පුංචි ඡන්දය තිබ්බොත් රට ලොකු අගාධයකට වැටෙනවා – නීතිඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මඟින් රටේ ආර්ථික තත්ත්වයට බලපෑම් සිදු වන බවට සඳහන් කරුණු ඇත්තක්ද යන්න පිළිබඳව නීතිඥ මනෝජ් ගමගේ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

 

මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඕනෑ

ජනාධිපතිතුමාට නිශ්චිත අරමුණක් තියෙනවා

 

අතීතය ගැන නෙවෙයි වර්තමානය ගැන හිතන්න

 

 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව සමාජය තුළ විවිධ අදහස් පළ වෙනවා. ඇතැම් පාර්ශ්ව මැතිවරණය පැවැත්වීම මේ මොහොතේ නුසුදුසු බවට අදහස් පළ කරනවා. තවත් පිරිසක් මැතිවරණය පැවැත්විය යුතු බවට සඳහන් කරනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කරන්න පුළුවන්ද?

 

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් විදිහට මැතිවරණ පැවැත්වීම සඳහන් කළ හැකියි. අපි කිසිම වෙලාවක මැතිවරණ පැවැත්වීම නවත්වන්න කියලා කියන්නේ නැහැ. ඒත් මැතිවරණයක් පැවැත්වීමට ආර්ථික තත්ත්වය ගැනද සලකා බැලිය යුතුයි. අද පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට සුදුසු ආර්ථික තත්ත්වයක් තියෙනවාද කියන එක සලකා බැලිය යුතුයි. මැතිවරණය පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය වුවත් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමටත් රටේ නිසි ආර්ථික වාතාවරණයක් තියෙන්න ඕනෑ. අද පොඩි ළමයකුගෙන් ඇහුවොත් කියයි ඡන්දයකට වඩා මේ කාලය තුළ වැදගත් ආර්ථිකය ශක්තිමක් කිරීම ගැන වෙහෙස වීම කියල. රට පසුගිය මාස හයේ තිබුණේ කොහොමද කියන එක ඇතැමුන්ට අමතක වෙලා තියෙන්නේ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සමඟ ලොකු ආර්ථික දුෂ්කරතාවකට රට වැටිලා තිබුණා කියලා. ඒත් වර්තමාන ජනාධිපතිතුමාට හැකියාව ලැබී තිබෙනවා රට ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කිරීමට. ඒ නිසා තවදුරටත් රටේ ආර්ථික ගැටලු විසඳීමට කාලයක් අවශ්‍ය කරනවා. මැතිවරණයක් පැවැත්වීමට නම් දේශපාලන ස්ථාවරභාවයක් අවශ්‍ය වෙනවා. එසේ නොමැති වුවහොත් සමාජ කැලඹිලිසහගත තත්ත්වයක් පවා ඇති වෙන්න පුළුවන්. ඒක රටේ ආර්ථික ස්ථාවරත්වයට බාධාවක්. ඒ නිසා මූලිකව අපිට කල්පනා කරන්න තියෙන කරුණ වන්නේ ආර්ථිකය නැවත ගොඩනැඟීම සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි. ඒක එක දේශපාලන පක්ෂයක වැඩක් නොවෙයි මුළු රටේම වැඩක් විදිහටයි පෙන්වා දිය යුත්තේ. ඒ ආර්ථිකය සුරක්ෂිත කිරීමට වඩා පළාත් පාලන මැතිවරණය අවශ්‍ය බව කියන විපක්ෂයට අවශ්‍ය වෙන්නේ රට ආරක්ෂා කර ගැනීම නොවෙයි දේශපාලන අවශ්‍යතා මත රට අස්ථාවර කිරීමටයි. මේකට ගමේ භාෂාවෙන් කියන්නේ බොර දියේ මාළු බානව කියල. අද පමණක් නොවෙයි විපක්ෂය හැමදාමත් කළේ බොර දියේ මාළු බාන වැඩේ. අද විපක්ෂයේ පක්ෂ මහ මැතිවරණයක් පවත්වන්න කියලත් ඉල්ලනවා. ඒ ඉල්ලීමේ යටි අදහසත් කුමන හෝ විදිහකට දේශපාලන බලය අත්පත් කර ගැනීමයි.

මේ වෙන කොට මේ ආණ්ඩුව ස්ථාවර ආණ්ඩුවක්. පසුගිය අය වැයේදී ඡන්ද එකසිය විසිතුනක් ගත්තා. මේ මොහොතේ අවශ්‍ය කරන්නෙ දේශපාලන ස්ථාවරභාවයයි. මහ මැතිවරණයක් පැවැත්වුවහොත් අදට වඩා දේශපාලන ස්ථාවරභාවයක් ඇති වෙයි කියලා කියන්න සාධක නැහැ. මහ මැතිවරණයකින් ඇති වෙන්නේ අස්ථාවර සභාග ආණ්ඩුවක්. එවැනි ආණ්ඩුවකට රට ස්ථාවර කරන කාර්ය නිසි ලෙස ඉටු කරන්න බැරි බව දේශපාලනයේ මුල් අකුර කියැවූ කෙනෙකුට වුවත් තේරෙනවා. අප මූලිකව බලන්න ඕනැ දේ තමයි රටේ ආර්ථික තත්ත්වයට දේශපාලනය අස්ථාවරභාවය ඇති වුණොත් ලොකු බලපෑමක් සිදු වන බව. ඒ නිසා තමයි අප කියන්නේ මේ කාලයේ මැතිවරණ පවත්වන්න එපා කියලා. එහෙම නැතිව ප්‍රජාතන්ත්‍රවාදය එපා ඡන්ද අයිතිය එපා කියන තැන නොවෙයි අපි ඉන්නේ.

 

ආර්ථික පුනර්ජීවයක් රට තුළ ඇතිවෙමින් තිබෙන බව ද ඔබ සඳහන් කරන්නේ?

 

රට වේගයෙන් පහළට ඇද වැටෙමින් තිබුණේ. දැන් ඒ තත්ත්වය පාලනය කරගෙන තිබෙනවා. ඒ ගැන සතුටු වෙන්න පුළුවන් පුනර්ජීවයක් ඇති වීමට පෙර ආර්ථිකය ස්ථාවරභාවයට පත් කළ යුතුයි. ඒ සඳහා ජනාධිපතිතුමා සහ රජය පියවර ගෙන තිබෙනවා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කියන්නේ රටේ ආර්ථිකය ගැන හිතල ආර්ථික වර්ධනයට බලපානු ලබන දේශපාලන තීන්දු නොගෙන මේ කාලය තුළ වැඩ කරන්න කියලා. ඇත්තෙන්ම වෙන රටක නම් මේ වගේ අර්බුදයක් ඇති වුණාම දේශපාලනය පැත්තකින් තියලා මුළු රටම එකතු වෙනවා. ඒත් අද අපේ රටේ ඒ වගේ තත්ත්වයක් තියෙනවාද කියලා ඔබ කල්පනා කර බලන්න. පක්ෂ කා කොටා ගැනීමක් තමයි වෙන්නේ. අපේ විපක්ෂය නිතරම කළේ අර්බුදයක් ඇති කර ඒ මතින් යැපීමට වැඩ කිරීම මිසක් රට ගැන සිතා වැඩ කිරීම නොවෙයි. ඒක ඉතාමත් වැරැදි දෙයක් විදිහටයි සලකන්න පුළුවන්.

 

පළාත් පාලන මැතිවරණයකින් සිදු වන්නේ ප්‍රාදේශීය සංවර්ධනය සහ පරිපාලනය ශක්තිමත් වීම. ඒ තත්ත්වය තුළ පළාත් පාලන ආයතන අක්‍රිය වීම නුසුදුසු දෙයක් විදිහටයි සමහර පාර්ශ්ව සඳහන් කරන්නේ?

 

ඒ තර්කය වැරැදියි කියලයි මට දැනෙන්නේ. දැන් අවුරුදු කිහිපයක් පළාත් සභා මැතිවරණය කල් ගියා විතරක් නොවෙයි පළාත් සභා යන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නෙ නිලධාරීන් මඟිනුයි. අනෙක් කරුණ විදිහට පෙන්වා දෙන්න පුළුවන් කරුණ තමයි පළාත් පාලන මැතිවරණයේදී පත්වන නියෝජිත ප්‍රමාණය වැඩි වීම. එදා සිටියෙ නියෝජිතයන් හාරදහසකට ටිකක් වැඩියෙන්. අද නියෝජිතයන් ප්‍රමාණය නව දහසකට ආසන්නයි. මේ හැමෝටම දීමනා විදිහට වියදම් වෙන්නේ මහජන බදු මුදල් ඒ නිසා මේ අනවශ්‍ය මුදල් නාස්තිය ගැනද කල්පනා කරන්න ඕනෑ. ඒ අනුව මේ නියෝජිතයන් ප්‍රමාණය ගැනද කල්පනා කළ යුතුයි. මේ අධික නියෝජිත ප්‍රමාණය වෙනුවට සාධාරණ නියෝජනයක් ඇති කළ යුතුයි යන්න තමයි මගේ අදහස වෙලා තියෙන්නේ. මේ මැතිවරණ ක්‍රමයෙ යම් වෙනස්කමක් කළ යුතුයි. එමඟින් ජනතා බදු මුදල් නිකරුණේ නාස්ති වෙන එක නවත්වා බදු මුදල් ප්‍රයෝජනවත් දේකට යොදා ගැනීමට හැකියාව ලැබෙනවා. පළාත් පාලන නියෝජිතයන් හාරදහසේ සීමාවට යළිත් පත් කළ හැකි නම් හොඳයි. අප නිතරම උත්සාහ කළ යුත්තේ මහජන මුදල් ආරක්ෂා වෙන විදිහට පළාත් පාලන ආයතන ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමයි.

 

දේශපාලනය කරද්දි නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍ය කරනවා. මේ නිශ්චිත වැඩපිළිවෙළක් සහිත දේශපාලන ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක වෙනවාද?

 

නිශ්චිත වැඩපිළිවෙළක් නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. ජනාධිපතිතුමාට නිශ්චිත වැඩපිළිවෙළක් ගැන අදහසක් තියෙනවා. ඒත් අද රටේ මීළඟට බලය ඉල්ලන සමඟි ජන බලවේගයට හෝ ජාතික ජන බලවේගයට ඒ වගේ නිශ්චිත වැඩපිළිවෙළක්, වැඩසටහනක් නැහැ. ඒ අය ඉල්ලන්නේ බලය පමණයි. ඒත් බලය ගත්තාම වැඩ කරන්නේ කොහොමද කියන එක ප්‍රකාශ කරන්නේ නැහැ. දේශපාලන පක්ෂයක් වුණාම බලය ලබා ගැනීම පමණක් නොවෙයි බලය ලබා ගැනීමෙන් පසු රට පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගැනත් පැහැදිලි දැක්මක් තියෙන්න ඕනෑ. ඒත් විපක්ෂයේ කාටවත් ඒ දැක්ම හෝ දැක්ම ඇති කර ගැනීමේ අවශ්‍යතාව හෝ නෑ. ඒත් ජනාධිපතිතුමා බලය ලබා ගත් විගසම නිසි වැඩපිළිවෙළක් පිළිබඳව සඳහන් කළා. ඒත් විපක්ෂය කිසිම තැනක ස්ථාවරය මොකක්ද කියලා කියන්නේ නැහැ. ආණ්ඩුව විවේචනය කරමින් ඇවිදිනවා විතරයි.

 

ඔබ හිතන විදිහට රට ස්ථාවර විමට කෙතරම් කාලයක් ගත වෙයිද?

 

රට ස්ථාවර වීම ඉබේ වෙන්නේ නැහැ. ඒ සඳහා අපි කැපවෙන්න ඕනෑ. එහෙම කැපවීමක් තිබුණොත් අපට පුළුවන්කම ලැබේවි ඉක්මනින්ම රට ස්ථාවර තත්ත්වයකට පත් කිරීමට, ඒත් පළාත් පාලන මැතිවරණය වැනි ලොකු මුදල් ප්‍රමාණයක් වැය වෙන මැතිවරණයකට ගියොත් රටේ ආර්ථික ස්ථාවරය නැවත කඩා වැටෙන්න පුළුවන්. අද වන විට රුපියල ස්ථාවර වෙලා තිබෙනවා, උද්ධමනය අඩු වෙමින් තිබෙනවා. මේ හැම දේකින්ම පැහැදිලි වන කරුණ වන්නේ රට නැවත ස්ථාවරභාවයට පත්වෙමින් තිබෙන බවයි. මේ රිද්මයෙන්ම ඉදිරියට යන්න පුළුවන් නම් රට මේ වසර ඇතුළත ස්ථාවරභාවයට පත්වීම අනිවාර්යෙන්ම සිදු වෙනවා. ඒ නිසා අපට සුබදායක අපේක්ෂා රැසක් අනාගතය වෙනුවෙන් තියා ගන්න පුළුවන්.

 

රට අද පත්ව ඇති ආර්ථික දුෂ්කරතාවට හේතුව ලෙස ප්‍රබලම චෝදනාව එල්ල වෙන්නේ හිටපු ජනාධිපතිවරයාට. මේ චෝදනාව ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

 

දිගු කාලයක සිට පවත්වා ගෙන ආ ක්‍රමයේ වැරැද්දක් නිසා තමයි මේ වර්තමාන අර්බුදය ඇති වුණේ, ඒ නිසා හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල කිරීම වැරැදියි. ඒත් දැන් අතීතයට චෝදනා එල්ල කිරීමෙන් වැඩක් නැහැ. වර්තමානයේ ඇතිව ඇති තත්ත්වයට විසඳුම් සෙවීම තමයි කළ යුතුව තිබෙන්නේ. වර්තමාන ජනාධිපතිතුමා සහ ආණ්ඩුව දැන් නිසි මඟට රට ගෙන එමින් තිබෙනවා.

මේ කාලයේදී කළ යුතු යුගයේ වගකීම විදිහට අපි සලකන්න ඕනෙ එක කරුණයි. එනම් අතීතයට දොස් කීම නවතා රට ගොඩනැඟිය හැකි වැඩපිළිවෙළක් සමඟ සියලු දෙනා එකතුව රට වෙනුවෙන් වැඩ කිරීමයි.

නීතිඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ

 

උදිත ගුණවර්ධන

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *