|

වැඩ බැරි නම් වැඩකුත් නෑ ; බැරි නම් අපි එන්නෙත් නෑ – කුලසිරි ලියනගේ

“වැඩ බැරි නම් වැඩකුත් නෑ .. බැරි නම් අපි එන්නෙත් නෑ” යන කියමන තවදුරටත් ඊනියා අරගලකරුවන්ට අදාළ නැත. දැන් ඒ සටන් පාඨය අදාළ ජනාධිපති රනිල් වික්‍රමසිංහටය. මේ කියන්න යන්නේද ඒ ගැනය.

අනුන්ගේ දරුවකු ඇකයේ හොවා කැඩුණු වැල් පාලම දිගේ ඇවිද යන්නා ජාතියක් අමතා, 2022 මැයි මාසයේ අග භාගයේ අග්‍රාමාත්‍ය රනිල් කළ ප්‍රකාශය අපට මතකය. හුණුවටයේ කතාවේ ගෲෂාට තමාව සමාන කරමින් එදා අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් සිදුකළ කතාව මෙරට දේශපාලන ඉතිහාසයේ පුරවැසියන් කෙරෙහි විශාලම රිදුම ඇති කළ ජාතිය ඇමතීම ලෙස හැඳින්වූවාට වැරදි නැත. එසේ කියන්නේ එදා ඒ කතාව තුළින් හෙළිදරව් වූ තිත්ත සත්‍ය පුරවැසියා තැති ගන්වන සුළු වූ නිසාය. එදා ඒ ජාතිය ඇමතීමේ කතාව පුරාවට තිබුණේ “අවදානම” සහ “බලාපොරොත්තුව” ය.

“මම ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නෑ. භයානක වුවත් අප්‍රසන්න වුවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටිකාලීනව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි. ඉදිරි මාස කිහිපයේදී අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය අපට ලැබේවි. ඔවුන් මේ වන විටත් අපට උදවු කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ සඳහා ගතවන මාස කිහිපය අපට ඉවසීමෙන් දරාගෙන ඉන්නම වෙනවා. නමුත් අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඒ සඳහා අපිට අලුත් මාර්ගයකට යන්න වෙනවා.” එදා ඒ කතාවේදී අග්‍රාමාත්‍ය රනිල් කිව්වේය.

 

නිදහස් රටක්

“සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට තීරණය කර ගන්නා නිශ්චිත කාලරාමුවක් තුළ පොදු කෙටි කාලීන – මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට අපට හැකි වෙනවා. භූමිතෙල්, ගෑස්, ඉන්ධන පෝලිම් නැති රටක්, විදුලි බලය කැපෙන්නේ නැති රටක්, කෘෂිකර්මාන්තය නිදහසේ කරගෙන යන්න පුළුවන් පහසුකම් ඇති රටක්, තරුණ තරුණියන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්. මිනිස් ශ්‍රමය අරගල භූමිවල සහ පෝලිම්වල නාස්ති කරන්න ඕන වෙන්නේ නැති රටක්. හැමෝටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්, තුන් වේල කන්න පුළුවන් රටක් අපි ගොඩනඟනවා.” යනුවෙන්ද එදා කතාවේදී රනිල් කිව්වේය.

එදා ජාතිය ඇමතීමේ කතාවේදී අග්‍රාමාත්‍යවරයා වැල් පාලම තරණය කළ හුණුවටයේ ගෲෂා සිහි කරමින් , බලාපොරොත්තු සහගත අවසානයක් ලබාදුන්නේ තමන් විසින් භාරගනු ලැබූ අභියෝගයේ ඉදිරිය සම්බන්ධව දේශපාලන – ආර්ථික සාක්ෂරතාවය ඇති නැති සියලුම පුරවැසියන්ට අවබෝධ වනු පිණිස විය යුතුය.

“මේ අභියෝගය මම බාර ගත්තෙ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීම නෙවෙයි. මුළු රටේම ජනතාව බේරා ගැනීම, මුළු රටම බේරා ගැනීම, තරුණ පරපුරේ අනාගතය බේරා ගැනීම. ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මුහුණ දෙනවා. ඒ අභියෝගය ජය ගන්නවා. ඊට ඔබ හැම දෙනාගේම සහයෝගය මට ලබා දෙන්න, මම මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා. ඒ මා ඔබට දෙන පොරොන්දුවයි.” එදා ජාතිය ඇමතීම අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් අවසන් කළේ එහෙමය.

 

ණය නැති හෙටක්

2022 ජූලි 21 වනදා සිට රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිය. ඒ වන විටත් ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ සිට ලබාදුන් පොරොන්දු ඉටුකර සිටියේ පෝලිම් යුගය මුළුමනින්ම අවසන් කරය. ඊළඟට තිබුණේ වැටෙමින් තිබුණු බරපතළ ආර්ථික ආගාධයෙන් රට ගොඩනැඟීමේ කටයුත්තය. ඊට අදාළව තීරණාත්මක කටයුත්තක් වුයේ මෙරට පැවති විදෙස් මුදල් සංචිතයේ අර්බුදය විසඳා ගැනීමය. සාම්ප්‍රදායික දේශපාලනඥයාගේ සිට ආර්ථික විෂය ගැන දැනුම් තේරුම් සහිත විද්වතුන් පමණක් නොව ආර්ථික තෙල් බෙහෙත් වෙදාලද ඒ ගැන එක එක කතා කියද්දී , ජනාධිපතිවරයා කියා සිටියේ , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට ඇතුළත්වීම හැර මේ අර්බුදයෙන් පියමං කිරීමට කෙටි මගක් නොමැති බවය. නමුත් ඒ වෙනුවෙන් ලංකාව පැත්තෙන්ද සිදුකර ගත යුතු කටයුත්තක් තිබිණ. ඒ මෙරටට අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට මෙරට ප්‍රධාන ණයකරුවන් එකඟකර ගැනීමය. ඒ , ඒ වන විටත් රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කර තිබූ නිසා, එනම් ලංකාව ණය පොලී ගෙවීම පැහැර හැර තිබූ නිසාය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණයකරුවන් වූයේ ඉන්දියාව , චීනය සහ ජපානය ප්‍රමුඛ පැරිස් සමාජය ය. එදා ජනාධිපති රනිල් ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීම වෙනුවෙන් රට මෙහෙයවන විට විපක්ෂය කිව්වේ, හම්බන්තොට වරාය චීනයට දුන්න නිසා රනිල් සමඟ ඉන්දියාව සහ බටහිර ඔරොප්පු බවය. රනිල් අ‍ෙමරිකන් අධිරාජ්‍යවාදියකු නිසා චීනයේ සහය නොලැබෙන බවය. ජපානයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හැර දැමූ රාජපක්ෂ කඳවුරේ ආරක්ෂකයා රනිල් නිසා ජපානය ප්‍රමුඛ පැරිස් සමාජයේ සහයත් රනිල්ට නොලැබෙන බවය. ඒ අනුව විපක්ෂයේ විග්‍රහය වූයේ මේ මොහොතේ රනිල්ට කවුරුත් නැති බවය. තනි මන්ත්‍රීවරයකු ලෙස ජනාධිපති වූ රනිල්ට ජනවරමක් නොමැති නිසා, කිසිඳු විදෙස් සහයක් නොලැබෙන බවය.

ඔවුන් එසේ කයිවාරු ගසන අතරේ ජනාධිපතිවරයා පළමු අවස්ථාවේදීම ලංකාවට අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීමට ජපානය සහ පැරිස් සමාජය එකඟකර ගන්නට සමත් විය. ඒ අවස්ථාවේ විපක්ෂයේ නිකමුන් ජනාධිපතිවරයාට කෝචොක් කළේ ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව රනිල්ට නොලැබෙන නිසා ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට නම් කොහෙත්ම අවස්ථාවක් නොලැබෙන බවය. ඒ අස්සේ තමන්ගේ භාෂා කුසලතාවයෙන් ගොඩයන්න හිතූ විපක්ෂ නායක සජිත් කියා සිටියේ, තමන්ට ජනවරමක් දුන්නොත්, ඉංග්‍රීසි භාෂාවෙන් කතාකර විදෙස් නායකයන්ගේ හිත දිනා ගෙන විදෙස් සංචිතයේ අර්බුදය විසඳ ගන්නා බවය. ජවිපෙ – ජාජබ නායක අනුර දිසානායක කිව්වේ, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් අයෙකුගෙන් වැඩිපුර ඩොලර් 500ක් බැගින් එවන ලෙස ඉල්ලා විදෙස් සංචිතයේ අර්බුදය විසඳන බවය. විපක්ෂයේ සිටින බලගතුම නායකයන් දෙදෙනා මෙහෙම විහිළු කතා කියන විට ජනාධිපති රනිල් සිදුකළේ සිය නියෝජිතයන් සමඟ ඉන්දු – චීන ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් වන සාකච්ඡා ඉදිරියට ගෙන යාමය. ජනතාව අමතන සෑම විටම කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ සාකච්ඡා සාර්ථක කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට ඇතුල් වෙන බවය. එහිදී ලැබෙන සහතිකය මත අනෙක් ජාත්‍යන්තර මුල්‍ය ආයතන සහ රටවල් සමඟ සම්බන්ධ වීමට ලංකාවට නැවතත් අවස්ථාව හිමිවෙන බවය. ඒ තුළ නැවත රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ වැඩසටහන පියවර කිහිපයක් ඉදිරියට ගැනීමට අවස්ථාව හිමිවෙන බවය.

 

නිවැරැදි තීරණ

විපක්ෂයත් – ජනාධිපතිත් ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කියන කතා අසාගෙන ජනතාවත් සිටියේ යම් තරමකට අන්දමන්දවය. ඒ අන්දමන්දව සිටි ජනතාවට එයින් මිදෙන ශුභාරංචි පණිවිඩය ගෙනාවේ පසුගිය සතියේ මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් ය. එහිදී ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා සිටියේ , ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදීමට ඉන්දියාව කටයුතු කළ බවය. ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා ණයහිමියන් ක්‍රියාශීලීව පියවරගත යුතු බව ඉන්දියාව දැඩි ලෙස විශ්වාස කරන බවත්, එබැවින් අන් පාර්ශ්ව දෙස බලා නොසිට නිවැරදි යැයි සිතන පියවර ගැනීමට ඉන්දියාව තීරණය කළ බවත් විදේශ අමාත්‍යවරයා කීය.

එයින් නොනැවතුණු ඔහු ශ්‍රී ලංකාව නිසැකවම වත්මන් ආර්ථික අභියෝගය ජය ගන්නා බව ඉන්දියාව විශ්වාස කරන අතර, විශ්වාසවන්ත මිතුරෙකු ලෙස ඉන්දියාව මෙම අසීරු කාලසීමාවේදී ශ්‍රී ලංකාව සමඟ සිටින බවත් පැවසීය. එසේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා ඉන්දියාවෙන් ලබාගත හැකි සහාය පිළිබඳ සාකච්ඡා කිරීමට හැකි ඉක්මණින් ඉන්දියාවට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය න‍රේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් බව ද ඔහු ප්‍රකාශ කළේය. ඒ සමඟම නිල නොවන මට්ටමින් දැන ගන්නට ඇත්තේ චීනය ද මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාව පළකර ඇති බවය. ඒ හරහා ඉතාමත්ම කඩිනමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහනට යාමට මෙරටට අවස්ථාව හිමිවන බව පැහැදිලිය.

 

හිතකර සැලසුම්

ඒ කියන්නේ පෝලිම් යුගය අවසන් කළ රනිල්, දැන් පිමි කිහිපයකින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගන්නට තිබූ දුෂ්කරම නමුත් අනිවාර්යයක්ව පැවති බාධාව ජයගෙන ඇති බවය. සැබවින්ම ජනාධිපතිවරයා මේ ආකාරයට රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන්නට සහ ජාත්‍යන්තරයට මෙරට දේශපාලන ස්ථාවරත්වය ගැන පිළිගත හැකි සහතිකයක් දෙන්න , සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරා අපිට මතකය. නමුත් විපක්ෂය ඉතාම නරුම ආකාරයට ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කළෙන් , ඔවුන්ට මේ මල් වට්ටියට අතගසන්න ලැබුණේ නැත. එහෙනම් මේ මල් වට්ටිය දැන් ඉතිහාසයට එකතු වන්නේ, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මිලියන 22 ක ජනතාවගේ මේ අභාවාචී ඉරණම වෙනස් කිරීම වෙනුවෙන් ගෙන ගිය උපාය මාර්ගික වැඩපිළිවෙළේ සාර්ථක කඩඉමක් ලෙසය.

දැන් ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තවදුරටත් බොරු කයිවාරු ගැසීමට විපක්ෂයට ඉඩක් නැත. ඔවුන්ට දැන් අලුත් සටන් පාඨයක් සොයා ගන්නට සිදුව ඇත. මෙතරම් වැදගත් කඩඉමක් ගැන සලකුණක් පවා නොතබා, සත පහක වැදගැම්මකට නැති පළාත් පාලන ආයතන මැතිවරණයක් ගැන පම්පෝරි ගහන තැනට විපක්ෂය මාරුවී ඉන්නේද ඒ නිසා වන්නට පුළුවන.

නමුත් ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ පම්පෝරි අතාර්කිකව වැලඳ ගන්නා අනුගාමිකයන්ට කියන්න ඇත්තේ, දේශපාලනය කියන්නේ කයිවාරුවක් පමණක්ම නොවන බවය. දේශපාලනය කියන්නේ එක්තරා ආකාරයක සෙල්ලමක් ය. සෙල්ලම ජයගන්න මොන දේ තිබුණත් දැනුමක් , බුද්ධියක් වගේම විශේෂ ප්‍රාගුණ්‍යයක් තිබිය යුතුය. ඒ සමඟ හොඳ සැලැස්මක් ද තිබිය යුතුය. එසේම සතුරන් ඉදිරියේ පසු නොබසින වීර්යයක්, ධෛර්යයක් මෙන්ම සතුරාට මුහුණදෙන්න හොඳ කොන්දක් ද තිබිය යුතුය.

 

අවධානම සහ බලාපොරොත්තුව

එහෙම නැතුව සෙල්ලමට එන්න හොඳ නැත. ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ දරුණුම අර්බුදකාරී තත්වයකට පත්ව ඇති මොහොතක, දේශපාලනික වශයෙන් විපක්ෂයේ කිසිදු පක්ෂයක සහයක් නොලැබ තිබියදී රට වැටී තිබුණු මහ ආගාධයෙන් ගොඩගැනීමට ජනාධිපතිවරයා සමත්ව ඇත. රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ඉතිරිව තිබූ එකම විකල්පය වූයේ ජාතන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමණි. ඒ වෙනුවෙන් වූ පූර්ව කොන්දේසිය ණය ප්‍රතිව්‍යුහගතකර ගැනීමය. දැන් ඒ කොටසත් සාර්ථකය. අමතක නොකළ යුතුව ඇත්තේ මේ සඳහා රජය යොමු කරනු ලැබුවේ ජනාධිපති රනිල් බවය. ඒ සිදුවන්නේත් එතෙක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු රටේ පරම හතුරෙක් ලෙස සලකමින් එහි සහය ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කර තිබු කඳවුරක සිටය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකිරීම ප්‍රතික්ෂේප කරමින් නොහැකි බව කියමින් ඒ මඟ හැර සිටි කඳවුරකම සහය අරගෙනය. කෙසේ හෝ වේවා මේ අනුව එළඹෙන මාසයක් දෙකක් ඇතුළත යළි රට සංවර්ධනයේ මාර්ගයට අවතීර්ණ වීමේ මාර්ගය විවර වීමට නියමිතය.

මේ සියල්ල පෙන්නුම් කරන්නේ ජනාධිපති රනිල් සෙල්ලමට බැස්සේ , ජයග්‍රහණයට අවශ්‍ය සියල්ල හොඳටම සකස්කර ගෙන බවය. කවුරු සහය නොදුන්නත් මිලියන 22 ක ජනතාව වෙනුවෙන් නිහඬ බහුතරයේ විශ්වාසය පමණක්ම පෙරදැරිව ඔහු දැන් සෙල්ලම තමන්ගේ පාලනයට ගනිමින් ඇත. එදා ඒ ජාතිය ඇමතීමේ කතාව පුරාවට තිබුණේ “අවදානම” සහ “බලාපොරොත්තුව” ය. නමුත් දැන් ඉදිරියට ඇත්තේ ” බලාපොරොත්තුව” සහ “ජයග්‍රහණය” ය. ඒ වෙනුවෙන් ඉදිරියට යාමය. එහෙම ගමනක “වැඩ බැරි නම් වැඩකුත් නෑ .. බැරි නම් අපි එන්නෙත් නෑ” යන සටන් පාඨය කිව හැක්කේ ජනාධිපති රනිල්ට හැර වෙන කාටද ?

 

කුලසිරි ලියනගේ

දිනමිණ 

         

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *