පුතා පිස්සු කෙළියි. තාත්තා ආතතියේ. දේශපාලකයන් පිළිබඳ අපරාධ පරීක්ෂණවලට කණ කොකා හඬන ලකුණු – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපතිවරයා විහිළු කරනවා ය. ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ඇවන්ට්ගාඩ් ආයතනය පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් ඒවා විභාග කළ යුතු ආකාරය හා ගත යුතු ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ පිළිබඳ වෙනම පිළිවෙලක්‌ තිබෙන බව ඔහු කියයි.

අපි නම් කියන්නේ ජනාධිපති ගැන ප්‍ර‍ශ්නයක් තියෙනවා නම් ඒ ගැන විමර්ශනය කරන්නට ද වෙන ම පිලිවෙලක් අනවශ්‍ය බවයි. නීතිය ඉදිරියේ සියල්ලන් ම සමාන වෙනවා මිස එක එක කට්ටියට එක එක විදියේ පිළිවෙලවල් තිබිය යුතු නැත.

හොරා නම් හොරා ම ය. පික් පොකට් ගැහුවත්, ටයි දාගෙන, සුදු ඇඳගෙන මහජන මුදල් සොරා කෑවත් වෙනසක් නැත.

හිටපු නාවික හමුදාපතිවරු පදක්කම් හොල්ල හොල්ලා ගෝඨාභය රාපක්ෂ සමග උසාවි ගියා ම සිරිසේන මහත්තයා බය වෙලා වගේ ය. ඔහොම බය වෙලා නම් ඔය මගුල කොරන්නට බැරි ය. දැන් ඉතින් මොනවා කළත් ආපහු හැරෙන්නට ඔබට බැරි ය.

ආපහු හැරෙනවා කියන්නේ අල්ලපු අත්තත්, පය ගැසූ අත්තත් යන දෙක ම අහිමි වන කෙළියක් බව ජනාධිපතිවරයා සිහිපත් කර ගත යුතු ය.

හැබැයි, අර පිස්සු නටන නාමල් පරපුරේ කොලුවා කර අඹා ගන්නට නම් වග බලා ගන්නා එක හොඳ ය.

මේ කතාවල හැටියට පෙනෙන්නේ CIDය, FCIDය හා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දේශපාලන න්‍යාය පත්‍ර දෙකකට අනුව වැඩ කරන බවයි. ජනාධිපතිවරයාට කේන්ති ගිහින් තිබෙන්නේ තමන්ගේ න්‍යාය පත්‍ර‍ අනුව අත්අඩංගුවට නො ගත යුතු ගෝඨාභය රාජපක්ෂ වැනි අය වෙනත් න්‍යාය පත්‍ර‍යකට අනුව අත්අඩංගුවට ගෙන තිබෙන නිසා විය හැකි ය.

අපි 2015 ජනවාරි 8දා වෙනස සිදු කළේ ඔය එක එක කල්ලි න්‍යාය පත්‍ර‍ ක්‍රියාත්මක කරවන්නට නො වේ. මේ රටේ පසුගිය කාලයේ සිදු වූ මහජන මුදල් මංකොල්ලකෑම්, මිනීමැරුම් ආදිය ගැන ඇත්ත අප දැන ගත යුතු ය. ඒ ගැන විමර්ශන විධිමත් අන්දමින් සිදු විය යුත්තේ එහෙයිනි.

විමර්ශනවලට දේශපාලන ඇඟිලි ගැසීම් සිදු කිරීම වහා ම නැවැත්විය යුතු ය. ඒ විමර්ශන නිදහසේ සිදු විය යුතු ය.බොහෝ විමර්ශන සෙමින් වුවත්, ශක්තිමත් අන්දමින් සිදු වනු පෙනිණි. ජනාධිපතිගේ මෙම තර්ජනය එම ආයතනවලට කරන ලද බරපතල බලපෑමකි.

තමන් මේ රටේ ජනාධිපති වුණේ උසාවියට ටෙලිෆෝන් කෝල් දෙන්නවත්, ස්‌වාධීන කොමිෂන් සභාවලට ඇඟිලි ගහන්න වත්, විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන්නවත්, නීතිපතිවරයා ලවා බරපතළ අපරාධකරුවන් උසාවියෙන් නිදහස්‌ කර ගන්නවත් නොවන බව කියන ජනාධිපතිවරයා අදාළ විමර්ශන අංශවලට ස්වාධීනව වැඩ කරන්නට ඉඩ දිය යුතු ය.

W3LANKA

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *