‘ආවා ගෘෘප්’ හැදුවේ මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ !

යාපනය තුළ ‘ආවා’ නමින් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන කල්ලිය, රාජපක්ෂ පාලන සමයේ උතුරු ආඥාපති වශයෙන් කටයුතු කළ මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහගේ මෙහෙයවීම මත රහසිගතව ගොඩනගන ලද්දක් බව මේ වන විට අනාවරණය වී ඇත.

මෙම කල්ලිය යුද්ධය නිමාවීමෙන් පසු ඉතා සැලසුම් සහගතව ගොඩනගා ඇති බව හෙළිව ඇත්තේ, යාපනයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබිමකින් සරසවි සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිදුවීම පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලදීය.

 

කෙසේවුවද මේ සම්බන්ධයෙන් කිසිවක් මාධ්‍යට හෙළි නොකරන ලෙස පොලිසියට ඉහලින් උපදෙස් ලැබී ඇති බව කියවේ. එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ ‘ආවා’ කල්ලියට අමතරව තවත් එවැනිම කල්ලි කණ්ඩායම් කිහිපයක් යුද්ධයේ නිමාවෙන් පසුව උතුරේ ක්‍රියාත්මක වන බවයි.

 

දකුණු ඉන්දියානු චිත්‍රපට වල අභාෂය ලබමින් තරුණ කණ්ඩායම් කඩු මාන්න කැති රැගෙන මෝටර් සයිකල් වලින් ගමන් කරමින් පහරදීම් සිදුකරන බවද ඔහු පැවසිය.

 

2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ එවැනි කණඩායමක සාමාජිකයින් දෙදෙනෙකු මෝටර් සයිකලයකින් පැමිණ කොකුවිල් පොලිස් මුරපලක සිටි පොලිස් නිලධාරියකුට මාන්න පහරක් එල්ලකළ බවත් ඔහු කීය.

 

යුද්ධයේ ආරම්භයට පෙරද මෙවැනි කණ්ඩායම් යාපනයේ ක්‍රියාත්මක වූ බව වාර්තාවී ඇති අතර, එල්.ටි.ටි.ඊ. සංවිධානය පැවති වකවානුවේ එවැනි කණ්ඩායම් දක්නට නොලැබුන බව වාර්තා වේ.

 

මේ වන විට යාපනය තුළ ‘ආවා’ නමින් අපරාධ කල්ලියක් යතුරුපැදිවලින් ගමන් කරමින් කඩු මුගුරු යොදාගෙන අපරාධ කරන බවත්, එම කල්ලියේ සාමාජිකයන් පිරිසක් බව සිතමින් පොලීසිය පසුගියදා යාපනය සරසවි සිසුන් ගිය යතුරුපදියකට වෙඩි තැබීම සිදුකර ඇති බවත් දැනට සිදුකර ඇති පරීක්ෂණවලදී අණාවරණය වී ඇති බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී පැවසිය.

 

යාපනයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට කඩුවලින් පහරදීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසුවේ එම පහරදීම සිදුව ඇත්තේ බුද්ධි අංශ නිලධාරින් පොලිස් නිලධාරින් බවට හඳුනාගැනීමකින් තොරව බවයි.

 

‘ආවා’ කල්ලිය ප්‍රදේශයේ වෙළදසැළක් කොල්ල කන අවස්ථාවේදී එය වැළැක්වීමට පොලීසිය කටයුතු කළ අවස්ථාවේදී මෙම පහරදිම සිදුව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

 

කෙසේ වුවද උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතා පවසන්නේ, හමුදා සාමාජිකයින් 150,000 කට වැඩි පිරිසක් හා පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි අංශ නිලධාරීන් දහස් ගණනක් උතුරේ සිටියදී මෙවැනි කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක වීම සැකකටයුතු බවයි.

 

පොලීසිය විසින් වෙඩිතබා මරා දැමූ සරසවි සිසුන් දෙදෙනාගේ මරණය පිළිබඳව පරීක්ෂණය පවත්වන රහස් පොලීසියට මේ වනවිට අනාවරණය වී ඇත්තේ ගිනිඅවි පිළිබඳව මනා පුහුණුවකින් තොර පොලිස් නිළධාරීන් තම බලතල ඉක්මවා යමින් සිදුකළ වෙඩිතැබීමකින් මෙම මරණ සිදුවී ඇති බවයි.

 

වෙඩිතැබූ පොලිස් නිළධාරියා මරණකරුහට වෙඩි වැලක් (Burst) එල්ලකොට ඇති අතර පිටුපසින් ගමන් කළ තැනැත්තා මරණයට පත්වී ඇත්තේ වෙඩි වැදීමකින් නොව බිම ඇදවැටී හිස මහපාරේ ගැටීම හේතුවෙන් බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

 

මේ වනවිට දකුණේ මෙන්ම උතුරේ දේශහිතෛෂී, දේශප්‍රේමී මාංශ භක්ෂකයෝ ඔවුන්ගේ සිතැඟි පරිදි නිර්වචන සපයමින් මෙම සිද්ධිය අනුභව කරමින් සිටී.

 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *