා තම දරුවන්ට ය. ඒ හැඳි නොගා හදන හොද්දත් නොගහ හදන ළමයාත් වටිනාකමක් නැතැයි කියන පැරණි මතවාදයට අනුව ය.

මේ සිද්ධියේ දීත් වරද නොගැසූ ගුරුදෙගුරුන්ට පැවරීමට සමහරු ඉක්මන් වූයේ ඒ නිසා ය. ශාරීරික හිංසා නැවැත්වීමට නීතිය කළ මැදිහත් වීම පවා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනු අපි ඇසුවෙමු. දුටුවෙමු.

ගුටි කෑ වැඩිහිටියන් ද ගුටි කෑමේ ආනිශංස දක්වමින් තමන් හැදුනේ එහි ප්‍රතිඵලයක් ලෙස කියමින් නැවතත් සමාජ ගත වෙනු ද දක්නට ලැබිණි.

තමන් විඳපු ඒ ගුටිකෑමේ අත්දැකීම ප්‍රශ්න කරන්න විමසුම් බුද්ධියක් බොහෝ දෙනෙකුට නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ඒ අත්දැකීම මග හැර යා නොහැකි දෙයක් බවට යටි හිතෙන් පත් කර ගැනීම ය. ඒක විය යුතු දෙයක්. ඒක එහෙම තමයි වෙන්නෙ. එසේ කියමින් හිත හදා ගැනීම ය. ගහපු ගුරුවරුන්ට හොඳ කියමින් ඒ මිනිසුන්ට ඒ මග යන්නත් වෙන්නෙ ඒ සිතුවිලි පරම්පරාවත් සමග ය. විමසුම් බුද්ධියෙන් බැලිය හැකි කෙනෙකු ඒක නොවිය යුතු ව තිබුණු දෙයක් හැටියට සලකන නිසා ම ඒක ඉදිරියට නොවෙන්න කුමක් හෝ කළ යුතු යැයි සිතයි. එහෙත් බහුතරයකට සිදු වන්නේ එය ආත්ම ගත කර ගනිමින් ජීවත් වන්නට ය.

අප තේරුම් ගත යුත්තේ ගුටි ගහන්න වුවමනා වෙන්නෙ ගුටි කාපු අයට බව ය. නවක වදය දෙන්නෙ නවක වදය ලබපු අය බව ය. සෙසු අයට බණින්නෙ බැණුම් අහන්න හුරු වුනු අය බව ය. නැවත දෙන්න පුළුවන් වන්නේ කෙනෙකුට ලැබුණු දෙයක් පමණක් බව ය. ඒ අර්ථයෙන් මිනිසුන්ට සැබැවින් ම ආදරය කරන්නට හැකි වන්නේ ආදරය ලද දරුවන්ට පමණක් බව ය.

මේ සිද්ධියේ දී ළමුන් හැසිරී ඇති ආකාරය විමසන විට තවත් කාරණයක් අපට පැහැදිලි වෙයි. ඔවුන් ගහන්නේ හෙල්මට් පවා නොදා පදිකයන් ගැන ද නොතකා තනි රෝදයෙන් වේගයෙන් මෝටර් සයිකල් පැදීම ප්‍රශ්න කරන කෙනෙකුට ය. ගැහීමට පොරොතුව පවා ඔවුන්ගේ මානසිකත්වය පිරික්සන කෙනෙකුට පෙනෙන්නේ “මං පොර” යන හැගීමෙන් ඔවුන් කටයුතු කරමින් තිබූ බව ය.

චණ්ඩි කම හා මැර කම, වීරකම හා පිරිමිකම සමග සමපාත කරමින් මත වාද ගොඩ නැගූ සමාජය මේ “මං පොර” මානසිකත්වය මේ දරුවන්ට හිමි වීම සම්බන්ධයෙන් වග කිව යුතු නැද්ද? උසාවිය පවා නොතකා ඒ තුළ ජවුසං නැටීම හේතුවෙන් භික්ෂූන් වහන්සේ නමක් හිර බත් කන විට මේ දරුවන්ට ලැබෙන ආදර්ශය කුමක් ද? එසේ දඩුවම් ලැබූ භික්ෂූන් වහන්සේ ඉතා කෙටි කලකින් ජනාධිපති සමාවක් ලැබ නිදහස් වන විට එයින් සමාජයට දෙන පණිවුඩය කුමක් ද?

අප ඉන්නේ ඉතා මෑත කාලයක දළදා මාලිගාව අභියස පවා පාරවල් වසමින් රජ දරුවන්ට රේස් පදින්නට ඉඩ සලසා දුන් රටක ය. රජ දරුවන් එසේ කරන විට අපේ දරුවන්ට තමන්ට තියෙන සයිකලයකින් වසා නැති පාරක වුව ද රේස් පදින්නට වුවමනාවක් ඇති වීම ගැන පමණක් අපට උරණ විය හැකි ද? එකෙක් වැරැද්දක් කළ පමණින් සෙසු අයට වැරදි කිරීමට අවසර නොලැබෙන බව ඇත්ත ය. එහෙත් නායක කාරකාදීන් දෙන ආදර්ශ පිළිපැදීම සම්බන්ධයෙන් අපට උත්තර තිබේ ද?

පිරිහී ඇති සමාජයක ඒ පිරිහීමට ම බඳුන් වී වරදේ පෙළඹෙන දරුවන්ට මරණ දඩුවම දීමට ඉක්මන් වන අය මේ සමාජය මේ මට්ටමට වැටීම ගැන මුවින් නොබැණ සිටීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

මේ පහර දීම විසින් අපට දමා ගසන්නේ උත්තර නොවේ. තව තවත් ප්‍රශ්න ය. ඒ ප්‍රශ්න මග හැර හිතට එන ආවේගයකින් කොල්ලන්ට දඩුවම් කරන්නට යන අය ගැන මට නම් ඇති වන්නේ ජුගුප්සාවකි. ඔවුන් දඩුවම් ලැබිය යුතු ය. එහෙත් ඔවුන් මරණයට දක්වා අත් පිහදා ගෙන සිත නිදහස් කර ගැනීමට නම් මේ වැඩිහිටියනට ඉඩ නොදිය යුතු ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *