උපයෝගිතා කොමිසමේ සභාපති නීතිපතිට නීතිය උගන්වන්න යයි !

 

මහජන උපයෝගිතා කොමිසමට බලය පැවරී ඇති කාර්යයන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති තීරණ කොමිසමට දැනුම් දුන් විට කොමිසම ඒ අනුව ක්‍රියා කළ යුතු බව නීතිපතිවරයා උපදෙස් දී ඇතත්, එම නීති උපදෙස් වැරදි බව උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරයි.

ජනක රත්නායක මහතා කියන්නේ ගාස්තු සම්බන්ධ සම්පුර්ණ බලය කොමිසමට ලබා දී ඇති නිසා ඒ සම්බන්ධ ප්‍රතිපත්ති සැකසීමට ආණ්ඩුවට නොහැකි බව යි. ආණ්ඩුව එබඳු තීරණයක් එවුවොත් එය ක්‍රියාත්මක නොකරන බව ද රත්නායක මහතා කියයි.

මේ අතර උපයෝගිතා කොමිසම ගාස්තු සැකසීමේ දී අදාළ ආයතනවල ස්ථාවර මුල්‍ය තත්ත්වයක් ඇතිකිරීම සහතික කළ යුතු බව පනතේ නිශ්චිතව සඳහන් නමුත් මහජන උපයෝගිතා කොමිසම එම නීතිමය තත්ත්වය ද නොතකා හැර කටයුතු කොට ඇති බව ද, හෙළිදරව් වී තිබේ. පසුගිය ගාස්තු සංශෝධනයේ දී කොමිසමේ සභාපති කීවේ ලංවිම පාඩු ලබන මුදල මහා භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතු බවයි. එබඳු තීරණ ගැනීමට පනතේ ඉඩක් දී නැති බව කියති.

මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයින්ගේ අදහස් නොවිමසා සභාපතිවරයා තනි තීන්දු ගන්නා බවට ද චෝදනා එල්ල වී තිබේ. පනත අනුව සභාපතිට විශේෂ බලයක් දී නැති අතර බලය දී ඇත්තේ කොමිසමට යි. ඒ අනුව කොමිසම රැස් නොකර සභාපති ගන්නා තීරණ නීති විරෝධී වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *