ණය ගැන චීනයේ ස්ථාවරය අද දැනුම් දෙයි ?

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (22) දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දීමට නියමිත බව වාර්තා වේ.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ අදාළ දැනුම්දීම අද දිනය තුළ චීනය විසින් ලිඛිතව සිදුකරනු ඇති බවය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් සිය ස්ථාවරය පසුගිය 16 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම් දී තිබුණි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔවුන් සිය එකඟතාව සිදුකරනු ඇති බව භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා පසුගිය සිකුරාදා දිනයේ ප්‍රකාශ කළේය.

රොයිටර්ස් පුවත් සේවය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රියන්ත රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ සාකච්ඡා රහසිගතව පැවතීම හේතුවෙන් අදාළ සාකච්ඡා පිළිබඳ තොරතුරු ලබාදිය නොහැකි බවය.

ඉන්දියාව විසින් මේ වන විටත් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය පළකර ඇති බැවින් චීනය ද සිය ස්ථාවරය කඩිනමින් දැනුම් දෙනු ඇති බව මහ භාණ්ඩාරයේ නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

චීනය සහ ඉන්දියාව මෙරටට ප්‍රධානතම ණය ලබාදුන් රටවල් දෙක වන අතර ඔවුන්ගේ ස්ථාවරය හිමිවීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම පිළිබඳ සිය එකඟතාව පළකිරීමට නියමිත බව වාර්තා වේ

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *