හිටපු ජනපති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

හිටපු ජනපති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියන 100 ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් රුපියල් මිලියන 75ක් බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන 10 ක් ද ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් වන්දි ගෙවිය යුතු බවටත් අධිකරණය විසින් තීන්දු කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් සඳහා “අරමුදලක්” ස්ථාපිත කරන ලෙස රජයට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම අරමුදල වෙත අදාළ වන්දි මුදල් බැර කරන ලෙසත් අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කර ඇත.

අදාළ වන්දි මුදල් මාස 06ක් තුළ ගෙවා අවසන් කළ යුතු බව අධිකරණ නියෝගයෙන් වගඋත්තරකරුවන්ට දැනුම්දී තිබේ.

එම අරමුදලේ කටයුතු අධීක්ෂණය කරන ලෙසත් අධිකරණය විසින් නීතිපතිවරයාට නියම කළේය.

බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සඳහන් කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය ප්‍රධානියා මෙන්ම ත්‍රිවිධ හමුදාවන්හි සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන බවය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ  සියලු විධායක බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙනවා. ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරනවා. මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ක්‍රියාත්මක වූ බව තහවුරු වී තිබෙනවා. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කිරීමේ බලය ද ඔහු වෙත පැවරී තිබුණා.”

“හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කළ එවක ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා විසින් ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලැබුණු තොරතුර පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හෝ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ජනාධිපතිවරයාට දැනුවත් කිරීමක් නොකළ බව සඳහන් කර තිබෙනවා.” 

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය යටතේ රාජ්‍ය ආරක්ෂාව මෙන්ම මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ද ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙනවා. ඊට අමතරව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ තමන් යටතේ පවතින දෙපාර්තමේන්තු අධීක්ෂණය කිරීමේ බලයද පැවරී තිබුණේ ජනාධිපතිවරයා වෙත. එසේ තිබියදී මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු තමන් යටතේ සිටින නිලධාරීන් විසින් දැනුම් නුදුන් බව පවසමින් එම වගකීමෙන් බැහැරවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හැකියාවක් නැහැ.” 

“මෙවැනි සංවේදී තොරතුරු තමන් වෙත කාර්යක්ෂමව ළඟාකර ගැනීම සඳහා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ඔහු වගබලා ගත යුතුයි. එය අධීක්ෂණය කළ යුතුයි. ආරක්ෂක මණ්ඩල රැස්වීම පිළිබඳව සලකා බැලීමේදී එය සෑම සතියකටම වරක් පවත්වා තිබෙන බව ඉතිහාසය පිරික්සීමේදී පෙනී යනවා. රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව රාජ්‍ය නායකයා දැනුවත් කිරීමට සහ ආරක්ෂාව තහවුරු කිරීමට ගතයුතු පියවර පිළිබඳව ආරක්ෂක ප්‍රධානීන්ට සිය යෝජනා ඉදිරිපත් කිරීම සඳහායි මෙම රැස්වීම පැවැත්වෙන්නේ.”

“එහෙත් මෙම ප්‍රහාරය එල්ලවීමට පෙර සමය පරීක්ෂා කිරීමේදී ආරක්ෂක මණ්ඩල රැස්වීම් නිසි පරිදි පැවැත්වී නොමැති බව පෙනී යනවා. එය බරපතළ ගැටලුවක්. සියලු කරුණු විශ්ලේෂණය කිරීමේ දී ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම වගකීම ඉටු කිරීමට අසමත් වී තිබෙනවා. තමන් වෙත පැවරී තිබූ වගකීම් ඔහු බරපතළ ලෙස පැහැර හැර ඇති ආකාරයකුත් පෙනී යනවා,”යනුවෙන් කරුණු ඉදිරිපත් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(ඉ) වගන්තිවල සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළේය.”

වැඩි දුරටත් තීන්දුව ප්‍රකාශයට පත්කළ අගවිනිසුරුවරයා ආරක්ෂක අමාත්‍යංශය පරිපාලනය හා සුපරීක්ෂණය කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරී තිබෙන බව පැවසීය.

“ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පුළුල් බලයක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැවරී තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තමන් වෙත ලැබුණු තොරතුරු‍ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙත ලබාදුන් බවට කරුණු තහවුරු වුණා.” 

“එහෙත් එම තොරතුරු හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් පොලිස්පතිවරයා සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත යොමු කිරීම හැර වෙන කිසිදු පියවරක් ගෙන නැහැ. මෙවැනි සංවේදී තොරතුරක් ලැබුණු විගස ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතාට වගකීමකින් යුතුව කටයුතු කිරීමට හැකියාව තිබුණා.” 

“ඔහු අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී මෙම තොරතුරු පිළිබඳව දැනුවත් කිරීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එවැනි පියවරක් අනුගමනය කළේ නැහැ. 2019 වසරේ අප්‍රේල් මස 09 වනදා පැවති ජාතික බුද්ධි සමාලෝචන රැස්වීමේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළේ හේමසිරි ප්‍රනාන්දු මහතා. එම රැස්වීමේදී පවා ඔහු එම සංවේදී තොරතුරු පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන සාකච්ඡා කළේ නෑ. එම රැස්වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් සහභාගීවී හිටියා.” 

“ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලැබුණු තොරතුරු පිළිබඳව එම රැස්වීමේදී සාකච්ඡා කළේ නම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් ද ඒ පිළිබඳව දැන ගැනීමට හැකියාව තිබුණා. එම නිසා හේමසිරි ප්‍රනාන්දු විසින් මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු දේශපාලන අධිකාරියට හා ත්‍රිවිධ හමුදාවට දැනුවත් කළේ නම් මෙය වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබුණා. නමුත් ඔහු නොසැලකිලිමත් ලෙස සිය රාජකාරිය බරපතළ ලෙස පැහැර හැර ඇති ආකාරයක් පෙනී යනවා,”යනුවෙන් අගවිනිසුරුවරයා තීන්දුව විශ්ලේෂණය කරමින් සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා,

“ජාතික තවුහිත් ජමාත් සංවිධානය විසින් පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා විසින් ලබාදුන් සංවේදී තොරතුරු සම්බන්ධයෙන් වගකීමකින් යුතුව පියවර ගැනීමට පොලිස්පතිවරයා වශයෙන් පූජිත් ජයසුන්දර මහතා ද අසමත්වී තිබෙනවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියාගෙන් ලැබුණු බුද්ධි තොරතුරු තමන් යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනෙකු වෙත යොමු කිරීම පමණක් ඔහු සිදුකර තිබෙනවා.”

“පොලිස්පතිවරයා වශයෙන් එම සංවේදී තොරතුර සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව පසු විමසීමක් ඔහු විසින් කර නෑ. 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ සහරාන් හෂීම් සහ ඔහුගේ අන්තවාදී කල්ලිය පිළිබඳ වාර්තා 97ක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමු කර තිබෙනවා. එම නිසා සහරාන් හෂීම් සහ ඔහුගේ සන්නද්ධ කල්ලිය පිළිබඳ තොරතුරු පොලිස්පති පූජිත් ජයසුන්දර හොඳින් දැන සිටි බව කිව යුතුයි.” 

“එසේ තිබියදී සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට සංවේදී තොරතුරක් ලැබුණු විගස පොලිස්පතිවරයා වශයෙන් පූජිත් ජයසුන්දර වඩා වගකීමකින් හා අවධානයකින් කටයුතු කළ යුතුව තිබුණා. එහෙත් ඔහු එසේ සිදුකර නැහැ. ඒ වගේම මෙම සංවේදී තොරතුරු පිළිබඳව පොලිස්පතිවරයා වශයෙන් පූජිත් ජයසුන්දර මහතාට එවක ජනාධිපති හමුවී දැනුම්දීමට හැකියාව තිබුණා. 2019 වසරේ අප්‍රේල් මස 16 වනදා කාත්තන්කුඩි ප්‍රදේශයේ දී සහරාන් හෂීම්ගේ කණ්ඩායම යතුරුපදියක් පුපුරුවා හැර ප්‍රහාරයක් අත්හදා බැලීමක් සිදුකර ඇති බවට තොරතුරු හෙළි වුණා.” 

“ඒ පිළිබඳව ද රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කර තිබුණා. ඒ පිළිබඳව ද විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා වශයෙන් පූජිත් ජයසුන්දර අසමත් වී තිබෙනවා,”යනුවෙන් සඳහන් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වගඋත්තරකාර පූජිත් ජයසුන්දර මහතාද සිය වගකීම නොසැලකිලිමත් ලෙස පැහැර හැර ඇතැයි අධිකරණය විසින් තීන්දු කරන බව කියා සිටියේය.

ඒ අනුව පූජිත් ජයසුන්දර මහතා විසින් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(ඉ) යන වගන්තිවල සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීන්දු කළේය.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරුවරයා අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් සිදුකර ඇති රාජකාරිය පැහැර හැරීම පිළිබඳව ද කරුණු දක්වා සිටියේය.

“සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට විදේශීය බුද්ධි සේවයකින් තමන්ට තොරතුරු ලැබුණු බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු විසින් සිදුකර තිබෙන්නේ එම තොරතුර පොලිස්පතිවරයාට සහ ජාතික බුද්ධි ප්‍රධානියා වෙත යොමුකිරීම පමණයි. ඒ සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව ඔහු පසු විපරමක් සිදුකර නෑ.” 

“මෙම තොරතුරු ලැබුණු පසුව එනම් අප්‍රේල් මස 09 වනදා ජාතික බුද්ධි සමාලෝචන රැස්වීම පැවැත්වී තිබෙනවා. එම රැස්වීමට නිලන්ත ජයවර්ධන සහභාගි වුණා. එහෙත් මෙම සංවේදී තොරතුරු පිළිබඳව ඔහු අදාළ රැස්වීමේදී සාකච්ඡා කළේ නෑ. එය බරපතළ ගැටලුවක්. අදාළ රැස්වීමේදී මෙම කාරණය පිළිබඳව සාකච්ඡා කළේ නම් මෙම බරපතළ තොරතුරු පිළිබඳව රැස්වීමට එක්වී සිටි ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ද දැන ගන්නට හැකියාව තිබුණා.”

“නිලන්ත ජයවර්ධන යනු ආරක්ෂක අමාත්‍යවරයා යටතේ තිබෙන දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක්. ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන මෙම සංවේදී තොරතුරු පිළිබඳව ඔහුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී දැනුවත් කිරීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එසේ කර නැහැ. ප්‍රහාරය එල්ලවීමට පෙර එළැඹී සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබුණු අප්‍රේල් මස 14 වනදා පොලිස්පති ඇතුළු  වගඋත්තරකරුවන් ජනාධිපතිවරයා හමුවී සුභ පතා ඇති බවද නඩු විභාගයේදී කරුණු ආවරණය වුණා.” 

“එම හමුවේදී පවා මෙම සංවේදී තොරතුර ගැන ජනාධිපතිවරයා දැනුවත් කිරීමට හැකියාව තිබුණා. එහෙත් එසේ නොකිරීම බලවත් ගැටළුවක්. ඒ නිසා මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු තමා පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව පවසමින් වගකීමෙන් මිදීමට නිලන්ත ජයවර්ධන මහතාට හැකියාවක් නැහැ. ඒ හරහා ඔහු සිය රාජකාරිය පැහැර හැර තිබෙනවා,”යනුවෙන් අගවිනිසුරුවරයා තීන්දුවෙන් සඳහන් කර සිටියේය.

අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව ද අගවිනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

“ප්‍රහාරය පිළිබඳව තමන් වෙත ලැබුණු තොරතුරු පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කිරීම පමණක් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් සිදුකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර පිළිබඳව ඔහු පසු විපරමක් කර නැහැ. 2019 වසරේ අප්‍රේල් මස 09 වනදා පැවති ජාතික බුද්ධි සමාලෝචන රැස්වීමට සිසිර මෙන්ඩිස් මහතා සහභාගීවී තිබෙනවා. එහෙත් තමන් සතුව තිබෙන ප්‍රහාරය පිළිබඳ සංවේදී තොරතුරු එම රැස්වීමේදී සාකච්ඡා කිරීමට ඔහු කටයුතු කර නැහැ.” 

“එය බරපතළ රාජකාරි පැහැර හැරීමක්. ප්‍රහාරය පිළිබඳව ලැබුණු තොරතුර ජාතික බුද්ධි ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා වෙත දැනුවත් කිරීමට සිසිර මෙන්ඩිස් මහතාට හැකියාව තිබුණා. ඒ වගේම ත්‍රිවිධ හමුදාපතිවරුන් දැනුවත් කිරීමටද හැකියාව තිබුණා. එසේ නොකිරීම තුළින් ඔහුද තම රාජකාරිය බරපතළ ලෙස පැහැර හැර ඇති බව අධිකරණය තීරණය කරනවා,”යනුවෙන් අගවිනිසුරුවරයා කියා සිටියේය.

ඒ තුළින් සිසිර මෙන්ඩිස් මහතා ද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට අධිකරණය තීන්දු කර තිබුණි.

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *