මැතිවරණ ප්‍රචාරණ වැඩට කඩදාසි ගෙන්වන්න ඩොලර් නෑ – මහ බැංකුව කියලා

 

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක දී පක්ෂ සහ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වැඩ සඳහා කඩදාසි විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා ඇතිවන ඉල්ලුම සැපයීම සඳහා කඩදාසි ආනයනය සඳහා විදේශ විනිමය සැපයීම ප්‍රශ්නයක් විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් මුදල් අමාත්‍යංශයට දන්වා ඇති බව තතු දත් ආරංචි මාර් ග කියයි.

මැතිවරණයක දී සියලුම දේශපාලන පක්ෂ මෙන් ම අපේක්ෂකයින් ද ප්‍රචාරක පත්‍රිකා , පෝස්ටර් මුද්‍රණය කරන බැවින් කඩදාසි සඳහා විශාල ඉල්ලුමක් ඇතිවෙයි. එම ඉල්ලුම සැපයීමට කඩදාසි ආනයනය සඳහා විදේශ විනිමය වෙන් කිරීමට සිදුවෙයි. එය මේ මොහොතේ අපහසු බවත්, එසේ කළ හොත් අත්‍යවශ්‍ය වෙනත් භාණ්ඩ ගෙන්වීමට විදේශ විනිමය සපයා ගත නොහැකි වනු ඇති බවත් මහ බැංකු නිලාධරීන් ප්‍රකාශ කොට තිබේ.

ඇතැම් ප්‍රචාරක කටයුතු නීතියෙන් තහනම් කොට තිබුණ ද ඒවා විශාල වශයෙන් සිදුවන අතර නීත්‍යනුකුල ප්‍රචාරක කටයුතු සඳහා ද කඩදාසි භාවිතා වෙයි. මැතිවරණයට අදාළ ප්‍රකාශන සහ චන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා ද කඩදාසි විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙයි.

පාසල් පෙළ පොත් මුද්‍රණයට ද මේ වන විට කඩදාසි හිග වී ඇති බවත්, කඩදාසි ආනයනය කිරීම සඳහා විදේශ විනිමය සැපයීමේ අපහසුතාවය එයට හේතු වී ඇති බවත්, පෙන්වා දී ඇති මහ බැංකු නිලධාරීන් මැතිවරණයක දී තත්ත්වය තවත් බරපතළ විය හැකි බව ද පෙන්වා දී ඇත.

එමෙන් ම කිරිපිටි, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා ප්‍රමුඛතාවය දිය යුතුව ඇති බව ද අවධාරණය කොට ඇතැයි කියති.

රටේ වත්මන් මුල්‍ය තත්ත්වය පිළිබඳව මහ බැංකු සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක දී මෙම අදහස් ප්‍රකාශ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *