“කොමිෂන් සභා තීන්දු ජනපතිට කිව යුතු නෑ“ – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිට “යහපාලනය ” කියාදෙයි

 

ස්වාධීන කොමිෂන් සභා සහ රහස් පොලිසිය වැනි ආයතන තම විමර්ශනවලින් පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන රටේ ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බවට සඳහන් වන්නේ කුමන නීතියකදැයි ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය  ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත .

හමුදා සාමාජිකයන්ට නිවාස හා ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ කතාවට විරෝධය දක්වමින් එම සංගමය මේ ලිපිය යවා තිබේ.
කොමිෂන් සභාවල ඇතැම් නිලධාරීන් පත්කරන්නේ ජනාධිපතිවරයා බැවින් ඔවුන් ගන්නා ක්‍රියා මාර්ග ගැන දැනුම්වත් කළ යුතු බවට ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශය ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියනුයේ තමා ස්වාධීනව කටයුතු කරන බව කීම සහ ඉහත ප්‍රකාශය පරස්පර බවයි.

බුද්ධි අංශ නිලධාරීන් මාස 10ක් තිස්සේ රිමාන්ඩ් බාරයේ සිටීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව කියන මෛත්‍රීපාල සිරිසේන මහතා, වසර ගණනක් තිස්සේ නඩු නැතිව රිමාන්ඩ් බාරයේ පසුවන දෙමළ වැසියන් සම්බන්ධයෙන් මුණිවත රැකීම කණගාටුවට කරුණක් බව ද එම ලිපියේ සඳහන්ය.

හුදු වාග් ප්‍රලාප නවත්වා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට එම නිලදාරීන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත්, පසුගිය වකවානුවේ සිදුවූ අපරාධවලට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනපතිගෙන් ඉල්ලා ඇත.

එම ලිපියේ මෙසේද සඳහන්ය.

‘‘බුද්ධි අංශ නිලධාරීන් මාස දහයක් තිස්සේ රිමාන්ඩ් බාරයේ පසුවන බව ඔබ එදින කතාවේදී කියා තිබිණි. ඔබ කියන්නට ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි බුද්ධි අංශ සාමාජිකයන් ගැන විය යුතුය.
එක්නැලිගොඩ නඩුවේ විමර්ශන කටයුතු ප්‍රමාද වීමට ප්‍රධානම හේතුව වී තිබුණේ ඔබ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඔබේ යටතේ ඇති ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අවශ්‍ය තොරතුරු විමර්ශන සඳහා ලබා නොදීම නිසා බව අධිකරණයේදීම අවස්ථා කිහිපයක දී කියැවිණි.
බුද්ධි අංශ නිලධාරීන් මාස 10 ක් තිස්සේ රිමාන්ඩ් බාරයේ සිටීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව කියන ඔබ වසර ගණනක් තිස්සේ නඩු නැතිව රිමාන්ඩ් බාරයේ පසුවන දෙමළ වැසියන් සම්බන්ධයෙන් මුණිවත රැකීම කනගාටුවට කරුණකි.
‘උසාවිවල විභාග වන ඇතැම් නඩු සම්බන්ධයෙන් වගේම හමුදාවේ අය අත්අංගුවටගෙන තිබෙන ඒවා සම්බන්ධයෙනුත් මම ඒ නිලධාරීන්ට වරින්වර කියලා තියෙනවා. කවුරුත් දන්නවා හමුදාවේ බුද්ධි අංශවල නිලධාරීන් මාස 10ක් පමණ රිමාන්ඩ් බාරයේ තියාගෙන ඉන්නවා. මේ අංශ භාර අය මට මුලින්ම කිව්වා සති දෙකයි කියලා. පසුව කිව්වා මාසයයි දෙකයි කියලා.‘ යැයි ඔබේ කතාවේ එක් තැනක සඳහන් විය. ඔබ වරින් වර එම විමර්ශන කරන නිලධාරීන්ට කියා ඇත්තේ මොනවාදැයි දැන ගැනීමට අපි කැමැත්තෙමු. සැකකරුවන් රිමාන්ඩ් බාරයේ තබා ගන්නා කාලය ගැන ඔබ වරින් වර විමර්ශන නිලධාරීන්ගෙන් අසා ඇති බව ඔබේ ප්‍රකාශයෙන්ම තහවුරු වෙයි. ඔවුන්ගේ රිමාන්ඩ් කාලය ගැන පසුතැවෙන ඔබ විමර්ශනයට අවශ්‍ය තොරතුරු පමා කිරීම ගැන යුද හමුදාපති සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි දැන ගැනීමටද අපි කැමැත්තෙමු.
බලයට පත්වී මාස තුනෙන් රතුපස්වල ගැටළුවලට විසඳුම් දෙන බවට 2014 දෙසැම්බර් 25 වැනිදා රතුපස්වලට ගොස් ඔබ දුන් ප්‍රතිඥාව බව ඔබට මතක ඇතැයි සිතමු. ඔබ බලයට පැමිණ ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ඇමැතිවරයාද වී අවුරුදු එක හමාරකටත් වැඩිය. රතුපස්වල නඩුව අද (14) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ යුද හමුදාවේ අවි 42ක් තවමත් පරීක්ෂණ සඳහා බාර දී නැති බවයි. ආරක්ෂක ඇමැතිවරයා ලෙස මේ සම්බන්ධයෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි දැන ගැනීමට කැමැත්තෙමු.
ඔබේ ප්‍රකාශය නීතිය හා සාමය ආරක්ෂා කරන ස්වාධීනව කටයුතු කරන නිලධාරීන්ට කළ බලපෑමක් ලෙස අපි සලකමු. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය මෙන්ම උපාලිතෙන්නකෝන්ට පහරදීම සම්බන්ධයෙන්ද නියෝග දුන් පුද්ගලයන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. පෝද්දල ජයන්ත වැනි පැහැරගැනීමට ලක්වු බොහෝ මාධ්‍යවේදීන්ට ද තවම සාධාරණය ඉටු වී නැත. ලංකා ඊනිවුස්, උදයන් ඇතුළු මාධ්‍ය ආයතන ගිනි තැබූවන්ද තවම නීතිය හමුවට පමුණුවා නැත. මේ ආකාරයට පසුගිය වකවානුවේ සිදුවූ අපරාධ රැසක නියෝග දුන් සහ නියෝග ක්‍රියාත්මක කළ බොහෝ දෙනෙක් තවමත් තවමත් නිදැල්ලේ පසුවෙති. එම විමර්ශන පමාවීම හා නියෝග දුන්නන් අත්අඩංගුවට නොගැනීම ගැන ඔබ අදාළ අංශවලට අප්‍රසාදය පළ කිරීමට ඉදිරිපත් නොවන්නේ මන්දැයි දැන ගැනීමට කැමැත්තෙමු.‘‘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *