බුද්ධාගමට හිමිතැන දීම ගැන අපි විරුද්ධ නෑ – රවුෆ් හකීම්

rauff-hakeemව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කළ යුතුයි කියන විෂය පථය අපි දැන් 1980 ගණන්වල සිට සාකච්ඡා කරණ මාතෘකාවක්. විශේෂයෙන්ම 13වෙනි සංශෝධනය ඉදිරිපත් වුවාට පසුව එය ක්‍රියාවට නංවලා දැන් වසර 30ක පමණ අත්දැකීමක් අපිට තිබෙනවා. ඉතින් මේ කාලසීමාව තුළ දී බලය බෙදා හැරීම උපරිම ලෙස භුක්ති විඳිමට සුළු ජන කොටස් ඒකරාශි වී ජිවත්වන ප්‍රදේශවල ඉන්න ජනතාව නොයෙකුත් ගැටලුවලට මුහුණ පාන්න සිදුවුනා. විශේෂයෙන්ම මධ්‍යම රජය තමන්ගේ බලය බෙදා හැරිමේ දී නොයෙකුත් සීමා පනවමින්, ඒ වගේම අනිසි ලෙස බලය උදුරා ගනිමින්, පලාත් ආණ්ඩු වලට පැවරිලා තිබුණු බලතල නොදිමෙන් ඒ ගැන විවේචන තිබුණා. ඒ වගේම අවිනිශ්චිත දේවල් පිලිබඳව, විශේෂයෙන් මේ සමගාමි ලැයිස්තුව කියන එක මත නොයෙකුත් කඹ ඇදිලි තිබුණා. මේ සියල්ල අපි නිරාකරනය කළයුතු වකවානුවක් දැන් පැමිණ තිබෙනවා. ඒක ඇත්ත වශයෙන්ම ගිය මහ මැතිවරණයේ දි අපි ලබා දුන්නු පොරොන්දුවක්. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා අති බහුතරයක් මේ රටේ සුළු ජාතින්ගේ ඡන්දයෙන් පත් වූ කෙනෙක් හැටියට එතුමාටත් ඒ වගකිම තිබෙනවා.
ඒ ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ නායකයින් හැටියට අපි බැඳී සිටිනවා මේවා සාර්ථක කරගන්නට. ඒ සමගම ඉතාම හැගීම්බර වගේම, ආවේගශිලී වාර්තා පලවෙනවා මේ දවස්වල. විශේෂයෙන්ම රාජ්‍යයේ ස්වාභාවය වෙනස් කරන්නට යනවා කියලා. ඒ වගේම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව රට බෙදීයෑමට තරම් තුඩුදෙන ආකාරයට වෙනස් කරන්නට යනවා කියන පදනමින් නොයෙකුත් පදනම් විරහිත චෝදනා එල්ල වෙනවා. කාටවත් උවමනාවක් නෑ මේ රට බෙදීමට හෝ බෙදුම්වාදි සංකල්පයකට ඉඩ දීමට. අපි කවුරුත් කියා සිටින්නේ නොබෙදනු රටක උපරිම ලෙස බලය බෙදාහැරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුයි කියලා. ඒකට අවශ්‍ය ක්‍රමවේදයන් රාශියක් තිබෙනවා.
අනික් එක රාජ්‍යයේ ස්වභාවය පිළිබඳව සඳහන් නොකර උපරිම ලෙස බලය බෙදා හැරිමක් සිදුකළ රටවල් ගණනාවක් තිබෙනවා. ඒ පූර්වාදර්ශයත් ලබාගෙන අපි මේ රට ඒකීය ද, නැත්නම් එක්සත් ද, නැතිනම් ෆෙඩරල් ද, කියන ඒ සංකල්පය නොකියා ජනතාවට උවමනා උපරිම බලය ප්‍රාන්තවල බුක්ති විදීමට හැකි වන ලෙස අපිට ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නට පුළුවන්. ඒකෙ ඒ නිසා ගැටළුවක් නෑ. නමුත් වචන වලට පමණක් සීමා වු වාද පිළිබඳව විශාල ලැදිකමක් පෙන්වන සුළු පිරිසක් සිටිනවා. ඒ පිලිබඳව අවිශ්වාසයක් තිබෙන බවද අප පිළිගත යුතු යි. මේ රටේ බෙදුම්වාදි අරගලයක් තිබුණා කියන ඒ භීතිකාව මත නැවත ඒක හටගැනීමට ඉඩ සැලසෙන ආකාරයට නොකල යුතුයි කියන පදනම මත ඒ අය කථා කරනවා නම් ඒක අපිට පිළිගන්නට පුළුවන්. ඒ නිසා මේ රට නොබෙදෙන, එක රටයක් හැටියට එක දේශයක් හැටියට, අපිට හඳුන්වා දෙන ක්‍රමයක් අවශ්‍යයි. ඒකට කිසි ගැටලුවක් මෙන්ම බාධාවක් ද නැත.
ඒ වගේම සමහරු ප්‍රචාරය කරනවා, මේ බුද්ධාගමට තියෙන මුල් තැන අහිමි වෙයි කියලා. අනික් ආගම් තිබුණාට මේ රට බෞද්ධ රටක් නොවිය යුතුයි, නැතිනම් බෞද්ධ කියන ඒ තත්ත්වයෙන් ඉවත්විය යුතුයි කියන තදබල ඉල්ලීමක් කාගෙන්වත් ඉදිරිපත් වී නෑ. නමුත් හැම ආගමකටම තියෙන ඒ නිදහස තමන්ගේ ආගම ඇදහිමට තියෙන වට පිටාව 7 ව්‍යවස්ථාව හරහා මූලික අයිවාසිකම් හැටියට කලින් එකම පිළිඅරන් තිබුණත්, නොයෙකුත් අපේ පරිපාලනමය ක්‍රියාදාමයන් හරහා හෝ නැතිනම් අපේ දේශපාලනික හේතු මත නොයෙකුත් අසාධාරණයන් සිදු වී තිබෙනවා. ඒවා නැවත සිදු නොවීමට වගබලා ගැනීම සඳහා අපි මේ පිළිබඳව අවශ්‍ය සඳහනක් අපට ඇතුලත් කරගැනිමට හැකිවී තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොයෙකුත් විෂයන් පිළිබඳව තනි තනි කමිටු පත් කළා. ඒකෙන් අධිකරණ ක්‍රියාදාමය පිළිබඳව, ඒ වගේම යුක්තිය පසිඳලීමේ කමිටුවක් මගේ සභාපතිත්වයෙන් පත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මීට පෙර සිදු වූ නොයෙකුත් අනිසි ක්‍රියාවන් වැලැක්වීම සඳහා අපි ඒ ස්වාධීනත්වය රැකදීම සඳහාත්, වෙනස්කම් රාශියක් යෝජනා කර තිබෙනවා. මේ පිළිබඳව අපේ රටේ නීතීඥ සංගමය, අග්‍ර විනිශ්චයකාරතුමන් ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ටතම විනිශ්චයකාරවරුන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, ඒ වගේම සිවිල් සංවිධාන කිහිපයක් එක්ක අපි සාකච්ඡා කළා. සාකච්ඡා කරලා අපි යෝජනා කිහිපයක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයේදී ඇතිවන ප්‍රමාද දෝෂයන්, ක්‍රියාදාමයට අවශ්‍ය වූ පරිපාලනමය බඳවා ගැනීම් පිළිබඳ ගැටලු නිරාකරණය කිරීම සඳහා අපි යෝජනා රාශියක් ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ නඩු ගොඩගැසී, ඒවා අවුරුදු ගණන් ගතවන ප්‍රමාදය වැලැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනට විනිශ්චයකරුවන් 11දෙනෙක් පත් කරන එක විනිශ්චයකරුවන් 15දෙනෙක් දක්වා වැඩි කරන්නටත්, ඒ වගේම අභියාචනාධිකරණයේ කොළඹ දී නොව ප්‍රාන්තවල ගිහින් වාඩිවීමටත්, විනිසුරුවන් 3දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ප්‍රාන්තවල වෙන වෙනම වාඩි වීම සඳහා ඉඩ කඩ වෙන්කරලා තියෙනවා. ජනතාවට සමීපව අභියාචනා කටයුතු කිරීමටත් අපි යෝජනා කරලා තියෙනවා. නමුත් මහාධිකරණයට තිබුණු බලතල විශේෂයෙන්ම අපරාධ නඩුවලට පමණක් සීමා කරන්නටත්, අපි යෝජනා කර තිබෙනවා. මක්නිසා ද යත් දැන් තියෙන පළාත්බද මහාධිකරණවලට අනෙකුත් සිවිල් නඩු, අනෙකුත් දිස්ත්‍රික් උසාවි වලින් යන අභියාචනා ඒකට ඉදිරිපත් වෙලා ඒකෙන් තවත් ඇපිල් එකක් ශ්‍රේෂ්ඨාධිකරණයට එන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් මේක මෙහෙම අදියර කිහිපයකින් අභියාචනා කරන්න පුලුුවන් තත්ත්වයක් උඩ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තවත් ව්‍යාකූල වෙනවා. ඉතින් ඒවා වැලැක්වීම සඳහා අපි කාලයක් තිස්සේ ඒ පිළිබඳව කතා කරලා තිබෙනවා. පුලුල් වශයෙන් එකගත්වයකුත් තිබෙනවා. විශේෂයෙන්ම නීතිඥ ප්‍රජාව අතරෙත් විනිශ්චයකාරවරුන්ගේ නොයෙකුත් සංගම් අතරෙත් මේ පිළිබඳව පිළිගැනීමක් තියෙනවා.
ඉතින් ස්වාධීනත්වය තහවුරු කීරීම සඳහාත් ඒ වගේම විනිශ්චයකාරවරුන්ගේත් විනය පිළිබඳව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් එල්ල කරන්න තියෙන අවස්ථාව උඩ විශාල විවේචණ තිබුණා මෑතකදී සිදුවුන. එදා සිටි අග්‍රවිනිශ්චයකරතුමියට විරුද්ධව යෝජනාව සම්මතවීමත් එක්කම ඇති වූ එවැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා වග බලාගැනීමට අපි අදහස් කර තිබෙනවා. පාර්ලිමේන්තුවට අවසන් යෝජනාව ඒමට පෙර ඒ පිළිබඳව විශ්‍රාම ගිය අග්‍ර විනිශ්චයකාරවරුන්, ඒ වගේම තවත් ස්වාධීන අයගෙන් සමන්විත කමිටුවක් හරහා ඒ විභාගය සිදුවිය යුතුයි. ඉන් පසුව තමයි ඒ නිර්දේශ අපි පාර්ලිමේන්තුව අනුමත කලාට පස්සේ ව්‍යවස්ථාදායක සභාව ඕනෑම විනය ක්‍රියාමාර්ගයක් පිළිබඳ තීරණයක් අනුමත කළ යුතු වන්නේ. දේශපාලන හේතු මත මොනවත් නොකිරීමට අපි වග බලාගැනීමට යෝජනා ඉදිරිපත් කරනවා.
සමාජ හා ආර්ථික අයිතිවාසිකම් පිළිබඳව තිබෙන ප්‍රඥප්තිය රටක් හැටියට අපි පිළිගත්තු එකක්. ඒකට අපි අත්සන් තබලා, අපි පිළිගත්ත ප්‍රඥප්තියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ. ඉතින් ඒ ප්‍රඥප්තිය එක්කම සිවිල් දේශපාලන අයිතීන් තිබෙන ප්‍රඥප්තියට විතරයි මුල්තැන දීලා තියෙන්නේ. වැඩියෙන්ම මූලික අයිතිවාසිකම් නැත්නම් විනිශ්චය කළ හැකි මූලික අයිතිවාසිකම් හැටියට අපි ව්‍යවස්ථාවේ ඇතුලත් කර තිබුණේ ඒ දේ පමණයි. ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් පිළිබඳව තිබෙන කොටස විනිශ්චය කළ හැකි මූලික අයිතිවාසිකම් හැටියට පත්කීරීම පිළිබඳ ප්‍රතිපත්ති තීන්දුවක් ගත යුතුයි. විශේෂයෙන්ම මේ පිළිබ`ඳ කථිකාවේදී දියුණු වූ රටවල් එය වැඩියෙන්ම පිළිගන්නා තත්ත්වයක් දකින්නට පුලුවන්. තුන්වෙනි ලෝකයේ රටවල් අතරින් ඒ වගේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකමක් හැටියට පිළිගැනීම පිළිබඳ නොයෙකුත් අන්දමේ අකමැති රජයන් හැටියට නොයෙකුත් අවස්ථාවල දී පළවෙලා තිබෙනවා. ඒවා දියුණුවන ලෝකයේ පුළුවන් තරම් ජනතාවගේ ආර්ථික සමාජීය අයිතිවාසිකම් පිළිබඳව වූ ප්‍රඥප්තියේ ඇතුලත් කරලා තිබෙන කරුණු විනිශ්චයට භාජනය කළ හැකි මූලික අයිතිවාසිකම් හැටියට පත් කීරීම පිළිබ`ඳව මගේ පුද්ගලික අදහස නම් ඒක හොඳ දෙයක්, ඒක කළ යුතුයි. ඒවා කෙටුම්පතේ ඇතුලත් කළ යුතු ද නැද්ද යන්න ගැඹුරු සාකච්ඡාවක් තාම කෙරී නෑ. යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. සාකච්ඡාවක් ඇතිවන විට ඒකට පක්ෂව කතා කිරීමට මම අදහස් කරනවා.

ගයාන් රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *