උදේ හවා වමාරනා විපක්ෂයේ තාල රාග – කුලසිරි ලියනගේ

“ඡන්දය කල් දාන්න රනිල් ආණ්ඩුව කුමන්ත්‍රණය කරනවා” මේ එදාවේල විපක්ෂය උදේ හවස වමාරන කතාවය. ජනාධිපති රනිල්ගේ ආණ්ඩුවට ගහන්න ඇති එකම අවියත් ඒකය. ඒ නිසා අසරණ විපක්ෂය තාල රාග පද වෙනස් කර දිනපතා මේ චෝදනාව නඟමින් ඇත. බොහෝ වෙලාවට ඒ කතා අවසන් වන්නේ “රනිල්ගේ ආණ්ඩුව ජනමතයට බයයි” කියමින්ය. නැත්නම් “රනිල් රාජපක්ෂ මැතිවරණ සිතියම හකුළුවනවා” කියමින්ය.

විපක්ෂය එහෙම චෝදනා කරන විට ජනාධිපති රනිල් මෙහෙම කතාවක් කියා තිබිණ.

ඒ “මට වරම ලැබුණේ ඡන්ද පවත්වන්න නෙවෙයි, මට වරම ලැබුණේ අවුරුද්දක් ඇතුළේ ආර්ථිකය හදන්න. ඔයාලා ඡන්ද වැඩ කරගන්න, මම ආර්ථිකය හදන වැඩේ කරනවා” කියාය.

ජනාධිපති රනිල්ගේ මේ කතා අසන විට කෙනෙකු විපක්ෂය කියන කතා මොනවා වුණත්, ජනාධිපති රනිල් පළාත් පාලන මැතිවරණයට නම් උනන්දුවක් නැතැයි කියා හිතුණත් වැරැදි නැත. ඒ ජනාධිපතිවරයා කතා කරන්නේම ආර්ථික අර්බුදය ගැන වන නිසාය. දැන් ප්‍රශ්නය ජනාධිපති රනිල් මේ ලෙස ආර්ථිකය ගැන කතා කරන්නේ, මැතිවරණය මඟහරින්නද කියාය.

ශ්‍රී ලංකා ආර්ථිකය අවදානමක වැටෙමින් ඇති බවට රනිල් රතු එළි දැල්වූයේ, වර්ෂ, 2015 ජනාධිපතිවරණයටත් පෙර සිටය. ඒ එවකට රාජපක්ෂ පාලනය අධික පොලී අනුපාත යටතේ සංදර්ශන සංවර්ධනÓ කටයුතුවලට ලබාගත් වාණිජ ණය කන්දරාව ඇතුළු වැරැදි ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කරමින්ය. එදා ආර්ථිකය සම්බන්ධයෙන් රනිල් දැල්වූ රතු එළි තහවුරු වූයේ දශකයක් ඉක්ම යන තැන ලංකා ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය ඇතිවෙමින්ය.

මීට මාස 6කට පෙර ජනාධිපති ධුරයට රනිල් ආවේ එහෙව් රටකය. ඒ අරගලයේ හාස්කමක් හෝ වෙනත් අත්භූත වරමක් නිසා නොවේය.

මෙරට ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදය හමුවේ විපක්ෂ නායක ඇතුළු අද විපක්ෂයේ සිටින කයිවාරුකාර නායකයන් අභියෝගය බාර ගැනීමට දැක්වූ බිය නිසාය. ඔවුන් මිලියන 22 ජනතාවගේ ඉරණමට වඩා තමන්ගේ දේශපාලන අනාගතය ගැන හිතූ නිසාය. රනිල් පළමුව අග්‍රාමාත්‍ය ධුරය බාර ගන්නා විටත්, පසුව පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරයකින් ජනාධිපති ධුරය සඳහා පත්කර ගන්නා විටත් ආර්ථිකය පැවතියේ පතුලක් නොපෙනෙන දරුණු ආගාධයකට ඇද වැටෙමින්ය. කොහොමටත් ඒ මොහොතේ මේ රට වැටී තිබූ තැනින් මුදා ගැනීමට, ආර්ථික ආගාධයෙන් ගොඩගැනීමට, මුළුමහත් ජනතාවක් මුහුණ දී සිටි අතිශය බරපතළ පීඩාකාරී සමාජ වාතාවරණය තුරන් කිරීමට, ඒ වෙනුවෙන් ධෛර්යයක් හෝ විසඳුමක් යෝජනා කිරීමට තරම් හැකියාවක් හෝ එදා කිසිදු දේශපාලන නායකයකු සතු නොවීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් දින පටන් අද දක්වා ගෙවුණු මාස 6ක කාලය පුරාවට කියන දේ කළේය. කරන්න යන දේ වේලාසන කිවුවේය. ජනාධිපතිගේ න්‍යාය පත්‍රයේ අංක එක ආර්ථිකය විය. අංක දෙකත් ආර්ථිකය වූ අතර, අංක තුනත් ආර්ථිකය ගැනම විය. අන්න ඒ න්‍යාය පත්‍රයේ ප්‍රතිඵලය ලෙස අද මුළු රටේම අරගලකාරී වාතාවරණයකින් තොර නිදහස් සාමකාමී සමාජ වාතාවරණයක් නිර්මාණය වී ඇත. එපමණක් නොව ජනතාවට බයේ පාරට බහින්න බැරිව සිටි දේශපාලනඥයන් මැතිවරණ ඉල්ලා කයිවාරු ගහන තැනට පත්ව ඇත. ඒ පසුගිය මාස 6ට රනිල් කළ වැඩ කොටස නිසා නොවේද? ඡන්දයක් තියා පාරක යාගත නොහැකි වටපිටාවක් තිබූ රටේ, රටපුරා ඡන්දයක් තියන තැනට පසුබිම සැකසීමේ නිමැවුම්කරුවා වූයේ ජනාධිපති රනිල් නොවේ නම් වෙන කවුද ?

සැබවින්ම ඒ වෙනුවෙන් බිම් සැකසූ ජනපති රනිල්ගේ මූලිකත්වයෙන් ගෙවුණු මාස 6ක කාලය තුළ රට හමුවේ ක්‍රියාත්මක කළ ගොඩනැඟීමේ ක්‍රියාන්විතය විපක්ෂයේ නායකයන් කියන දේශපාලන පම්පෝරිකාරයන්ට සහ කයිවාරුකාරයන්ට හිතාගන්නවත් බැරි විය.

ආර්ථිකය හරි මඟට

බරපතළ ආර්ථික ආගාධයක පැවැති රටේ හෙට දවස වෙනුවෙන් ගත යුතු පියවර කවරේද යන්න, 2022 වර්ෂයේ ඉදිරි කාලය සඳහා Òඅන්තර්කාලීන අය වැය ඉදිරිපත් කරමින් රට හමුවේ තැබීය. එමඟින් එතෙක් අයාලේ ගිය ආර්ථිකය නැවත හරි මඟට ගැනීමට කඩිනම් පියවර ගැනීමට යෝජනා ඉදිරිපත් කර සිටියේය.

ආර්ථිකය සම්බන්ධව ප්‍රාමාණික දැනුමක් ඇති ඕනෑම අයකු ලංකා ආර්ථිකය සම්බන්ධව දක්වන පොදු අදහසක් නම්, ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සියල්ල සැලැස්මට අනුව සිදු වුව ද මෙරට ජනතාවට ආර්ථිකයේ සැබෑ දියුණුවක් අත්දැකීමට තවත් වසර කිහිපයක් ගතවන බවය. එසේම ණය අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වසර ගණනාවකින් පසු බැසීම හමුවේ වේදනාකාරී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකර ආර්ථික පුනර්ජීවනයක් ගැන සිතීමටවත් නොහැකි බවය. ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සාර්ථක කරගෙන ගෙවුම් ශේෂ අර්බුදය සමනය කර ගැනීම සහ රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගනිමින් අය වැය හිඟය පාලනය කර ගන්නට ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළහොත් එතැන් පටන් ලංකා ආර්ථිකය සුබවාදී තැනකට පත්වන බව ඔවුන්ගේ පොදු අදහසය.

ඒ අනුව යමින් මේ වන විටත් මහබැංකුව මුදල් අච්චු ගැසීම අවම මට්ටමකට ගෙනවිත් ඇත. ඒ හේතුවෙන් රටේ මුදල් සැපයුම ඉහළ යෑම වළක්වා ගෙන ඇත. දැඩි මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට උද්ධමන අනුපාතය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇත. පසුගිය මාස තුන තුළදීම සාමාන්‍ය උද්ධමන අනුපාතය මෙන්ම ආහාරමය උද්ධමන අනුපාතය ද සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇත. මේවා මීට මාස කිහිපයකට පෙර තිබුණේ කරන්න තියා හිතන්නවත් බැරි තැනකය.

2023 වසරේ ආරම්භයේ සිට නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවෙන අතර ඒ තුළ අනිවාර්යයෙන්ම රාජ්‍ය ආදායම ඉහළ යයි. ඒ තුළ ඍජු බදු ආදායම වැඩි වන අතර, ඒ හරහා සාමාන්‍ය මහජනතාව වෙත ඇතිවන පීඩනය තවදුරටත් අවම කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. එසේම වක්‍ර බදු ප්‍රමාණය අඩු කිරීමට ද හැකි වනු ඇත. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා තවදුරටත් රාජ්‍ය ආයතන පාඩු දැරීමට රාජ්‍ය භාණ්ඩාගාරයට සිදු වන්නේ නැත. එපමණක් නොව, මෙතෙක් පැවති සාම්ප්‍රදායික ආර්ථික ක්‍රියාවලිය වෙනුවට නූතන ලෝකයට ගැළපෙන නව ආර්ථික මොඩලයක් වෙනුවෙන් බය නැතිව තීන්දු තීරණ ගන්නා තැනට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වැඩ කරගෙන යන්නේය.

ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමේ සාකච්ඡා ද සාර්ථක තැනකට පත්ව ඇත. දැනටමත් මෙරට ප්‍රධාන ණයකරුවන් තුන්දෙනාගෙන්, ජපානය, පැරිස් සමාජය ඊට සහාය දක්වා ඇත. අනෙක් පාර්ශ්ව වන ඉන්දියාව සහ චීනය සමඟත් සාර්ථක ලෙස සාකච්ඡා සිදුවන අතර මේ වසර තුළ එහි අවසානයක් දැකීමේ හැකියාව ඇත.

එසේම ජනාධිපතිවරයා රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට කටයුතු කළේය. එසේම රට පුරා ගෑස් සහ තෙල් හිඟය සම්පූර්ණයෙන්ම තුරන් කර, මිල පහත දමා අඛණ්ඩ සැපයුමකට පියවර ගැනීම, ගෑස්, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආශ්‍රිතව පැවති පෝලිම් යුගය අවසන් කිරීම, පැය 12ක් දක්වා දීර්ඝ වීමට තිබූ විදුලි කප්පාදුව කළමනාකරණය කිරීම සහ අඛණ්ඩ තෙල් සැපයුමට අවශ්‍ය විධිමත් පියවර ගැනීම ද වැදගත් ය.

යහපත් සැලසුම්

පොහොර හිඟය විසඳා, මිල අඩු කර ප්‍රමාණවත් අඛණ්ඩ සැපයුමකට කටයුතු කිරීම, කෘෂිකාර්මික ගොවි ජනතාව මුහුණ දී සිටි අතිශය ගැටලුකාරී තත්ත්වය සමනය කිරීමට හේතු විය. වාණිජ කෘෂි කර්මාන්තයට අවශ්‍ය ග්ලයිපොසෙට් ඇතුළු කෘෂි රසායන තහනම ඉවත් කිරීම සහ වගාවන් සඳහා අවශ්‍ය බීජ සහ කෘෂි උපකරණ හිඟයකින් තොරව ලබා දීමට පියවර ගැනීම ද වාණිජ කෘෂිකර්මයට වැදගත් විය. එසේම වගා කළ හැකි සියලු‍ ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අභියෝගයට සියලු‍ ගොවි ජනතාව පෙලඹවීම ද වැදගත් පියවරයන් විය.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධන ප්‍රතිලාභ දීමේ වැඩපිළිවෙළ හඳුන්වා දීම ද පැවැති අර්බුදකාරී වාතාවරණය සමනය කිරීම වෙනුවෙන් හේතු වූ මූලික කරුණු කිහිපයක්ය. එයින් ද නොනැවතී 75 වන නිදහස් සැමරුම අවස්ථාවට සමගාමීව පවුල් මිලියන 2ක් සඳහා මාසයකට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබා දීමටත් ජනාධිපතිවරයා සැලසුම් කර ඇත. එම සහනය දෙන්නේ ද සමෘද්ධි සහ දැඩි ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වලට දැනටමත් ලබාදෙන මූල්‍යාධාරයට අමතරවය. ඒ ආර්ථික අර්බුදය ජය ගැනීම කොතරම් දුෂ්කර වුවත්, නැඟිටින ගමනේදී කිසිවෙකුත් අත්නොහරින ප්‍රතිපත්තිය මතය.

දේශපාලන නරුමයෝ

මෙහිදී දැන් ඇසිය යුතු ප්‍රශ්නය නම්, මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය බඩගින්නට යටකරගෙන සිටි විපක්ෂයේ කුස ඡන්දයක් ඉල්ලන තැනට පුරවනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ නොවේ නම් වෙන කවුද යන්නය? එහෙම පසුබිමක ජන්දයක් ගැන විශේෂ උනන්දුවක් ජනාධිපතිට නොතිබීම ගැන අවලාද නැඟිය හැක්කේ නොම්මර එකේ දේශපාලන නරුමයන්ට පමණය.

මන්ද පසුගිය මාස 6ක පමණ කාලය තුළ ජනාධිපතිවරයා ආරම්භ කළ උපාය මාර්ගික වැඩපිළිවෙළ තුළ රට යම් සැනසිලිදායක තැනකට පත්ව ඇති බව ඇත්තය. එහෙත් ලංකා ආර්ථිකය මුහුණදෙන දරුණුම අර්බුදය තවමත් සමනය වී නොමැති බවත් ඒ තරමටම ඇත්තය. මේ තිබෙන්නේ 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය සියයට 9කට ආසන්න ප්‍රමාණයකින් හැකිළී ඇති බවට ආර්ථික විශේෂඥයන් අනතුරු ඇඟවූ සහ 2023 වසරේදී ආර්ථිකය සියයට 3-4කින් හැකිළෙනු ඇතැයි පුරෝකථනය කර ඇති රටක්ය. අධික ජීවන වියදම හේතුවෙන් ශ්‍රී ලංකාව 2022 වසරේ ඉහළම ආහාර මිල උද්ධමනය ඇති පළමු රාජ්‍යයන් පහ අතරට පැමිණි අතර තවදුරටත් මුදල් අච්චු ගැසීමට ගියහොත්, ඒ අවදානමේ යළිත් වැටීමට ඉඩ ඇති රටක්ය.

එපමණක් නොව පසුගියදා ලෝක ප්‍රකට ගාඩියන් වෙබ් අඩවිය අනාවරණය කර තිබුණේ, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් එම රටට ලබාදුන් ණය සම්පූර්ණයෙන් අවලංගු කළ යුතුව තිබෙන බවය. ඒ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමැති ලොව ප්‍රමුඛ පෙළේ විද්වතුන් 182ක ලිපියක් ප්‍රසිද්ධියට පත් කරමින්ය. ලංකාවේ ණය හිමියන් එවැනි පියවරක් ගතහොත් එය ණය අර්බුදයෙන් මිදීමට ලෝකයටම ආදර්ශයක් විය හැකි බවත් ඔවුන් එහිදී අවධාරණය කර තිබිණ. ඩෙබිට් ජස්ටිස් (Dbt Justice) නම් සංවිධානය නියෝජනය කරන අතර අතර ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයන් ලෙස සැලකෙන මහාචාර්ය ජයනි ගොෂ් , තෝමස් පිකට්, යානිස් වරුෆාකිස් වැන්නන් ඒ අතර වෙයි.

ලංකාව මේ වන විටත් ගෙවා ගැනීමට නොහැකිව සිටින ඩොලර් බිලියන 51ක ණය ප්‍රමාණය සම්බන්ධයෙන් ඔවුන් මේ ආකාරයට අදහස් දක්වන්නේ එහි දිග, පළල, ගැඹුර ගැන මනා වැටහීමකින්ය. ඔවුන් සඳහන් කරන ප්‍රමාණයම නැතත් සැලකිය යුතු ප්‍රමාණයකින් ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට ලංකාව අසමත් වුවහොත්, මෙරටට අත්විය හැකි ඉරණම ගැන සිතීමටවත් නොහැකි නමුත් දිග් ගැස්සෙන අර්බුදයක් ඇතුලේ 2022 ට වඩා නරක දසාවක් ඇති වන බව නම් පැවසිය හැකිය.

ඒ හමුවේ රටේ රුපියල පවා වැය කළ යුතුව ඇත්තේ සැලැස්මක් ඇතුව නොවේද? දැනට රට පවත්වාගෙන යන තත්ත්වයටවත් හානියක් නොවන ආකාරයට නොවේද? ආර්ථික ක්ෂේත්‍රයේ සිදු වෙන කුඩා කම්පනයක් පවා මිලියන 22ක ජනතාවකට දරුණු භූ කම්පන අත්දැකීමක් විය හැකි බව කොහෙත්ම ප්‍රතික්ෂේප කළ හැකිද? ජනාධිපතිවරයා මේ වැදගැම්මකට නැති පළාත් පාලන මැතිවරණයට වඩා ආර්ථිකය ගැන උනන්දු වන්නේ අන්න ඒ නිසාය. ජනාධිපති රනිල්ගේ ගණන් තැබීම අනුව මේ මොහොතේ රටේ ප්‍රමුඛතම ජාතික අභිලාෂය ආර්ථික අර්බුදය යම් ප්‍රමාණයකට හෝ සමනය කර ගැනීමය. ඒ වෙනුවෙන් 2023 වසරේ උපරිමයෙන් කැපවීමටය.

එපමණක් නොව ඉතිහාසය පුරා මෙරටේ ඡන්දය තීරණය කරන එකම තීරකයා වූයේ බලය හිමි පක්ෂ නායකයා ය. නැතහොත් ආණ්ඩුව කරවන පක්ෂය විසින්ය. මෙරට ක්‍රියාත්මක දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය තිබුණේ එතැනය. එහෙත් රනිල් වික්‍රමසිංහ මෙරට අගමැතිවරයාව සිටි 2001 වර්ෂයේ දී 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මැතිවරණ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමට කටයුතු කළේය. එහෙත් රාජපක්ෂ පාලනය තුළ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා එය අහෝසි කිරීමට කටයුතු කළේය. එහෙත් 2015දී නැවත එය මහ පොළොවේ පැළ කිරීමට සමත් වූයේ යහපාලන ආණ්ඩුවේ අගමැති වූ රනිල් වික්‍රමසිංහයන්ගේ මූලිකත්වයෙන් ගෙන ආ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහාය. එපමණක් නොව 20 සංශෝධනයට ආවැඩූ හෙලිකොප්ටර් සන්ධානවල සිට ඒ හමුවේ අක්‍රිය වූ ඩයිනමෝ විධායකයේ දේශපාලන බල පරාක්‍රමය කප්පාදු කරන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුමන ආකාරයකින් හෝ ඡන්දය කල්දමා ප්‍රජාත්නත්‍රවාදය අහෝසි කිරීමට කටයුතු කරන්නේ යැයි චෝදනා කිරීමම කොයිතරම් කොමඩියක් ද?

කුලසිරි ලියනගේ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *