ණය ගැන තීරණ ගන්න ලෝක සමුළුවක් ලබන සතියේ ඉන්දියාවේ දී

 

 

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මුහුණ දී සිටින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නය ගැන අදාළ සියලු රටවල් සහභාගී වන ලෝක සමුළුවක් ලබන සතියේ ඉන්දියාවේ දී පැවැත්වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි.

ලෝකයේ බලවත් රටවල් සාමාජිකත්වය දරන ජී 20 කණ්ඩායමේ මුදල් ඇමතිවරුන්ගේ සහ මහා බැංකු අධිපතිවරුන්ගේ සමුළුව ඉන්දියාවේ බැංගලුරුහිදී මෙම මස 23 සිට 25 දක්වා පැවත්වීමට නියමිත අතර එයට සමගාමීව ලෝක ණය ප්‍රශ්න ගැන විශේෂ සමුළුවක් පැවැත්වීමට සැලසුම් කොට ඇති බව කියති.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් වන ඉන්දියාව ,චීනය, ජපානය ඇතුළු ලොව බලවත් රාජ්‍යයන් ජී 20 කණ්ඩායමේ සාමාජිකත්වය දරයි.

මෙම සංවිධානයේ මුදල් ඇමතිවරුන්ගේ සහ මහා බැංකු අධිපතිවරුන්ගේ සමුළුවක් පැවැත්වෙන්නේ පළමු වරට වන අතර සංවිධානයේ වත්මන් සභාපති වන ඉන්දියාව එහි සත්කාරකත්වය දරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිත ය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තියක් සකසා ගැනීමට මෙම සමුළුව උපයෝගී කර ගැනීමට අපේක්ෂා කරන බව කියති.

අදාළ සියලු රටවල මුදල් ඇමතිවරුන් සහ මහා බැංකු අධිපතිවරුන් එකට හමු වී සාකච්ඡා කිරීමට හැකි වීම මෙහි ඇති විශේෂ වැදගත්කමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *