උපයෝගිතා කොමිසම රිවස් වෙයි ; විදුලි කැපීම අනුමත කළ බව කියයි

 

විදුලිය කැපීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී නැතැයි ද, විදුලිය කැපීම නීති විරෝධී යැයි ද, ප්‍රකාශ කරමින් සිටි මහජන උපයෝගිතා කොමිසම විදුලිය කැපීමට අවසර දුන් බව අද නිවේදනය කළේය.

උපයෝගිතා කොමිසම අවසර දී නැති බව කීවද , පසුගිය දිනවල ද , විදුලිය කැපීම ක්‍රියාත්මක වූ අතර එය නැවතීමට කොමිසමට කිසිවක් කළ නොහැකි වී ය.

විදුලිය කැපීමට එරෙහිව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කළ අධිකරණය නඩුවට ගිය වියදම් කොමිසමේ මුදලින් නොගෙවිය යුතු බවට ද, කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හිතුවක්කාර ලෙස ක්‍රියා කර ඇතැයි ද ප්‍රකාශ කරමිනි.

අද කොමිසම නිවේදනය කළේ දිනපතා පැය දෙකයි විනාඩි විස්සක විදුලි කැපීමකට අවසර දුන් බව ය.

ජනක රත්නායක මහතාගේ ක්‍රියා කලාපයට විරෝධය ප්‍රකාශ කරමින් කොමිසමේ සාමාජිකයින් දෙදෙනකු ඉල්ලා ඇස වී ය. දැනට සිටින සාමාජිකයින් දෙදෙනා ද රත්නායක මහතාගේ තීරණ අනුමත නොකරන බව ලිඛිතව දැනුම් දී තිබේ.

කොමිසමේ දැන් ඉන්නේ තිදෙනෙකු බවත්, තමන්ට ඡන්ද දෙකක් ඇති බවත්, කොමිසමට අවශ්‍ය තීන්දු ගැනීමට තමන් ඉඩ නොදෙන බවත්, ජනක රත්නායක මහතා පසුගියදා පැවති රුපවාහිනී සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *