ජනාධිපතිවරයා දැන් මොනවා කීවත්, සියල්ලන්ටම තේරුම් ගියේ එකම ආකාරයටයි- ගාමිණි වියන්ගොඩ

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව, රටේ පසුගිය අවුරුදු දෙකකට අධික කාලයක් තිස්සේ ප්‍රතිගාමී බලවේග ජාතිවාදී බලවේග අරගෙන ගිය ව්‍යාපාරයකට ලැබුණු තල්ලුවක් විදියට අපට දකින්නට පුළුවන. ජනාධිපතිතුමා එසේ තල්ලුවක් දීමේ අදහසින් ඒ කතාව කළා ද කියා අපි දන්නේ නැත. කොහොම වුණත්, වෙලා තිබෙන්නේ ඒකයි. මෙතුමා බලාපොරොත්තු වුණු දෙයක් හෝ නැති දෙයක් වුණත් සත්‍යය වශයෙන් අද ඇති වී තිබෙන තත්ත්වය ඒකයි. ඒක හොඳට පේනවා එතුමාගේ කතාව පිලිබඳව ඒකාබද්ධ විපක්ෂයේ අය දක්වන ප්‍රතිචාර වලින්. උදාහරණයක් විදියට ගත්තොත් ගොඨාභය රාජපක්ෂ මේ කතාව පිළිබඳව ප්‍රසංශා කරල තියෙනවා. විමල් වීරවංශ, ගම්මන්පිල වගේ අය ප්‍රමොදයට පත්වෙලා තියෙනවා ජනපතිතුමාගේ කතාවෙන්. දැන් ජනපතිතුමා මොනතරම් පුනපුනා කීවත් තමන් අදහස් කළේ ඒක නෙවෙයි කියලා, රටට පණිවුඩය ගිහින් තියෙන්නේ මේ ආකාරයට. එහෙයින් තේරුම් ගැනීම අඩුවක් නිසා කළ ප්‍රකාශයක් කියල මම හිතන්නේ නෑ. මොකද හැමෝම මේ කතාව තේරුම් අරන් තියෙන්නේ එකම විදියට නිසා. ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ කඳවුර වෙනුවෙන් පෙනී සිටින, ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරපු, සිවිල් සමාජ සංවිධාන වගේම වෙනත් ප්‍රගතිශීලී බලවේග මෙය තේරුම් ගත්ත ආකාරය එකවගෙයි. අනෙක් පැත්තෙන් ඒ ජනවාරි 8 විරුද්ධව සිටි, විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය වගේ කණ්ඩායම් මේක තේරුම් ගත්ත ආකාරයයි දෙකම එක සමානයි. මේ සෑම දෙනාටම තේරුම් ගිහින් තිබෙන්නේ සමාන අදහසක්. ජනාධිපතිතුමාට කියන්න පුළුවන් කමක් නෑ තමන්ගේ කතාව තේරුම් ගතයුත්තේ ඒ ආකාරයෙන් නෙවෙයි කියලා. දැන් ඊලඟට මේ තත්වය විසින් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මේ කඳවුර ශක්තිමත් කරල තියෙද්දි අනෙත් පසින් ජනවාරි 8 සඳහා මූලිකත්වය ගත් කණ්ඩායමේ විශාල දුර්වල වීමක් ඇතිකරල තියෙනවා. ඒක නිසා මේ ප්‍රකාශය අපි සළකන්නේ ඉතා අවාසනාවන්ත අවස්ථාවක් හැටියටයි.
ඒ වගේම මේ වන විට අනික් පසින් මේ වගේ දූෂණ වංචා පිළිබඳව මහත් ආන්දෝලනයක් ඇතිවෙමින් තියෙනවා. විශේෂයෙන් මහබැංකු බැඳුම්කර මගඬිය, අවුරුදු එකහමාරක කාලයක් තිස්සේ යටපත් කරන්නට එ.ජා.ප කොටස් උත්සහයක නිරතවෙලා තියෙනවා. දැන් කොහොම හරි අද පත්තර වාර්තා කරන ආකාරයට කෝප් කමිටුව නිර්දේශකර තිබෙනවා හිටපු මහ බැංකු අධිපතිගේ බෑණා වන ඇලෝසියස්ගේ සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. මේ දේවල් මෙපමණ පමාවීම නිසා මේ රටේ විශාල ව්‍යාකූලත්වයක් ඇති වෙලා තියනවා. ජාතිවාදී බලවේග, ප්‍රතිගාමී බලවේග මේ දේවල් මේ තාක් කල් කළ දේශපාලනිකව භාවිතා කරලා තියනවා. ඒක නිසා අප රටට ඇති වන සාමාන්‍ය සිදුවීම් පවා වාර්ගික අර්ථ කථනයක් ලැබෙන විදියට පාවිච්චි කරන්නට ඇතැම් කණ්ඩායම්වලට පුළුවන් වෙලා තියනවා. පසුගිය දිනවල යාපනයේ සිසුන් දෙදෙනෙක් ඝාතනය කීරීමේ සිද්ධියේ දී මුලින්ම පොලීසිය අනුගමනය කළ ක්‍රියා කලාපය කොහෙත්ම එකඟ විය හැකි එකක් නොවේ. පසුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් එම සිද්ධියට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බව පේනවා. ඊට ඉස්සෙල්ලා යාපනය විශ්ව විද්‍යාලයේ ඇතිවූ සිදුවීම්වල දී ශිෂ්‍යන් අතර ගැටුම් ඇති වූ අවස්ථාවල දී දකුණේ අය එක එකපාරට විස්තර කරන්නට ගියේ අපේ සිංහල සිසුන්ට විරුද්ධව දෙමළ සිසුන් ඇති කළ පහර දීමක් විදියටයි. දකුණේ ඇති වන සිද්ධියක් උතුරේ ඇති වූ සෑම වෙලාවේම අපේ ප්‍රතිගාමී දේශපාලනඥයින් ජාතිවාදී ආලේපනය තැවරීමට උත්සහ කරනවා. දකුණේ සිසුන් ගහමරා ගන්නා හැටි අප දැක තිබෙනවා. එවන් අවස්ථාවල සිංහල දෙමළ අර්බුදයක් ඇති වූවා යැයි අපි කිසිවිටකත් ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් උතුරේ එම සිද්ධිය වෙන විට වෙනත් ලේබල් ඇලවීමට අපි පුරුදු වෙලා ඉන්නවා. මේ ආකාරයේ ව්‍යාකූල තත්ත්වයක් සමාජයේ මේ වන විට ස්ථාපිත වෙලා තිබෙනවා.
දැන් සෑම පැත්තකින් ම තිබෙන, ඇති වූ ප්‍රති විපාකය වන්නේ ඉදිරියේ කිරීමට තිබෙන ඉතාම වැදගත් දේශපාලනික හා සමාජීය ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීමට මෙයින් බාධා ඇතිවිය හැකි වීමයි. උදාහරණයක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිකර ගැනීම සඳහා මීට වඩා බලමුළු ගැන්වීමක් සමාජයේ තිබිය යුතුයි. නමුත් සමාජය මේ ආකාරයට භේද භින්න වන විට විවිධ ප්‍රශ්න ඔස්සේ අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අවශ්‍යය පරිසරය නැති තත්ත්වයක් උදාවන්නට හැකියාවක් තිබෙනවා. ජනපතිතුමා කළ කතාවත් මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය මේ දක්වා ගෙනගිය ක්‍රියා කලාපය නිසා ජනවාරි 8වන දින ජනතාව තබාගත් බලාපොරොත්තු කඩවීමක් සිදුවී ඇති බව අපට නිරීක්ෂණය වෙලා තිබෙනවා. මෙහිදී අපි පරාජිත ස්වරූපයකට යා යුතු නැත. අපි මේ අභියෝගය බාර ගත යුතුයි. ඒවාට මුහුණ දිය යුතුයි. ජනවාරි 08 මේ රටේ ජනතාව තැබූ බලාපොරොත්තු සහ අපේක්ෂා ඒ අයුරින් පවත්වා ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අතර තිබිය යුතු ප්‍රශස්ථ අවබෝධය එක දිගට පවත්වා ගනිමින් අර කියන ජාතිවාදී සහ ප්‍රතිගාමී බලවේග වලට හිස ඔසවන්නට හැකි අවස්ථාඅවම කිරීමට සිවිල් ව්‍යාපාර විදිහට මේ අවස්ථාවේ මැදිහත් විය යුතු බව අපි විශ්වාස කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *