ජනතාව නොඉල්ලන ඡන්දයක් මොකටද? – ගොවි උදාන ව්‍යාපාරයේ ලේකම්, චින්තක සී. ගුණදාස

 

* මිනිසුන් සිටින්නේ ජීවන අරගලයක
* ආහාර අහේනියට විසඳුම් සෙවීමයි වැදගත්
* පළමු වැඩේ වැටුණ ගොවිතැන නැඟිටවීමයි

මෙරට ආර්ථික ස්ථාවර භාවය කාගේත් අපේක්ෂාවකි. මෙකල ඊට රුකුල් දෙන වැඩසටහන්, ව්‍යාපෘති මිසෙක සෙසු සියලු කටයුතු කෙටි කලෙකටවත් පසෙකට දැමිය යුතු වග බොහෝ විද්වතුන්ගේ පෙන්වා දීමකි. එහෙත් එය එසේ තිබියදීත් මේ වන විට තරමක් නඟා සිටුවා තිබෙන මෙරට ආර්ථිකය නැවත පසුපසට ඇද දමන යෝජනා, අදහස් පිළිබඳ දේශපාලන කරළියෙන් නෑසෙනවා නොවේ. ඒ ඇතැම්හු ආණ්ඩුව මැතිවරණ කරා යොමු විය යුතු වගටත් හඬ නඟති. මේ ගොවි උදාන ව්‍යාපාරයේ ලේකම්, චින්තක සී. ගුණදාස මහතා ඒ පිළිබඳ මෙරට ගොවි ජනතාවගේ අදහස්, උදහස්, යෝජනා පිළිබඳ සිදු කළ සංවාදයකි.

අද වන විට පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම සිදු කරන ලෙස විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටිනවා. මේ ඉල්ලීම ගැන ඔබේ අදහස කුමක්ද.?

මේ වන විට මෙරට ආර්ථිකය යම්තාක් දුරකට යහපත් අතට හැරී තිබෙනවා. එහෙත් එය එසේ වූ පමණින් දැන් සියල්ල හරියි කිව නොහැකියි. කුඹුරු අක්කරයක් වගා කරන්නට අවශ්‍ය කරන පොහොර සහ යෙදවුම්වලට විතරක් ගොවියාට රුපියල් එක්ලක්ෂ විසි දහසක් විතර වියදම් වෙනවා. ඉතින් වී කිලෝවකට රුපියල් එකසිය පනහක් විතර ගොවියා බලාපොරොත්තු වෙනවා. රජය මේ අවස්ථාවේදී අභියෝග විදියට සැලකිය යුත්තේ එවැනි සාධනීය අංග මිසෙක මැතිවරණ නෙවෙයි.

ඉතින් මං නැවතත් කියන්නේ වත්මන් ආර්ථික දියුණුව අපි අත්වැලක් කර ගත යුතු බවයි. සැබැවින්ම එය අපේ ගමනට මඟ කියන පුංචි තරු ලකුණක්. එහෙත් එපමණින් තවම අපට සෑහීමට පත් විය නොහැකියි. තව බොහෝ දුරක් මෙරට ආර්ථික ස්ථාවරයේ ඉලක්කය කරා ගමන් කළ යුතුයි. මෙතෙක් පැමිණි ගමනටත් වඩා වැඩි සැලසුම් සහගත බවකින් යුතුව අපි ඒ ගමනේ යෙදිය යුතුමයි. එහිදී ඉකුත් අය වැය යෝජනා ඇසුරෙන් කෘෂි කර්මාන්තයට එසේත් නැතිනම් ආහාර සුරක්ෂිතතාවට ඉහළ වටිනාකමක් දීමට ඉදිරිපත් වීම පිළිබඳ ගොවි ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි දැඩි අපේක්ෂාවක් පවතිනවා.

එහෙත් ඒ සැලසුම්, වැඩපිළිවෙළ යථාර්ථයක් විය යුතුයි. ඊට මූල්‍ය පහසුකම් ප්‍රධානයි. දෙවනුව දවසේ පැය අටකට වඩා වැඩි කාලයක් නවීන තාක්ෂණයත් සමඟ වැඩ කළ හැකි රාජ්‍ය සේවයකුත් මෙකල මෙරටට අත්‍යවශ්‍යව තිබෙනවා. ඒ අනුව අපේක්ෂා කරන ඉලක්කයට මෙරටට ළඟා විය හැකියි. ඒත් කඩිනම් මැතිවරණයකට කැසකවන දේශපාලන ගෝරණාඩු වලට ආණ්ඩුව කන් දුන්නොත් මේ සියල්ල සුණු විසුණු වී යා හැකියි. ඒ නිසා මෙරට තිබෙන තැන පිළිබඳ නිසි අවබෝධයක් මුලින් දේශපාලනඥයන් ලැබිය යුතුයි. එවැන්නක් පැවතුණා නම් දේශපාලන තන්ත්‍රයෙන්ම මෙවැනි අදූරදර්ශී යෝජනා මතු වෙන්නට විදිහක් නැහැ. ඉතින් මහජනතාව වශයෙන් අපි මේ අවස්ථාවේදී පොදුවේ ඊට විරෝධය පළ කරන්නේ ඒ නිසයි.

ඒ ගැන වැඩි දුර පැහැදිලි කිරීමක් කළ හැකිද.?

ඉතින් පැහැදිලිවම කියන්න ඕනෑ අපි මේ කියන්නේ ඡන්ද තියන්න ඕනෑ නැහැයි කියලා නම් නෙවෙයි. මේ ඒකට වේලාව නෙවෙයි කියන එකයි අපි අවධාරණය කරන්නේ. එකට තුනකින් රටේ බොහෝ දේ මිල ඉහළ ගිහින් තියෙන්නේ. කෘෂිකාර්මික යෙදවුම්වලත් මිල අධිකයි. අනෙක, රටම එකම ගිනි ගොඩක් උඩ තිබුණු අවස්ථාවකදීයි ඉකුත් අය වැය යෝජනා සකස් කෙරුණේ. ඒ නිසාදෝ, බිම් මට්ටමෙන් කෘෂි කර්මාන්තය අතින් වෙනදා බොහෝ විට දක්නට නොලැබුණු ඵලදායී යෝජනා රැසක් මෙවර ඊට ඇතුළත් වුණා. අපි ඒ යෝජනා සැබෑ වන තුරු බලා සිටිනවා. අතරමැදියන්ගෙන් ගොවීන් ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවට ඇති වුවමනාව සැබෑවක් කර ගැනීමට කටයුතු යෙදිය යුතුයි. එසේම, ව්‍යවසායකයන් ගොවීන් අතුරෙන්ම බිහි කර ගැනීමට ආණ්ඩුව දරන උත්සාහයත් අපි අගය කරනවා. ඒ කොහොම වුණත් තවම ගසාකෑම් එහෙමමයි. උදාහරණයකට කැකිරි තොග මිල ගත් විටත් එය පැහැදිලියි. ගොවියාගෙන් කිලෝව රුපියල් දහයකට පමණ ගන්නා එහි වෙළෙඳපොළ මිල රුපියල් එකසිය හැටකට අධිකයි. එමෙන්ම, කෘෂි බෝගවල පසු අස්වනු හානි අවම කර ගැනීමේ අභියෝගයත් තවම එහෙමමයි. දුර බැහැර පළාත්වලට ශීතාගාර පහසුකම් සැපයීම ආදියට රජය කරන වියදම් ආයෝජන. ඒ වගකීම් අඩු නැතුව ඉටු කරන්නැයි අපි රජයෙන් ඉල්ලනවා. ඉන් පස්සේ ඡන්දය ඉල්ලන අයට ඇහුම්කන් දෙන්න ආණ්ඩුවට පුළුවන්නේ.

අනෙක, මහජනතාව මෙකල ඡන්ද පවත්වන්නැයි ඉල්ලා සිටින තැනකත් නෙවෙයි ඉන්නේ.

තවම ගම්බද, නගරබද භේදයකින් තොරව දැඩි ජීවන අරගලයකයි නිරතව සිටින්නේ. ඒ කාටත් වුවමනා කරන්නේ දේශපාලන මති මතාන්තර මුදුන් පමුණුවා ගන්නත් නෙවෙයි. ඒ වෙනුවට කෘෂි කර්මාන්තය මෙරටට විදේශ විනිමය අද්දවා ගත හැකි මඟක් විදියට සංවර්ධනය කරන්නැයි අපි ඉල්ලනවා. ඒ අනුව කෘෂි නවීකරණ ව්‍යාපෘති ආදිය දැනට ක්‍රියාත්මකයි. ඒ ඔස්සේ තවදුරටත් අපනයන භෝග හඳුනා ගනිමින් ඊට අගය එකතු කිරීමේ ක්‍රමවේද කරා යොමු වීමත් මෙකල ප්‍රමුඛ අවශ්‍යතාවක්. කිරි ගොවීන්ගෙන් අගය එකතු කිරීම් ඇතුළත්ව ගිතෙල්, චීස් වැනි නිෂ්පාදන වැඩිපුර වෙළෙඳපොළට එක් කළ විට ඒ වෙනුවෙන් පිටරටට ගෙවන අතිවිශාල මුදල් කන්දරාවත් මෙරට ඉතිරි වෙනවා. එවැනි සාධනීය වැඩපිළිවෙළකට මිසෙක මෙරට ඡන්ද පැවැත්වීමට මුල් තැන දීම කෙරෙහි නම් අන්තර්ජාතික ප්‍රජාවගේ ප්‍රසාදය පළ නොවනු ඒකාන්තයි.

ඇත්තෙන්ම, ජීවන යුද්දෙන් ගොඩ එන්න තරමකටවත් සහන තමයි ඒ හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ටිකෙන් ටික රට එදෙසට හැරෙන ලකුණු දැන් පෙනෙන්නට තිබෙනවා. එය මෙරට ඉදිරි ගමනට හොඳ කොළ එළියක්. මේ අවස්ථාවේදී පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව ඒ ගමනට සහාය දීමයි මහජන නියෝජිතයන්ගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ. ඒ මිසෙක කොහොමටවත් මේ වගේ කාලයක මිනිස්සු නොතකන ඡන්ද මේනියාවක් ඉස්මතු කරමින් මේ ගමන ආපහු ආපස්සට ඇද දැමීමට කාට හෝ වුවමනා වී ඇතිදැයි කියන සැකයත් මේ දිනවල ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ආදියෙන් වැඩි ප්‍රචාරයක් ලැබෙන කරුණු දෙස බැලුවාම ජනතාව තුළ වෙනවා.

රටකට ආහාර සුරක්ෂිතතාව වැදගත් බවත් ඔබ අවධාරණය කළා?

අනිවාර්යයෙන්ම. ගොවීන් විදියට කාටත් මේ වෙලාවේ ඕනෑ දේශපාලන අධිකාරිය තෝරා පත් කර ගැනීමක් නෙවෙයි. ඒ වෙනුවට ළඟ ළඟ එන බවට ලෝක මට්ටමෙන් රතු එළි දල්වා තියෙන ආහාර අහේනියට මුහුණ දීමට රටක් වශයෙන් අපි සූදානම් විය යුතුයි. ඒත් මේ වන විටත් අපි වැරදි තීන්දු නිසා ආපස්සට ඇදුණු රටක්. කාබනික කෘෂි කර්මාන්තයට මුළුමනින් රට හැරවීමට තැත් කිරීම ඉන් එකක්. ඒ නිසා මෙරටට වූ හානිය සුළුපටු නැහැ. එවිට විකල්පය වුණේ පිටරටින් ආහාර ගෙන ඒමයි. ඒත් විදේශ විනිමය හිඟයත්, ගෝලීය වසංගත තත්ත්වය ආදියත් ඊට හරස් වීමෙන් රට දරුණු අගාධයකට ඇද වැටුණා. එවැනි අනපේක්ෂිත කාල පරිච්ඡේද ඉදිරියේදීත් ඇති විය නොහැකි යැයි කිසිවකුට කිව නොහැකියි.

රටක් වශයෙන් සැලසුම් සහගතව ආහාර සුරක්ෂිතතාව හැකි උපරිම වශයෙන් ඇති කිරීමට කටයුතු කළ යුත්තේ ඒ නිසයි. අනෙක, අපි රටක් විදියට කාබනික කෘෂි කර්මාන්තයට යොමු නොවිය යුතු බවක් නෙවෙයි මේ කියන්නේ. එය ක්‍රමානුකූලව, පර්යේෂණාත්මකව කළ යුත්තක් මිසෙක එක රැයකින් කළ හැකි දෙයක් නෙවෙයි. ඉතින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සද්භාවයෙන් යුතුව කාබනික කෘෂිකර්මාන්තයට මෙරට නැඹුරු කිරීමේ අරමුණේ සිටිය වගත් එය අසාර්ථක වූයේ එම වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම භාරව සිටිය ඉන් පහළ උපදේශකයන්, බලධාරින්, නිලධාරින් නිසා බවත් කිව යුතුමයි. ඒ කෙසේ වෙතත් ඒ පාඩම් ඇසුරෙන් අපි ඉදිරි අනාගතයට ශක්තිමත් සැලසුම් සකස් කළ යුතුයි.

මේ වන විට ඉදිරිපත් වී තිබෙන රජයේ වැඩපිළිවෙළ අපි බොහෝ දුරට අනුමත කරනවා. සමාජයේ ස්තර හතකින්, එසේත් නැතිනම් ජනාධිපති කාර්යාල, කෘෂිකර්ම අමාත්‍යාංශ, පළාත්, ආණ්ඩුකාරවරුන්ගේ මට්මමේ සිට කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි දක්වාම එය පැතිරී තිබීමත් සාධනීයයි. ග්‍රාමීය වශයෙන් ආහාර ප්‍රවර්ධන කමිටු ස්ථාපිත කිරීමත් වැදගත් පියවරක්. එසේම, එහි ඉලක්ක සපුරා ගැනීමේ ශක්‍යතාවත් ඒ අනුව අතිරික්තය හෝ හිඟය පිළිබඳ පුරෝකථනවලට එළැඹීමටත් රජයට පුළුවන.

අනෙක අපි අවධාරණය කරන්නේ රජයේ කෘෂිකර්මය නඟා සිටුවීම පිළිබඳ එම වැඩපිළිවෙලේ අඩුපාඩු, දුර්වලකම් දුටු විටදීත් වහා ඒවා පෙන්වා දීමටත් අපි පසුබට නොවන වගයි. ඇත්තෙන්ම මැතිවරණ මේ කාලයේ පැවැත්වීම අනවශ්‍ය බව අපි එසේ පෙන්වා දෙන ප්‍රධාන කාරණයක්. ආහාර සුරක්ෂිතතාව පිණිස ක්‍රියාත්මක වැඩපිළිවෙළට මෙකල කෙටි කලෙකදී මැතිවරණ පැවැත්වීම වඩාත් නරකට බලපානවා. ඒ සඳහා ධනය, කාලය වැය කරමින් ඊට රාජ්‍ය නිලධාරින් යෙදවීම වැනි කරුණු හරහා මේ මොහොතේ මෙරට ඉදිරි සංවර්ධනයට අවැඩක්මයි වෙන්නේ. ඊට වඩා රටක් විදියට ප්‍රමුඛතාව දිය යුතු කරුණු රැසක් වෙනවා.

අනෙක, අන්තර්ජාතික වශයෙන් මෙරට එකඟ වූ තිරසර සංවර්ධනයට අදාළ කරුණු දහහතකට අදාළවත් රජය බැඳී සිටිනවා. වර්ෂ 2025දී විශේෂයෙන්, ග්‍රාමීය ආර්ථිකයේ පුනර්ජීවනය හරහා මෙරට ආර්ථිකය සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබා ගැනීමත් ඊට ඇතුළත්. ඒ අනුව සංවර්ධනය පිණිස රුකුල් දෙන වැඩපිළිවෙළම මිසෙක ඉන් පරිබාහිර අධික වියදම් සහගත මැතිවරණ කෙරෙහි මෙකල යොමු විය නොහැකියි. එසේම පොදුවේ මහජනතාවගෙන් එක් රැස් කර ගන්නා බදු මුදලින් නඩත්තු වන රජයට පොදුවේ ජනතාව ඉල්ලා නොසිටින මැතිවරණ පැවැත්වීම වැනි පටු තීරණ කෙරෙහි ඉදිරි වසරකවත් කාලයක් ගත වන තුරු යොමු නොවීමේ වගකීමකුත් තියෙනවා.

මෙකල ප්‍රමුඛතාව දිය යුතු බව කියන ගොවීන්ගේ යෝජනා මොනවාද?

සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර හැමදාමත් රජයේ සහනාධාර මත යැපෙන තැනින් මිදී ස්වාධීනව, කාටත් අත නොපා ජීවත් වීම පිණිස වන යෝජනා ආදියත් ප්‍රධානයි. එසේම, රට රටවල් ‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ ගමනේ ඉදිරියට ඇදෙන විට අපිට මේ වන විට මෙරට කෘෂි තාක්ෂණය අතින් තවම සතුටුදායක තැනක නැහැ. ඒ වෙනුවෙන් කරන වියදම් රටට ආයෝජනයක්. ඒ මිසෙක බොහෝ එකිනෙකා එදිරිවාදිකම් කර ගන්නා මැතිවරණ වෙනුවෙන් කරන වියදම රටකට කිසිසේත් ආයෝජනයක් වන්නේ නැහැ. එය එසේ තිබියදීත් අති විශාල ජාතික ධනයක් මෙවැනි කාලයක පුංචි ඡන්දය ආදී මැතිවරණ වෙනුවෙන් වැය කිරීම කිසිම රටවැසියකු අවංකව අනුමත කරන දෙයක් නෙවෙයි. මේ වන විටත් මහඉලුප්පල්ලම පිහිටි කෘෂි යන්ත්‍රෝපකරණ පිළිබඳ මධ්‍යස්ථානය වසා දැමූ තත්ත්වයක් තියෙන්නේ.

ලෝකයේ බොහෝ රටවල් දැන් අතින් වී ඉසීම කරන්නේ නැහැ. පැළ සිටුවන යන්ත්‍ර තමයි ඊට යොදා ගන්නේ. එය එසේ තිබියදීත් තවම කුඹුරට අතින් වී ඉසින රටවල් අතලොස්ස අතරයි මෙරට සිටින්නේ. මේ ඉතා කුඩා නිදසුනක් පමණයි. ඉතින් ජනතා නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවේ බොහෝ දෙනාගෙන් වුණත් මෙවැනි සාධනීය අංග කෙරෙහි එතරම් අවධානය යොමු කිරීමක් දක්නට නොලැබීම කනගාටුදායකයි. එසේම, ඒ සමහරු ඡන්දයක් ඉල්ලීමත් විහිළු සහගතයි. ඉතින් මේ දුෂ්කර කාල සීමාවේදී අපි මීට වඩා බුද්ධිමත් සහ විචාරශීලි හැසිරීමක් ජනතාව පාර්ලිමේන්තුවෙන් අපේක්ෂා කරන බවත් කිව යුතුයි.

මේ අනුව අවසානයේදී අපි මෙරට මෙතෙක් කෙටි කාලයකදී පැමිණි ගමන් මඟ දෙසට හැරී බලමු?

මෙරට ගොවීන් ලක්ෂ 10ක් පමණ සිටින වගක් තමයි සමහරු තවම වේදිකාවලත් කියන්නේ. ඒත් ඒ කියන්නේ වී ගොවීන් ගණනයි. ඊට වඩා වැඩි ගොවීන් ගණනක් මෙරට වෙනවා. ලක්ෂ තිස් පහක්, හතළිහක් තරම් ඒ අතර වෙනවා. ඊට කිරි ගොවීන් ඇතුළු පශු සම්පත ප්‍රවර්ධනය කිරීමට දායක වන පිරිසත් ඇතුළත් විය යුතුයි. මේ අතරට ගොවි ගෙවිලියන්ගේ පවුල්වල සාමාජිකයන් වගේම වක්‍රව මෙයින් යැපෙන පිරිස අති විශාලයි. මේ අනුව මෙරට කෘෂිකාර්මික ප්‍රජාව පිළිබඳ දැනට ආණ්ඩුව දී තිබෙන පිළිගැනීමට කෙනහිලි කිරීමක් විදියටයි පටු පරමාර්ථ අපේක්ෂාවෙන් මේ මොහොතේ රට මැතිවරණයකට තල්ලු කරන්නට වෙර දරන අයව අපට හඳුන්වන්න වෙන්නේ. ඒ වගේම මං ගොවි ජනතාව වෙනුවෙන් නැවතත් කියන්නේ මෙරට මැතිවරණ නොපැවැත්විය යුතු වගක් නම් නොවෙයි. මේ කාලයේදී කඩිමුඩියේ ඊට යොමු නොවිය යුතු බවයි.

ගොවි උදාන ව්‍යාපාරයේ ලේකම්,

චින්තක සී. ගුණදාස

 

නුවන් මහේෂ් ජයවික්‍රම

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *