අයි.එම්.එෆ් චීනය සමඟ සාකච්ඡා

 

ශ්‍රී ලංකාව සහ සුරිනාමය යන රට වල ණය තිරසභාවය පිළිබඳ ගැටලුව අවබෝධ කරමින් එම රටවල ණය තිරසභාවය පිළිබඳ ගැටලුව විසඳීමට චීනයට දායකත්වයක් ලබා දිය හැක්කේ කෙසේද පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීනය සමඟ සාකච්ඡා කළ බව එම අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත.

චීනය මුහුණ දෙන ගැටලුව නම් චීනය තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වීම හේතුවෙන් සහාය වීමේ අවංක චේතනාවෙන් අනිකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සියල්ලටම සහාය වූවත් චීනය සංවර්ධනය වෙමින් පවතින රටක් නිසාවෙන් ඔවුන් එම රටවලට ලබා දෙන මුදල් ආපසු බලාපොරොත්තු වීම බව ජෝර්ජීවා මහත්මිය පෙන්වා දී තිබේ.

ඒ හේතුවෙන් ණය කපාහැරීමක් සිදු කිරීම දේශපාලනික වශයෙන් චීනයට ඉතාමත් අපහසු කාර්යයක් බව ජෝර්ජීවා මහත්මිය සඳහන් කර ඇත. නමුත් සාකච්ඡාවට කිහිපයකින් පසු චීනය ලබා දුන් ණයවල කල් පිරීමේ කාලය දීර්ඝ කිරීම මගින් ණය කප්පාදු කිරීමට සමාන සහනයක් ණය අර්බුදවලට මුහුණ දී සිටින රටවලට ලබා දිය හැකි බවත් පොලිය අඩු කිරීම හෝ කපා හැරීම තුළින් සහ ගෙවිය යුතු වාරික මුදල අඩු කිරීමෙන් එම රටවලට සහනයක් ලැබෙන බවත් චීන බලධාරීන් අවබෝධ කර ගත් බව ජෝර්ජීවා මහත්මිය පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහු පාර්ශ්වික ආයතන වල නිලධාරීන් පසුගියදා චීනයේ සිදුකළ නිල සංචාරයේදී මුදල් අමාත්‍යංශයේ, චීන මහජන බැංකුවේ, එක්සිම් බැංකුවේ සහ සංවර්ධන බැංකුවේ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකාව, සුරිනාමය, චැඩ්, සැමිබියාව යන රටවල ණය තිරසරභාවය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා කළ බවත් චීනය මිට පෙර නොදැක්වූ උනන්දුවක් එහිදී ඒ සම්බන්ධව යොමුකළ බවත් ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත.

(විමුක්ති එස් රුද්‍රිගු)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *