ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හා නල්ලරත්නම් සිංහරාසා වැනි අය – අජිත් පැරකුම් ජයසිංහ

නල්ලරත්නම් සිංහරාසා යනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 35ක සිර දඬුවමකට නියම වූවෙකි. ඔහුට දඬුවම් කිරීම පිණිස යොදාගෙන තිබෙන්නේ ඔහු වධහිංසනයට ලක් කර, ඔහුගේ ඇඟිලි සලකුණ ලබා ගත්, ඔහුගේ ම කටඋත්තරයයි. මේ වනාහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කෘර ස්වභාවය නිරූපණය කිරීමට කදිම සාක්ෂියකි. මේ සම්බන්ධයෙන් සිංහරාසා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික මානව හිමිකම් පෙත්සම ද ප්‍රතික්ෂේප කරන ලදී.

ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ප්‍රකාරව සිවිල් අයිතීන් සහ දේශපාලන අයිතීන් සම්බන්ධයෙන් මෙරට ඉහළ ම අධිකරණයේ නඩු තීන්දුවකින් සෑහීමකට පත් නොවන අයෙකුට සාධාරණය පතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළ හැකි ය.

සිංහරාසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල සලකා බැලූ එම කොමිසමේ මානව හිමිකම් කමිටුව යම් අදහස් ප්‍රකාශ කිරීමක් කර ඇත. නඩු තීන්දුවක් නොවන එම අදහස් ප්‍රකාශය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආර්.ඩී.ඩබ්ලිව්. ගුණසේකර මහතා මගින් නැවත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනය කිරීමෙන් අනතුරුව මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ වගඋත්තරකරුවක් වූ හිටපු අගවිනිසුරු සරන් නන්ද සිල්වා ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් විසින් එය විභාග කරන ලදී.

ශ්‍රී ලංකා නීතිය වැරදියට අර්ථ නිරූපණය වන අයුරින් අදාළ එම නඩු තීන්දුව ප්‍රකාශ කර ඇති බවට සැලකෙන හෙයින් එය නැවත සලකා බැලීමට සංශෝධනය කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව මේ තීරණය ගත් බව එම සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා සැප්තැම්බර් 14දා දිනමිණට පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ 2016 ජුලි මස 07 වන දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් සිංහරාසා නඩු තීන්දුව පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් නඩු තීන්දුව පිළිබඳ නැවත සලකා බැලිය යුතු බව කතානායකවරයාට දන්වා සිටියේය. එම ප්‍රකාශයට එරෙහිව නීතිඥ දර්ශන වේරදුවගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම පසුගියදා ප්‍රතික්ෂේප කෙරුණේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ පාර්ලිමේන්තුව තුළ දී මන්ත්‍රීවරයෙකු සිදු කරන ප්‍රකාශයක් ගැන අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි ය යන තර්කය මත පදනම්ව ය.

සරත් නන්ද සිල්වා අගවිනිසුරු සමයේ දෙන ලද නඩු තීන්දුව මගින් ජාත්‍යන්තර විනිශ්චය සභා විසින් පනවනු ලබන තීන්දු ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී නොමැති බවට නියමයක් කර ඇති බව නීතිඥ වේරදූවගේ අධිකරණයට පෙන්වා දුන්නේ ය.

යුරෝපා සංගමය ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරන භාණ්ඩ සඳහා ලබාදෙමින් තිබූ ජීඑස්පී ප්ල්ස් සහනය ලංකාවට අහිමි කිරීමට ද මෙම නඩු තීන්දුව එක් හේතුවක් වූ බව වික්ටර් අයිවන් පෙන්වා දෙයි. ඒ ලංකාව අත්සන් තබා තිබූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තියට අදාළ විකල්ප ප්‍රොටකෝලයේ ක‍්‍රියාකාරීත්වය බලරහිත කිරීමට මෙම නඩු තීන්දුව හේතු වී ඇති බව ඔහුගේ අදහසයි.

“විශ්ව ප‍්‍රකාශනයේ එන වටිනාකම් සඳහා සාමාජික රටවල් සඳහා නීතිමය බැඳීමක් ඇති කරන ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක් කරළියට ආවේ 1966දීය. ඒ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තියයි. එම ප‍්‍රඥප්තියෙන් මනුෂ්‍යයන්ට හිමි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් විස්තර කරන අතර එම ප‍්‍රඥප්තියට අත්සන් තබන සාමාජික රාජ්‍යයන් කෙරෙහි එම රාජ්‍යයන් එම අයිිතිවාසිකම් ආරක්ෂා කිරීමට නෛතික බැඳීමක් ඇති කරයි. එම ප‍්‍රඥප්තියට අදාළ දෙවැනි වෛකල්පිත ගිවිසුම අත්සන් කරන රාජ්‍යයන් එම අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේද යන්න සොයා බැලීමේ අයිතිය මානව අයිතිවාසිකම් කොමිසමට ලබාදෙයි. (2006 සිට මේ වගකීම පවරන ලද්දේ මෙම වසරේ සිට අලූතෙන් ඇති කරගත් මානව හිමිකම් කවුන්සිලයටය.) දෙවැනි වෛකල්පිත ගිවිසුමට අත්සන් කළ රාජ්‍යයන් මානව හිමිකම් උල්ලංඝනය කරන අවස්ථාවකදී එම රාජ්‍යයට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත එම ගිවිසුමට අත්සන් තබා ඇති වෙනත් රාජ්‍යයකට හෝ රාජ්‍යයන් කණ්ඩායමකට පැමිණිලි කිරීමේ හැකියාව ලබාදී තිබෙන අතර එවැනි පැමිණිලි මානව හිමිකම් කවුන්සිලය විමර්ශනයකට ලක් කළ යුතුය. ඊට අතිරේකව එම වෛකල්පිත ගිවිසුමට අත්සන් තබා ඇති රාජ්‍යයන්ටද පුරවැසියකුටද අයිතිවාසිකම් උල්ලංඝනයකදී එම රාජ්‍යයට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය යටතේ ක‍්‍රියාත්මක වන මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කිරීමේ අයිතිය ලැබුණි. එහෙත් පුරවැසියකු එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කළ විට මානව හිමිකම් කමිටුවට එය විභාග කළ හැක්කේ පැමිණිලිකරු දේශීය වශයෙන් ඒ ප‍්‍රශ්නය විසඳා ගැනීමට රටේ තිබෙන ඉහළම අධිකරණයට ගොස් ඉන් ද සාධාරණ විසඳුමක් ලබාගත නොහැකි වී තිබෙන අවස්ථාවකදී පමණය. එවැනි පැමිණිල්ලක් විභාග කොට කමිටුව දෙනු ලබන තීරණයන් හා නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට අදාළ රාජ්‍ය එම අන්තර්ජාතික ගිවිසුම අනුව බැඳී සිටින්නේය.

“ශ‍්‍රී ලංකාව සිවිල් හා දේශපාලන අයිිතිවාසිකම් ප‍්‍රඥප්තියට 1980දී අත්සන් තබන ලද අතර, 1997දී එම ගිවිසුමට අදාළ වෛකල්පිත ගිවිසුමටද අත්සන් තබන ලදි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ටද බරපතළ මානව හිමිකම් උල්ලංඝනයකදී දේශීය වශයෙන් යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි වූ අවස්ථාවකදී සිය දුක්ගැනවිල්ල ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කිරීමේ අයිතිය ලැබුණි.” (වික්ටර් අයිවන්, රාවය 2016 ජුලි 17)

මෙම සංවාදය රට තුළ සිදු වන අතරතුර සිංහරාසා තවමත් සිරගෙදර විය හැකි බව මම සිතමි. ඔහුට එරෙහිව එල්ල වූ උතුරු පළාතේ හමුදා කඳවුරුවලට පහර දීමේ හෝ පහර දීමට උත්සාහ කිරීමේ චෝදනාව සාධාරණ අන්දමින් ඔප්පු වී නැත.

තමිලිනීගේ තියුණු අසිපතක සෙවණ යට කෘතියෙහි ඇය මෙවැනි ප්‍රහාර ගණනාවක් ගැන සටහන් කර තිබේ. ඇගේ කටඋත්තරවල ද එවැනි දේ සඳහන් වන්නට ඇත. ඇය වධහිංසනයට ලක් නො වූ බව ද ඇගේ කෘතියෙහි දැක්වේ. තමිලිනීට එරෙහිව ඇගේ කටඋත්තරය යොදා ගත්තා නම් කුමක් විය හැකි ද? එහෙත්, තමිලිනීගේ කෘතියෙන් ම පැහැදිලිව ම පෙනෙන ආකාරයට ඇය ඒ අන්දමින් කටයුතු නො කළා නම් ඇගේ ඉරණම ද ඇය පරිද්දෙන් ම භාර වූ තවත් කොටි නායකයකු වන වී. බාලකුමාර් වැනි අයගේ ඉරණම වන්නට ඉඩ තිබිණි. යමෙකුට කටඋත්තරයකින් වරද පිළිගන්නට බල කෙරෙන සංදර්භය සමීපස්ථ හිංසනයට වඩා පුළුල් එකක් බව එයින් පෙනේ.

රජය විසින් අලුතෙන් හඳුන්වා දෙන්නට යන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ද මේ හා සමාන විධිවිධාන ඇති බව සැළ වේ. සාමාන්‍ය නීතිය යටතේ ද කටඋත්තරයක් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැකි මුත්, එය ස්වේච්ඡාවෙන් ලබා ගත් එකක් බවට ඔප්පු කිරීමේ වගකීම පැමිණිල්ලට පැවරේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් මෙය ලිහිල් කර තිබේ.

1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු ය. එමගින් වරදකරුවන් කරන ලද දේශපාලන හේතු මත ත්‍රස්තවාදී චෝදනාවට ලක් වූ සියලු පුද්ගලයන්ට කොන්දේසි සහිත පොදු සමාවක් දීම සාධාරණ ය. ඒ සම්බන්ධයෙන් එන ‘සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු!’ වැනි පටු, බොළඳ, දේශපාලනික වාසි වෙනුවෙන් ඉදිරිපත් කරන සටන් පාඨවලින් කිසිදු සාධනීය ප්‍රතිඵලයක් ලබා ගත නො හැකි ය. ඒවා ඉදිරිපත් කරන්නෝ ද ඒ බව දනිති. එය ඔවුන්ගේ එදිනෙදා පැවැත්ම නිසා ඔවුන් ඒ ගැන තකන්නේ නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිකම් ම අහෝසි කර දැමිය හැකි ද යන්න ඇත්තෙන් ම ගැටලුවකි. හේතුව, මේ වන විට ඉස්ලාමීය රාජ්‍යය, අල් ක්වයිඩා වැනි ත්‍රස්තවාදයේ නව ස්වරූප ඉස්මතු වී තිබීමයි. එම සංදර්භය නො තකා කටයුතු කිරීම ත්‍රස්තවාදයට උඩගෙඩි දීමකි.

ඇත්ත වශයෙන් ම සිදු විය යුත්තේ දේශපාලන බලය භාවිතා කරමින්, රජය හා සමාජය බියපත් කරමින්, විරුද්ධවාදීන් ඝාතනය කරමින්, පොදු දේපල මංකොල්ලකෑම ද ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය කළ හැකි වන පරිදි ත්‍රස්තවාදය පිළිබඳ අර්ථකථනය පුළුල් කිරීමයි. එහෙම වුණොත්, සොරකම් කිරීමේ දක්ෂකම ගැන උදම් අනන පල් සොරුන්ට එරෙහිව ද ක්‍රියාත්මක කළ හැකි නව නීතියක් හඳුන්වා දිය හැකි වනු ඇත.

ප්‍රගතිශීලීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ස්ථාවරයකට පැමිණිය යුත්තේ අනාගතයේ තමන්ටත් ත්‍රස්තවාදයේ යෙදෙන්නට අවස්ථාවක් තබා ගැනීම අරමුණු කරගෙන නො වේ. අනාගතයේදී ප්‍රජාතාන්ත්‍රික නො වන පාලනයක් බිහි වුවහොත් එය සමග කටයුතු කළ යුතු ආකාරය එවිට තීරණය කළ හැකි ය. නෙල්සන් මැන්ඩෙලා වැනි විප්ලවවාදීන් එකී තීරණ ගත් ආකාරය අප හමුවේ ඇති පූර්වාදර්ශයන් වේ. වර්තමානයේදී අප කටයුතු කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම අරමුණු කරගෙන ය.

W3LANKA

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *