සයිටම් විරෝධතාකරුවන් නොදුටු පැත්ත

 

මෑතක සිට අප රටේ පුවත් මවන මාළඹේ සයිටම් වෛද්‍ය පීඨයේ මතුව ඇති ගැටලුව සම්බන්ධව වැඩබලන උපකුලපති මහාචාර්ය දීපාල් වීරසේකර මහතා සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරිණි

සයිටම් විශ්වවිද්‍යාලය යනු අප රටේ වර්තමානයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් පුද්ගලික විශ්වවිද්‍යාලයකි. මෙම විශ්වවිද්‍යාලය තුළ විවිධ විෂයන් යටතේ උපාධි පිරිනැමුවද මෙය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ මෙහි ඇති වෛද්‍ය පීඨය නිසාවෙනි. සයිටම් ‍වෛද්‍ය පීඨය ගැන දිනෙන් දින පුවත් මැවෙයි. ඇතැමෙක් එය අප රටේ උසස් අධ්‍යාපනයේ නිම්වළලු පුළුල් වූ අවස්ථාවක් ලෙස දකී. ඇතැමෙක් එය මෙරට නිදහස් අධ්‍යාපනයට එල්ල වූ මරුපහරක් ලෙස දකී.

මේ කරුණු කෙසේ වෙතත් වසරකට අප රටේ උසස්පෙළ විභාගයට පෙනී සිටින පිරිස අතරින් 50% කට ආසන්න පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් ලබයි. නමුත් අප රටේ එම පිරිසෙන් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීමට හැකියාව ඇත‍්තේ 1/5කටත් අඩු පිරිසකටය.

එම පිරිස සංඛ්‍යාත්මකව ගත්තොත් විසිහය දහසකට ආසන්නය. ඉතිරි පිරිසට විශ්වවිද්‍යාල වරම් ලැබීමට හැකියාවක් නොමැත. තම මවු පියන්ගේ ආර්ථික මට්ටම අනුව ආර්ථික ශක්තිය ඇති පිරිස කෙසේ හෝ විදේශ විශ්වවිද්‍යාල සඳහා ගොස් තම සරසවි සිහිනය සැබෑ කරගනී. මෙහිදී විශේෂයෙන් විදේශ රටවලින් වෛද්‍ය උපාධිය ලබාගැනීමට වැඩි නැඹුරුතාවයක් පවතියි. මෙහිදී ඔවුන්ට විදේශ රටවලට ගොස් එම රටවල භාෂාව හදාරා එහි අධ්‍යාපනය ලබා ගැනීමට සිදුවේ. අප රටේ පුද්ලික විශ්වවිද්‍යාල විවිධ ක්ෂේත්‍රයන් යටතේ උපාධි පිරිනැමුවද වෛද්‍ය උපාධි පිරිනැමීම මෙතුවක් සිදුකර නැත. මේ නිසා අප රටේ විශ්වවිද්‍යාලයට ඇතුළත් නොවන ඕනෑම ශිෂ්‍යයෙක් වෛද්‍ය උපාධි ලබාගැනීමට නම් අනිවාර්යයෙන්ම විදේශ විශ්වවිද්‍යාලයකට ඇතුළත් විය යුතුය. නමුත් මාළඹේ සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ආරම්භ කළ පසු අප රටේ සිසුන්ට තම රටේදීම වෛද්‍ය උපාධිය හදාරන්නට අවස්ථාව හිමි විය. නමුත් එහිදී පැන නැගී ඇති අවහිර හා බාධක හමුවේ වෛද්‍ය උපාධිය ලැබුවද සයිටම් සිසුන්ට වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචිවීමට අවකාශය අහිමි වී ඇත.

මෙයට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඔවුන්ව ලියාපදිංචි නොකිරීම හා මාලඹේ සයිටම් වෛද්‍ය පීඨය සඳහා ඔවුන්ගේ පිළිගැනීම ලබා නොදීමයි. ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අනිවාර්යය වේ. එය වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් අප රටේ වෘත්තීයමය භාවය ලබා දෙනු ලබන බලය පැවැරූ ආයතනයකි.

මාලඹේ සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු කණ්ඩායමේ වෛද්‍ය සිසුන් 24 දෙනෙක් සර්ථකව තම උපාධිය හදාරා ඇත. මොවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය බලාපොරොත්තු වේ. සයිටම් වෛද්‍ය පීඨය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා අයදුම් කළ පසු එහි වෛද්‍ය මණ්ඩලයේ පරීක්ෂණ කණ්ඩායමක් දින 03ක් පුරා සයිටම් වෛද්‍ය පීඨයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී සයිටම් හි අධ්‍යාපනය ලබන වෛද්‍ය ශිෂ්‍යයන්ගේ සායනික පුහුණුවේ අඩුලුහුඬුකම් කිහිපයක් පෙන්වා දෙනු ලැබූහ. ඒ අනුව ඒවා සකස් කරගැනීමට සයිටම් පාලක සභාව විසින් කටයුතු ඉටු කරනු ලැබිණි.

සයිටම් වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් වෙනුවෙන් ප්‍රායෝගික පුහුණුව ලැබීම (සායනික) සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ආරම්භ කර ඇත. නමුත් එම රෝහල වෙත ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත් රෝගීන් පිරිසක් නොපැමිණෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අදහස විය. අප රටේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සත්භාවයෙන් මෙවැනි අඩු ලුහුඬුකම් පෙන්වා දීම ඉතා වටී‍. එසේම අපේ රට තුළදීම වෛද්‍යවරයෙකු වීමට සිහින මවන සයිටම් වෛද්‍ය ශිෂ්‍යයන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබාදීමට මැදිහත්වීමත් රටේ වගකිව යුත්තන්ගේ වගකීමකි. සයිටම් වෛද්‍ය පීඨයේ අඩුපාඩු ගැන නිසි සොයා බැලීමක් කිරීමට හැකියාව ලැබුණේ අප රට තුළම එය ක්‍රියාත්මක වන බැවිනි. නමුත් විදේශයන්හි පවත්වන වෛද්‍ය උපාධි පාඨමාලා ගැන හා ඔවුන් ලබන ප්‍රායෝගික පුහුණුව ගැන මෙතරම් කරුණු කාරණා සොයා බැලීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හැකියාව ඇත්දැයි සැක සහිතය.

අද බොහෝ දෙනා රට තුළ වැඩි වැඩියෙන් ආයෝජන අවස්ථා ඇති කළ යුතු යැයි විශ්වාස කරති. සයිටම් වෛද්‍ය පීඨයද අප රටතුළ සිදුකරන ලද ඵළදායි ආයෝජනයකි. විශේෂයෙන් විදේශ රටවල වෛද්‍ය උපාධිය හදාරන්නට වාර්ෂිකව විදේශ කරා රැගෙන යන අප රටේ මුදල් ප්‍රමාණය රට තුළ රඳවා ගැනීමට මේ තුළින් අවස්ථාව උදාවේ. ආසියානු කලාපයේ බොහෝ රටවල සිසුන් අප රට තුළ අධ්‍යාපනය ලැබීමට දක්වන කැමැත්ත නිසා අප රටට විදේශ විනිමය ගලා ඒමට සයිටම් වෛද්‍ය උපාධිය හේතුවක් වනු ඇත.

නමුත් අද අපේ රටේ සයිටම් ‍වෛද්‍ය උපාධිය පිළිබදව මවා ඇත්තේ බිල්ලෙකි. සයිටම් වෛද්‍ය උපාධිය හරහා රටේ නිදහස් අධ්‍යාපනය කප්පාදු වන බව කියමින් සරසවි ශිෂ්‍ය සංගම් වීදි බසියි. නමුත් අප රටේ සෑම නගරයකම ජාත්‍යන්තර පාසල් ආරම්භ කර ඇත. එම ජාත්‍යන්තර පාසල් ආරම්භ කිරීමේ දී අද නිදහස් අධ්‍යාපනය වෙනුවන් හඬ නගන පිරිස නිහඬ වී ඇත. අප රටේ ජාත්‍යන්තර පාසල් ගැන අපට ගැටලුවක් නැත. නමුත් අප රටේ දරුවන්ට පාසල් නොමැති නිසා ජාත්‍යන්තර පාසල් ආරම්භ වුණා යැයි කිසිවෙකුට කිව නොහැකිය. නමුත් සයිටම් වෛද්‍ය පීඨය ආරම්භ කරනුයේ සුදුසුකම් ලැබුවත් ඉඩකඩ සීමිත බැවින් රජයේ විශ්වවිද්‍යාලවල දොර වැහෙන අප රටේ දරුවන් වෙනුවෙනි. එසේම අප රටේ ඉංජිනේරු, කළමනාකරණ, ජනසංනිවේදන ආදී උපාධි ලබාදෙන පුද්ගලික විශ්වවිද්‍යාල මේ රටේ ක්‍රියාත්මකව ඇති අතර සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව නැගී සිටින කිසිවෙකු මේ උපාධි ලබාදීම ගැන නිහඬව සිටීමෙන් ඒවා අනුමත කර ඇත.

සයිටම් වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව සායනික පුහුණුව ලැබීම වෙනුවෙන් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල තුළ ඉඩ පහසුකම් මෙන්ම නවීන උපකරණ වෙන්කර ඇත. නමුත් අප රටේ කිසිදු රෝහලක් හා සම්බන්ධ නොවූ වෛද්‍ය පීඨයන්ද ක්‍රියාත්මක වේ. ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයයි. එහි දේශීය වෛද්‍ය ශිෂ්‍යයන් මෙන්ම විදේශීය වෛද්‍ය ශිෂ්‍යයන් ද පුහුණුව ලබයි. මොවුන් සඳහා රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබාදීමේදී කිසිදු ගැටලුවක් මතුව නැත. එහිදී රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඇතුළු බෙහෝ දෙනා මුනිවත රකී. නමුත් සයිටම් වෛද්‍ය පීඨයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව සායනික පුහුණුව සඳහා ප්‍රමාණවත් නොවන බව පවසයි. නමුත් කිසිවිටකත් සයිටම් වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබා දෙනු ලබන ආචාර්ය මණ්ඩලය ගැන මේ කිසිවෙකුගේ විරෝධයක් මතුව නැත. අප රටේ රජයේ වෛද්‍ය පීඨයන් තුළ බොහෝ කලක් සේවය කළ අත්දැකීම් සපිරි ම හාචාර්යවරුන්ගෙන් සමන්විත මහාචාර්ය ඒකකයක්, ක්ෂේත්‍රයේ ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් සයිටම් වෛද්‍ය උපාධිය සඳහා සම්පත් දායකත්වය සපයයි.

විදේශ රටවලට ගොස් වෛද්‍ය උපාධිය හදාරන වෛද්‍ය ශිෂ්‍යයන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමේදී ලැබෙන ප්‍රායෝගික පුහුණුව හෝ සායනික පුහුණුව ගැන මේ කිසිවකුට තර්ක කළ හැකිද? මේ කිසිවෙක් තර්කකොට තිබේද? නැත.

අප රට තුළදීම පෞද්ගලික විශ්වවිද්‍යාලයන් තුළ වෛද්‍ය උපාධියක් ලැබීම බමුණු කුළ මතවලට අනුව මහත් හපයක් වී ඇත‍. එය මහත් අපරාධයක් වී ඇත. තවමත් අප ර‍ටේ සිටිනුයේ ජනගහනයට සාපේක්ෂව සිටිය යුතු වෛද්‍යවරු සංඛ්‍යාවෙන් හරි අඩක් පමණයි. ඒ අනුව අප ර‍ටේ පුද්ගලික වෛද්‍යවිද්‍යාල නිසා වෛද්‍යවරු අතිරික්තියක් ඇතිවේය කිසිවෙකුට තර්ක කළ නොහැකිය. අප රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධවන වෛද්‍ය සංගම් නියෝජිතයන් පෞද්ගලික රෝහල් සඳහා විරෝධයක් නොපෑමද හාස්‍යයට කරුණකි. ඔවුන්ගෙන් බහුතරය රාජකාරි නිමා කළ සැනින් පුද්ගලික වෛද්‍ය සේවයේ නිරත වේ. අප රටේ පෞද්ගලික වෛද්‍ය සේවාව පවත්වාගෙන යා හැකි නම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට වැට බඳින්නේ කවර පදනමකින්ද?

සටන්පාඨ ප්‍රකාශ කරන ඇතැම් අය මාධ්‍යතුළ පවා කියන්නේ වෛද්‍ය සේවය යනු ඍජුවම මිනිසුන්ගේ ජීවිත හා බැඳී පවතින බැවින් මෙය සුළු කොට තැකිය නොහැකි බවයි. එය කිසි විටකත් සයිටම් වෛද්‍ය විද්‍යාලයද අමතක කර කටයුතු කර නැත. වෛද්‍ය සභාවේ පෙන්වාදීම් අනුව හා අධිකරණයේ දී ලබාගත් එකඟතාවය අනුව සයිටම් වෛද්‍ය සිසුහු අධිකරණ වෛද්‍ය විද්‍යාව හා මානසික සෞඛ්‍ය හා ප්‍රජා සෞඛ්‍යය විෂයයන් සම්බන්ධව අවිස්සාවේල්ල හා කඩුවෙල රෝහල් මුල් කරගෙන සායනික පුහුණුව ලබති. තවත් එක් මාසයක් රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අවස්ථාව ලබා දෙන්නේ නම් වෛද්‍ය සභාවේ නිර්නායක 100% කින් සම්පූර්ණ කළ හැකිය.

නමුත් රටේ අවාසනාවකට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඔවුන්ගේ වෘත්තීය බලය යොදාගෙන ඒ සඳහා විරෝධය පළ කර ඇත. වෘත්තීය සංවිධානයකට තම වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය හැකි නමුත් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අනාගතය ගැන තීරණ ගැනීමට මැදිහත් වන්නේ කවර පදනමකින්ද යන්න පැහැදිළි නැත. සයිටම් වෛද්‍ය උපාධිය තුළින් ඔවුන්ගේ වෘත්තීය අයිතින් කඩවන්නේ කෙසේදැයි පැහැදිලි නැත‍.

සයිටම් සිසුන් රජයේ රෝහල්වල ලබන පුහුණුව වෙනුවෙන් එක් විෂයයක් සඳහා එක් සිසුවෙකු රුපියල් පනස්දහසක් බැගින් රජය මුදල් ගෙවීමක් සිදුකරයි. නමුත් විදේශ රටවල වෛද්‍ය උපාධිය හදාරා පැමිණෙන සිසුන් වෛද්‍ය සභාවේ විභාගයට පෙනී සිටීමට පෙර මාස 03ක කාලයක් රජයේ රෝහල්වල පුහුණුව සඳහා යොමු කරයි. නමුත් මේ ගැන සයිටම් විරෝධීන් නිහඬය.

වෛද්‍ය සභාවේ ලියාපදිංචි වන වෛද්‍ය සිසුන් සඳහා පළමුව ලබා දෙනුයේ තාවකාලික ලියාපදිංචියකි. ඔවුන් ඉන්පසු මාස 06 බැගින් වසරක කාලයක් රජයේ රෝහලක් තුළ නේවාසිකව විශේෂඥවරුන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලැබිය යුතුය. අදාළ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ හැකියාවන් ගැන හෝ දැනුම ගැන අධීක්ෂණය කරනු ලබන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා සෑහීමකට පත්නොවේ නම් ඔවුන්ගේ නිර්දේශය ලබා නොදී සිටිය හැකිය. එසේ නිර්දේශ ලබන කිසිවෙකුට වෛද්‍ය සභාවේ ස්ථිර ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කිරීමටද හැකියාවක් නැත.

සයිටම් විරෝධීන් වෙනුවෙන් හඬ නගන බොහෝ දෙනා රටේ ජනතාවගෙන් මේවා වසන් කිරීමට කටයුතු කරයි. ඔවුන් හැම විටම මවා පානුයේ සයිටම් වෛද්‍ය සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබූ සැනින් ශෛල්‍යකර්ම වැනි බැරෑරුම් කටයුතුවල නිරත වෙමින් රටේ ජනතාවට ප්‍රතිකාර කිරීමට පෙළඹෙන බවකි. එය සත්‍ය වසන් කිරීමකි. සත්‍ය වසන් කොට ක්‍රියා කිරීම නිසා රටට හෝ රටේ අනාගතයට කිසිදා යහපතක් අත්නොවනු ඇත.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *