ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීනයත් කැමැතියි

ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය සහතික ලබා දෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කැමැත්ත ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කළ පළමු රට ඉන්දියාවයි. ඒ සඳහා වූ කැමැත්ත ඉන්දියාව නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද ලබා දී තිබේ.

ඉන්දියාව සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු චීනයද නිල නොවන මට්ටමින් ජනාධිපති කාර්යාලයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට සිය ස්ථාවරය දැනුම් දී ඇත. චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද අද (21) ආරම්භ වූ අතර මෙම සතියේ දී නිල ප්‍රකාශය නිකුත් කිරීමට චීනය සූදානම් වෙයි.

ජපානය ද ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම නවයක (2.9) මුදලක් ලබා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව තිබේ. එම මුදල අදියර වශයෙන් ලැබෙන අතර පළමු වාරිකය මාර්තු මාසයේ දී ලැබීමට නියමිතය.

එම මුදල් ලබා ගැනීම සඳහා ලක් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයන් කිහිපයක්ද ගෙන තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ මූල්‍ය සහතිකය ලබා දුන් බව දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දිය විදේශ ඇමැති එස්. ජයශංකර් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සිකුරාදා (20 වැනිදා) ප්‍රකාශ කළේය.

විදේශීය ණය හා පොලී ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව පසුගිය වසරේ තීන්දු කළේය. මේ වන විට ගෙවීමට ඇති දේශීය හා විදේශීය ණය මුදල රුපියල් බිලියන 3061ක් බව මුදල් අමාත්‍යාංශය කියයි.

චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති කැමැත්ත පිළිබඳව විදේශ කටයුතු ඇමැති අලි සබ්රිගෙන් කළ විමසුමකදී කියා සිටියේ ඒ සඳහා සාධනීය පිළිතුරක් ලැබී ඇති බවයි.

අරුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *