කොටස් වෙළෙඳපොළේ දැවැන්ත ඉහළ යාමක්

 

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් අද (20) දිනයේ දී වාර්තා විය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 233.23 කින් ඉහළ ගොස් ඒකක 8,718.15 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 88.45කින් ඉහළ ගොස් ඒකක 2,724.22 ක් ලෙසින් වාර්තා විය.

මෙය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 2.75% ක හා 3.36% ක වැඩිවීමකි.

මීට ආසන්නතම හේතු ලෙසින් වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ, ඉන්දියාවෙන් ලැබී තිබෙන ධනාත්මක ප්‍රතිචාරයත් සමඟින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩිපිළිවෙල මේ වන විට සුභවාදී අදියරකට පැමිණ ඇති බවත්, ආයෝජකයින්ගේ විශ්වාසය ක්‍රමිකව ඉහළ යාම මෙලෙස වෙළෙඳපොළ වර්ධනයට හේතු වී ඇති බවත්ය.

අද දිනයේ දී සමාගම් 154 කින් සියලු කොටස් මිල දර්ශකයට ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණු අතර සම්පත් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, කොමර්ෂල් බැංකු, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සහ හැටන් නැෂනල් බැංකුව යන සමාගම් ප්‍රමුඛ විය.

රු. බිලියන 2.24 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

රු. බිලියන 2.06 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත් රු. බිලියන 2.21 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා වූ අතර අද දිනයේ දී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 178.43 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 118.30 ක් ලෙසින් සටහන්ව තිබුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *