2022ට වඩා 2023 බරපතළයි හෙට තීන්දු වන්නේ අද ගන්නා තීරණ අනුවයි – කුලසිරි ලියනගේ

ජනපති රට ගැන කියවීමක්, දැක්මක් ඇත්තෙක්

දෙස් දෙවොල් නොවේ අවශ්‍ය වන්නේ රට වෙනුවෙන් වැඩ කිරීමයි

සජිත්ට නොතේරෙන ජනතා අපේක්ෂා

මේ හා පුරා කියා අලුත් වසරකට පා තබන මොහොතේ ආර්ථිකය පිළිබඳ විශේෂඥ මතයය. හංගා ගහන්නට දෙයක් නැත. කතාව ඇත්තය. මේ මොහොත ඉතිහාසයේ දැනටමත් ලියවී ඇත්තේ ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය සහිත කාල වකවානුව ලෙසය. 2022 යනු අඳුරු අගාධයට ලංකාව ඇද දැමුණු වසර නම්, 2023 යනු ඒ අගාධයෙන් ගොඩ ගැනීමට වෙහෙසිය යුතු , ඒ වෙනුවෙන් වැඩ කළ යුතු වසරය. කොහොමටත් බිඳ දමන තරම් පහසුවක් ගොඩනැඟීමේදී නැත. එය අතිශය දුෂ්කරය.

ඒ බව තේරුම් ගන්නටත් ඇති තරම් අත්දැකීම් 2022 වසරේ අපට ලැබිණ. විශේෂයෙන්ම රට ආර්ථික වශයෙන් බංකොලොත්ව, රට පුරා පෝලිම් යුගයක් බිහිවී, දරුණු ප්‍රචණ්ඩත්වයක් සහ අරාජිකත්වයක් වෙත රට ගමන් කළ අවස්ථාවේ, ඒ ආපසු හරවන්නට නායකයන් යැයි කියාගන්නා කිසිවකු ඉදිරිපත් වුණේ නැත. අවසානයේ රට තවදුරටත් ඒ, පතුලක් නොපෙනුණු අගාධයට වැටීම පාලනය කරගන්නට සුක්කානම දෙන්න සිදුවුණේ, ලංකා දේශපාලනයේ ඒ මොහොතේ සිටි පරිණතම නායකයාටය. ඒ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහය.

සැබවින්ම රට පත්ව තිබූ අර්බුදයේ දිග පළල මෙන්ම ගැඹුර ද ඔහු දැන සිටියේය. අර්බුදය විසඳීම වෙනුවෙන් ගත යුතු උපාය මාර්ගික වැඩපිළිවෙළ ද ඔහු සතු විය. ඒ රට ගැන කියවීමක් පමණක් නොව දැක්මක් සහිතව ඔහු දේශපාලනය කළ නිසාය. බලය ලබාගෙන මාස කිහිපයක් ගතවූ තැන පෝලිම් යුගය අවසන් කිරීම ඒ බව තේරුම් ගන්නට ඇති හොඳ සහතික අතුරින් පළමු වැන්නය. දෙවැන්න රට ගත යුතු මඟ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සමාජ ආර්ථික දේශපාලන මාර්ග සිතියමය.

මෙහිදී සිතා බැලිය යුතුව ඇත්තේ, ජී.එල්, ඩලස් වැනි පාර්ශ්වයක් වෙත බලය පවරන්නට ඒ මොහොතේ රාජපක්ෂ කඳවුර තීරණය කළා නම් කුමක් සිදුවිය හැකිව තිබුණේද යන්නය. ඒ වන විටත් ඔවුන් සිටියේ අර්බුදය දැක බියට පත්වය. ජාතික නායකයන් ලෙස රට සම්බන්ධ දැක්මක් වැඩපිළිවෙළක් නැතත් දේශපාලන ධෛර්යයක් හෝ තිබුණා නම් ඔවුන් හොර උපාසකයන් මෙන් පාර්ලිමේන්තුව ඇතුළේ ස්වාධීනවී බොරු සිල් ගන්න යයිද? ඊළඟ විකල්පය විපක්ෂ නායක නම්, ඔහු සිදු කළ යුතුව තිබුණේ ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා ලද පළමු මොහොතේ බලය ගෙන අර්බුදය විසඳීමට කටයුතු කිරීම නොවේද? එහෙත් විපක්ෂ නායක අදටත් සිදු කරමින් සිටින්නේ කුමක්ද ?

ඒ ගැන හරි ලස්සන විග්‍රහයක් පසුගියදා කර තිබුණේ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නලින්ද ජයතිස්ස ය. ඒ ජාතික ජනබලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීමක් අමතමින් ය. එහිදී නලින්ද කියා සිටියේ,” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පූර්ව ළමා විය නිසි ආකාරයෙන් සංවර්ධනය වී නැති බවය. එවන් පුද්ගලයන්ට රටක් පාලනය කළ නොහැකි බවය. බස් රථයක් පාරේ ධාවනය කරවූවාට, ඒදණ්ඩෙන් ගියාට, තනි කකුලෙන් හිටගෙන හිටියාට රටක් පාලනය කළ හැකි යැයි එවන් පුද්ගලයන් සිතන බවත් පූර්ව ළමාවිය නිසි ලෙස සංවර්ධනය වූයේ නම් මෙතරම් ප්‍රශ්නයක් ඇති නොවන බව ද නලින්ද පවසා තිබිණ.

නලින්දගේ මේ විවේචනය එල්ල වූයේ විපක්ෂ නායක ලෙස සජිත් සිය දේශපාලන වගකීම ඉටු නොකිරීම සම්බන්ධව ය. එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ගෙන හැර දක්වන්නේ, “විවේචනය කිරීම, අවලාද නැඟීම සහ හෙළා දැකීම, බොහෝ මෝඩයන්ට කළ හැකි නමුත් අවබෝධය සහ වැඩ කිරීම හැමෝටම කළ නොහැක” – ඩේල් කානගී කියා ඇති බව පවසමින්ය. අගමැති වෙන්නට පෙර ඉන්දියාවේ මෝදි කෝච්චියේ තේ විකුණූ බවය. අගමැති වෙන්නට පෙර මෝදි කෝච්චියේ තේ විකුණූ නමුත්, අගමැති වූ පසුව මෝදි අගමැති ධුරයේ රාජකාරිය කළා මිස කෝච්චි වල තේ විකුණන්නට නොගිය සරල තර්කය පවා තේරුම් ගන්නට මේ අවාසනාවන්ත විපක්ෂ නායක, දේශපාලනඥයකු ලෙස කෙසේ වුවත් සාමාන්‍ය දැනුම අතින් හෝ පරිණතව නැත.

දැන් හන්දි ගානේ බස් ධාවනය කරමින් කඩිනම් ඡන්දයක් ඉල්ලා කයිවාරු ගසන්නේ අන්න එහෙම විපක්ෂ නායකයෙකු ය. රනිල් තවදුරටත් රනිල් වික්‍රමසිංහ නොව රනිල් රාජපක්ෂ බවත්, රාජපක්ෂවරුන් ඇති කළ සියලු අර්බුදයන්ට එනිසා ඔහුද වගකිව යුතු බවටත් නන් දොඩවන්නේ අන්න ඒ විපක්ෂ නායකය. වඩාත් අවාසනාවන්ත තත්ත්වය වන්නේ, රට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දී ඇති පසුබිමේ හෝ විපක්ෂ නායක ලෙස කළ යුත්තේ කුමක්ද යන්න පමණක් නොව නොකළ යුත්තේ කුමක්ද යන්නවත් මේ විපක්ෂ නායක රිය­ැදුරු තැන නොදැන සිටීමය.

ඒ නිසා ඉතිහාසය කබල්ගාමින් තවදුරටත් රාජපක්ෂවරුන්ට දෙස් දෙවොල් තබා වැඩක් නැත. එයින් මේ ආර්ථික පීඩනයෙන් මිරිකෙන ජනතාවට අත්වන කිසිදු සෙතක් නැත. කළ යුතුව ඇත්තේ රටක් සිදු කළ වැරදි ප්‍රතිපත්ති, වැරදි උපාය මාර්ගික එළඹුම් හමුවේ අර්බුදයට ගොස් ඇති බව යළි යළිත් වමාරා ගඳ සුවඳ පරීක්ෂා කිරීමද ? නැත්නම් අර්බුදයේ පැමිණීම ආශීර්වාදයක් කරගෙන පැවැති සාම්ප්‍රදායික සීමා බාධා අභියෝග අතික්‍රමණය කර රට නව මාවතකට යොමු කර ගන්නට මැදිහත් වීමද? ඉතිහාසයේ සැබෑ විප්ලවීය භාවිතය කියන්නේ සියල්ල සිඳී බිඳී සුන්ව ගිය කල ශාප කරමින් හඬා වැටීමද? නැත්නම් සිඳී බිඳී ගිය සියල්ල නැවත එක්කොට අඩුවැඩිය යොදා අලුතින් ගොඩනැඟීමද? මේ තෝරාගැනීම සිදු කරන්නවත් තරම් පරිණත, වගවීමක් සහිත විපක්ෂයක් නොතිබීමද ඛේදවාචකයක් ය.

එනිසා මේ මොහොතේ රට ගොඩගැනීමේ වගකීමේ සියලු බර දරන්නට සිදුව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහටය. ඒ වෙනුවෙන් ඔහුට සහායට ඉදිරිපත්ව ඇත්තේ රාජපක්ෂ කඳවුර නියෝජනය කළ මැති ඇමැති පිරිසය. කැමති වුණත් අකමැති වුණත් දැන් ගමන යන්න ඇත්තේ ඔවුන් සමඟ නම් ඉදිරියට යෑම හැර වෙනත් විකල්පයක් නැත.

මෙහිදී වැදගත් වන කාරණය වන්නේ රාජපක්ෂ කඳවුරේ සිටි මැති ඇමැතිවරුන් සමඟ ජනාධිපති රනිල් යන ගමන කුමක්ද යන්නය. ඒ ගැන වන සිතියම ජනාධිපති රනිල් රටට කියා සිටියේ 2022 ජූලි 05 වනදාය. ඒ මොහොතේ ඔහු අගමැතිය. එසේ වුවත් යන මාර්ගය ගැන දැක්මක් ඔහු සතුවූ බැවින් ආර්ථිකය යළි නංවාලීම සඳහා අනුගමනය කරන මාර්ග සිතියම නැතිනම් ගමන් සැලැස්ම අදටත් වලංගු නොවේද?

“අපේ ආර්ථිකය වර්තමානයේ හැකිළෙමින් පවතින්නේ. අපි එය ආපසු හැරවීමටයි මේ වෙහෙසෙන්නේ. මහ බැංකු සංඛ්‍යා ලේඛන අනුව අපේ වර්තමාන ආර්ථික වර්ධන වේගය ඍණ හතරත්, ඍණ පහත් අතර අගයක් ගන්නවා. අයි.එම්.එෆ්. සංඛ්‍යා ලේඛන අනුව එය ඍණ හයත් ඍණ හතත් අතර වෙනවා.

මෙය බරපතළ තත්ත්වයක්. අපි මේ මාර්ග සිතියම ඔස්සේ අධිෂ්ඨානශීලි ගමනක් යෙදුනොත්, 2023 අවසන් වෙද්දී ඍණ එකක ආර්ථික වර්ධන වේගයක් අපට ලබා ගන්න පුළුවන්.

2025 වෙද්දි ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් ඇති කර ගැනීම අපේ ප්‍රයත්නයයි. ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම අපේ උත්සාහයයි. 2026 වෙද්දි ස්ථාවර ආර්ථික පදනමක් ඇති කර ගැනීම අපේ අපේක්ෂාවයි .

අපි මේ වන විට ගෙවන්නට ඇති ණය පිළිබඳ අදහසක් ඔබට ලබා දෙන්නට මා කැමතියි. මේ වසරේ ජූනි දෙසැම්බර් අතර ඩොලර් මිලියන 3489ක්. 2023 දී මිලියන 5860ක්. 2024 දී මිලියන 4916ක්. 2025 දී මිලියන 6287ක්. 2026 දී මිලියන 4030ක්. 2027 දී මිලියන 4381ක්.

2021 අවසානයේ රජයේ මුළු ණය බර රුපියල් 17,589.4ක්. 2022 මාර්තු වෙද්දී රුපියල් බිලියන 21,696.6ක්. මේ තමයි සැබෑ තත්ත්වය. මීට අමතරව ගෙවුණු වසර දෙක තුන තුළ උග්‍ර වුණු ප්‍රශ්න ගණනාවක බලපෑම් අප හමුවේ තියෙනවා. ඒවා දවසින් දෙකෙන් විසඳිය හැකි ප්‍රශ්න නෙවෙයි. ඒ වගේම වසර ගණනාවක් පුරා අපේ රටේ ක්‍රියාත්මක වූ යම් යම් සාම්ප්‍රදායික අදහස් නිසා ඇති වුණු බලපෑම්වලින් අපි පීඩා විඳිනවා. ඒ නිසා මම කලිනුත් සඳහන් කළා වගේ 2023 වසරේ දී ත් අපට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකයි ඇත්ත. මේකයි යථාර්ථය. ජනතාවට සිහින ලෝක මවා පෙන්වා මේ යථාර්ථය අවසන් කරන්න සමහරු උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණක් බව කාලයත් සමඟ සනාථ වේවි.

මේ තනතුර භාර ගත්තේ ඒ තත්ත්වයෙන් රට මුදවා ගැනීමේ අරමුණ ඇතිව. මම වගකීම් භාරගත්තේ රට වෙනුවෙන්. මගේ අත්දැකීම් හා සම්බන්ධතා භාවිත කරමින් රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමේ අරමුණින්. අන්න ඒ නිසයි කිසිදු කොන්දේසියකින් තොරව මම මේ අරාජික රට භාර ගත්තේ. රට ප්‍රපාතයට ඇද වැටීම වළක්වා ගන්න දැන් අපට පුළුවන් වුණා. දැන් තියෙන්නෙ සෙමෙන් සෙමෙන් යළි රට ඉහළට ඔසවා තබන්න.

මට මූලික වුණේ බලය නොවෙයි, රටයි. ඒ නිසා මට බලය පිළිබඳ ආසාවක් හෝ අවශ්‍යතාවක් නෑ. මට තියෙන්නේ රට ගොඩ ගැනීම සඳහා වන අවශ්‍යතාවක් විතරයි. ඒ අවශ්‍යතාව සපුරා ගැනීමේ මාර්ගයේ අප සැලසුම් සහගතව සහ ස්ථාවරව දැනට ඉදිරියට යමින් සිටින බව මම මේ සභාවට දන්වා සිටින්නට කැමතියි.

අප මේ යන ගමන මෙතෙක් අපේ රටේ අනුගමනය කෙරුණු ක්‍රමය වෙනස් කිරීම සඳහා යහපත් පදනමක්. පුද්ගලයන් හෝ චරිත මාරු කිරීමෙන් ජයක් හෝ ප්‍රගතියක් ලබා ගත නොහැකි බව අතීත අත්දැකීම් අපට පෙන්වා දී තියෙනවා. පොදු ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරලීමේ, කරවීමේ වැදගත්කම අතීත අත්දැකීම් ඔස්සේ තහවුරු වී තියෙනවා.

ඉතින් දැන් අප අනුගමනය කරන ක්‍රමවේදයටත් වඩා යහපත් මාර්ග ඇත්නම් කරුණාකර පෙන්වා දෙන්න. ඉදිරිපත් කරන්න. රට ඉහළට ඔසවා තැබීමේ වෑයමට අපි සියල්ලම එකතු වෙමු. වැටුණු තැනින් යළි නැඟී සිටීමේ ගමනට එක්සත්ව, එක්සිත්ව එකතු වෙමු. සාමූහික අදහස් හා යෝජනා ඔස්සේ මේ ගමන් මඟ වඩාත් නිවැරදි කර ගනිමු.”

එදා අගමැති ධූරයේ සිට ඉදිරිපත් කළ මාර්ග සැලැස්මට විකල්පයක් අදටත් විපක්ෂය වෙතින් ඉදිරිපත්ව නැත. ඒ කතාවේ තවත් තැනක ජනාධිපති රනිල් මෙසේ ද පැවසීය.

ඒ, ” අප මේ සැලසුම් කර ඇති මාර්ගයේ ඉදිරියට ගියොත් අනාගතය ගැන යහපත් බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. අප සියලු දෙනාම එක්සත්ව හා එක්සිත්ව ඒ කාර්යය භාරයට උර දිය යුතුයි. අප පැටලී ඇති දැල ඔසවාගෙන පියාඹන්නට අපි හැමෝම එකතු විය යුතුයි. එහෙම කටයුතු කළොත් අපට 2025 වෙද්දි යළිත් 2019 අවුරුද්දේ අප සිටි තත්ත්වය කරා පැමිණීමේ අපේක්ෂාව ඉටු කරගන්න පුළුවන් වේවි. එතැනින් මේ ගමන නවත්තන්නට බැහැ. නව ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම දක්වා අප මේ ගමන ඉදිරියටම යා යුතු වෙනවා. ” යනුවෙන්ය. අනතුරුව ගෙනා අතුරු අය වැය සහ 2023 අය වැය ප්‍රතිපත්ති ද කියාපෑවේ මේ මාර්ග සැලැස්මේම දිගුවය.

අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ “අප 2023 නව වසරට පිවිසෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවයන් සහ බලාපොරොත්තු සුන් වීම් හමුවේ ගත කළ වසරක් නිමා කරමිනි. රටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ අප සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ අප බහුතරයක් අත් විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් මා සතුය. නමුත් අපි දැනටමත් මෙම අයහපත් කාලය පසු කර තිබෙන බව මම විශ්වාස කරන අතර 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇත.” යනුවෙන්ය.

“2022 ට වඩා 2023 අමාරුයි. බරපතළයි. අපි ගන්න තීරණ අනුව තමා හෙට දවස තීරණය වෙන්නේ.” යනුවෙන් ආර්ථික විශේෂඥයන් කියන්නෙත් ඔය ටිකමය. ඒ අර්ථයෙන් රට සූදානම් විය යුත්තේ, 2022 විනාශයේ කඩා වැටීමේ වසර වුණා නම්, එය වළක්වාලූ නායකයා සමඟ 2023 ගොඩනැඟීමේ කටයුත්තට නොවේද? ඒ සඳහා කොහොමටත් ජනාධිපති රනිල් හැර වෙනත් විකල්පයක් කොයින්ද?

කුලසිරි ලියනගේ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *