හිරුට එරෙහිව හිටපු GSMB සභාපතිගෙන් අපහාස නඩුවක්

 

භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ හිටපු සභාපති සෙනරත් හේවගේ මංජුල ප්‍රසාද් මහතාට එරෙහිව අපහාසාත්මක හා සාවද්‍ය පුවත් විනාශනය වාරණය කරමින් සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (පුද්ගලික) සමාගම හෙවත් ‘හිරු ටී.වී නාළිකාවට’ එරෙහිව අදාළ නඩුව පවතිනතාක් කල් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් පසුගිය ජනවාරී 05 වැනි දින නිකුත් කළාය.

පැමිණිකරු වෙනුවෙන් නීතිඥ බුද්ධික ගමගේ මහතාගේ උපදෙස් මත නීතිඥ රංගන වර්ණසිංහ, ඉමාස් ඉමිතියාස්, තරිදු රාජකරුණා සමග ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටින ලදි.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිලිකාර පාර්ශ්වය කියා සිටියේ ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (පුද්ගලික) සමාගමට අයත් හිරු ටී.වී නාළිකාව ඇතුළු එකී ආයතනයට අනුබද්ධික මාධ්‍ය නාළිකා මගින් තම සේවාදායකයාට එරෙහිව අපසාත්මක, ද්වේෂසහගත හා / හෝ සාවද්‍ය තොරතුරු පසුගිය ඔක්තෝබර් 29 වැනි දින සිට දෙසැම්බර් මස 04 වැනි දින දක්වා දිනකට දෙතුන් වරකට නොවැඩි වාර ගණනක් විකාශනය කළ බවයි. මෙම මගින් තම සේවාදායකයාගේ කීර්තිය හා වෘත්තීය ගරුත්වයට හානි සිදුවන බව පෙන්වා දුන් පැමිණිකාර පාර්ශ්වයේ නීතිඥයින් තම සේවාදායකයාට සිදු වූ අගතිය වෙනුවෙන් වගඋත්තරකාර සමාගමෙන් රුපියල් මිලියන 500ක් සහ පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ගෙන් රුපියල් මිලියන 500ක් ද වශයෙන් වන්දියක් ලබා දෙන මෙන් ද  අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.

අදාළ කරුණු සලකා බැලූ ගරු කොළඹ දිසා විනිසුරු තැන්පත් පූර්ණිමා පරණගම මහත්මිය විසින් වගඋත්තරකාර සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (පුද්ගලික) සමාගම හෙවත් ‘හිරු ටී.වී නාළිකාවට එරෙහිව මෙම නඩුව විභාග වන තක් කල් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගය නිකුත් කළාය.

මෙම නඩුව වෙනුවෙන් විත්තිකාර හිරු නාළිකාව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමට කිසිදු නීතිඥයෙකු ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි. ඒ අනුව ඒක පාර්ශ්විකව තීන්දුවක් ලබා ගැනීමට ගරු විනිසුරුතුමිය ක්‍රියා කළාය.

මෙම වාරණ නියෝගය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥයින් කිහිප දෙනකුම ප්‍රකාශ කළේ අදාළ නඩුව සම්බන්ධයෙන් විත්තිකාර හිරු නාළිකාව වෙනුවෙන් නීතිඥයින් කිසිවෙකු ඉදිරිපත් නොවීම විමතියට කරුණක් බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *