yukthiya

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති තනි වෙයි

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා දැනුම්දී ඇති බවත් එම සාමාජිකයන් තිදෙනාගේ තීරණයට විරුද්ධ මෙන්ම ඊට එරෙහිව පෞද්ගලිකව නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (20) පැවසීය.කෙසේ වෙතත්, නීතිය අනුව කොමිසමේ සභාපතිට විශේෂ බලයක් නැති බවත් බලය ඇත්තේ කොමිසමට බවත් සෙසු සාමාජිකයෝ කියති.සභාපතිවරයා කොමිසමේ සාමාජිකයින් නොවිමසා සහ ඔවුන්ගේ අදහස් යටපත් කරමින් හිතුවක්කාර ලෙස කටයුතු කරන බවට චෝදනා එල්ල වී තිබිණි. එහි සාමාජිකයකුව සිටි විදුලි ඉංජිනේරුවරයා මෙම තත්ත්වය නිසා ඉල්ලා අස් වී ඇති අතර එම පුරප්පාඩුව මෙතෙක් පුරවා නැත.

එම තත්ත්වය තුළ ජනාධිපතිතුමා කොමිසමේ එම සාමාජිකයින් කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව කොමිසම තම තීරණයට එළඹ ඇත්තේ සබපතිවරයා නොමැතිව ය.

එම කොමිසමේ උප සභාපති උදේනි වික්‍රමසිංහ, සාමාජිකයන් වන මොහාන් සමරනායක සහ චතුරිකා විජේසිංහ යන මහත්ම මහත්මීන් තිදෙනාගේ අස්සන්වලින් එම තීරණය ලිඛිතව අද දැනුම්දී ඇති බව කී රත්නායක මහතා කොමිසමේ සභාපතිවරයා වන තමන් නොමැතිව ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාමාජිකයන් තිදෙනා සමඟ ඊයේ (19) සාකච්ඡා කර ඇති බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු ජාතික සභාව මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් කැඳවා  පෙරේදා කළ සාකච්ඡාවේදී කැබිනට් මණ්ඩලයේ යෝජනවා ක්‍රියාත්මක නොකිරීමට කොමිසම ගත් තීරණය එම සාමාජිකයන් දැනුවත් වීමකින් තොරව එළඹියේ යැයි පැවසීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්වූ බව කී සභාපතිවරයා පැවසුවේ ජාතික සභාවේ රැස්වීමට පැය දෙකකට පමණ පෙර එම සාමාජිකයන් තිදෙනා ජනාධිපතිවරයා හමුවී තිබූ බව යි.

මහජන උපයෝගිතා කොමිසමේ සෙසු  සාමාජිකයින් තිදෙනා ම පවසා ඇත්තේ සභාපතිවරයා ප්‍රකාශයට පත් කරන තීරණ තමන්ගේ අනුදැනුමකින් තොරව ගන්න ලද බවයි.

එලෙස තීරණ ගැනීමට සභාපතිවරයාට කිසිදු බලයක් පනත මගින් ලබා දී නැති බව ද ඔවුහු කියති.

මේ අතර ව්‍යවස්ථා සභාව මෙම සියලු නිලධාරීන් කැඳවා කළ සාකච්ඡාවේ දී ද කොමිසමේ සාමාජිකයින් ප්‍රකාශ කොට ඇත්තේ සභාපතිවරයා ප්‍රකාශයට පත් කර ඇති තීන්දු සම්බන්ධයෙන් කොමිසම දැනුවත් කිරීමක් පවා සිදුව නැති බව යි.

මීට පෙර පාර් ලිමෙන්තුවේ කෝප් කමිටු රැස්වීමක දී ද උපයෝගිතා කොමිසමේ සභාපතිගේ ප්‍රකාශ තමන් සමග සාකච්චා කොටගත් තීරණ නොවන බව කොමිසමේ සෙසු සාමාජිකයෝ ප්‍රකාශ කළහ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *