යථා රූපී තථා (අ) කාරී – නිශාන්ත කමලදාස

මිනිසුන් වැඩියෙන් විශ්වාස කරන්නේ විශ්වාස කරන්නට වඩාත් අමාරු දේ ය. මිනිසුන් යන්නේ ම තමනට වංචා කරන මිනිසුන් පස්සෙනි. වංචාවේ ප්‍රමාණයට සාපේක්ෂව ඔවුන් කෙරෙහි මිනිසුන්ගේ භක්තිය ද වැඩේ. හිස කොන්ද හා දණ නමන ප්‍රමාණය වැඩි වේ.

මිනිසුන්ට වැඩියෙන් ම කේන්ති යන්නේ ඇත්ත ඇති සැටියෙන් කීවා ම ය. කුණුහරුප මතක් වීම පිටුපස ඇත්තේ මේ කාරණාව ය.

අරක්කු වැඩියෙන් බොන්නේ පෝය දවසට ය. කාට හෝ ඒ ගැන විචිකිච්ඡාවක් ඇතොත් ඊට කලින්දා බාර් අසල ගැවසෙන සෙනග බැලුවහම ඒ බව හොඳින් ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ය.ලෝකයේ වැඩිපුරම මත් පැන් බොන්නේ වැඩි පුරම බණ අහන රටේ මිනිසුන් ය.

බටහිරට බණින බොහෝ අය කැමති බටහිර ජීවත්වන්න ය. බටහිර අධ්‍යාපනය ලබන්න ය. පුළුවන් නම් දරුවනුත් ඒ දීපංකරේට පිටත් කරන්න ය. දේශප්‍රේමීන් කොහොමටත් වැඩි පුර කැමති රටින් ඈත වාසය කිරීමට ය. මයිග්‍රේට් වෙන්නට ය. ඈත් වුනු තරමට ප්‍රේමය ද වැඩි වන්නේ ය.

ලෝකෙන්ම උතුම් රටේ මිනිසුන්ට තමන්ගේ රට කුණු ගොඩක් කරන තුරු නින්ද යන්නේ නැත. පෙරහැරක් බැලුවත් වන්දනාවේ ගියත් සරුංගල් අැරියත් රැස්වීමකට ගියත් බල්ලන් වැයික්කිය ලකුණු කරන්නට මුත්‍රා කරනවා සේ උන් කරන්නේ කුණු හලන එක ය. තමන් ලග ඇති එකම දේ වූ කුණු හලන එක ය.

ශුද්ධ භූමියේ වැඩි දෙනෙකු ගුගල් සෙවුම් එන්ජිමෙන් සොයන්නේ සෙක්ස් ය. ඒ සමහර විට මෙය ශුද්ධ භූමියක් කිරීම අරමුණු කර ගෙනම මතුපිට දමා ඇති තහංචි වලට පින්සිදු වන්නට ය. එලිපිට කිස් කරන්නට අවසර නැති රටක හොරෙන් සෙක්ස් දෝරේ ගැලීම සිදු වන්නේ ඒ නිසා විය යුතු ය.

මිනිසුන්ගේ යහපත් භාවය ඔවුන්ගේ අතේ බැඳ ඇති පිරිත් නූල් සංඛ්‍යාවට ප්‍රතිලෝමව සමානුපාතික ය. ඕනෑ නම් ගණන් කර බලත හැකි ය.

බණ අහන්නට අකමැති මිනිසුන් අනිත් මිනිසුන්ට බණ අස්සවන්නට කැමති ය. ඒ අනුන් ද තමන් වගේ කරන්නට නොවේ. ඊට වඩා හොඳ අය බවට පත්කරන්නට ය. තමන්ට නිවී සැනසිල්ලේ ඉන්නට හැක්කේ තමන් හොඳ වූ විට නොවේ. අනෙකා මොන තාලයෙන් හෝ හොඳ කර ගත් විට ය. එහෙම බැලුවහම ඒක විතරක් මේ පුදුම ගොඩට ඒ විදිහට ම දමන්නට බැරි ය.

අත්පත් කර ගැනීමට මිනිසුන්ට ඇති ආශාව ඇලීම දුරු කිරීමට ඔවුන් ගන්නා වෙහෙසට ප්‍රතිලෝමව සමානුපාතික ය. වඩාත් ඉසුරු ඇත්තේ සියල්ල අත්හරින්නට කැප වී ඇති පන්සලේ ය. ආරාමයේ ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *