මැතිවරණ තබන්නට පෙර රට ර්අබුදයෙන් ගොඩ ගත යුතුයි – මහාචාර් ය සමිත හෙට්ටිගේ

 

  • මැතිවරණ කල් දැමීම් මීට පෙර අවස්ථා ගණනාවකදීම වුණා
  • දේශපාලන කණ්ණාඩි ගලවලා වැඩ කරන්න
  • පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ ලොකු වෙනසක් වෙන්න ඕනෑ
  • අපි මුලින්ම ආර්ථික අගාධයෙන් ගොඩඑන්න ඕනෑ

පළාත් පාලන මැතිවරණය පිළිබඳ මේ දිනවල විවිධ මතිමතාන්තර සමාජ ගතව තිබේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කඩිනමින් කළ යුතු ද, මේ, රට තව දුරටත් යථා තත්ත්වයට පත් කර පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම වඩාත් සුදුසු ද යන්න පිළිබඳ මැලේසියාවේ ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

l පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්ව වසරකට ඒවායේ නිල කාලය දිගු කළා. දැන් දිගු කළ කාලය ද අවසන්ව තිබෙනවා. මේ තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම සදහා මැතිවරණ කොමිසමට ඉඩ ලැබෙනවා. රටේ තිබෙන දේශපාලන සහ ආර්ථික වාතාවරණය මත මැතිවරණයක් සඳහා මේ මොහොත සුදුසුද?

මැතිවරණයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ලකුණක්. ඒ නිසා මැතිවරණයක් කල් දාන්න කියන්න බැහැ. කොහොමත් දිගු කාලයකට මැතිවරණ පැවැත්වීම කල් දමනවා නම් ඒක එතරම් සුදුසු දෙයක් නොවෙයි. ඒත් රටක මැතිවරණයක් පැවැත්වීමට යම් බාධාවක් තියෙනවා නම් සීමිත කාලයකට මැතිවරණය කල් දැමීම ගැන සලකා බැලිය හැකියි. ඒ ආකාරයේ බාධාවක් නිසා 2020 මහ මැතිවරණය මාස කීපයකින් කල් දැම්මා. ඒ කොරෝනා වසංගත තත්ත්වය නිසා. අද එවැනි තත්ත්වයක් නොවුණත් රට ආර්ථික ලෙස දැඩි අසීරු තත්ත්වයකයි තිබෙන්නේ. ඒ තත්ත්වය දැන් තමයි කෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන්නේ. ඒ නිසා මැතිවරණය වගේම රටේ ආර්ථික තත්ත්වය ද වැදගත්. රටේ වගකිව යුතු පුරවැසියකු විදිහට මම එහෙමයි වර්තමාන තත්ත්වය ගැන කල්පනා කරන්නෙ. ආර්ථිකය යම් පමණකට ශක්තිමත් වූ පසු පළාත් පාලන මැතිවරණය පවත්වනවා නම් වඩාත් සුදුසුයි කියල තමයි මම නිගමනය කරන්නෙ. මැතිවරණය දීර්ඝ කාලීනව කල් දමන එක නොවෙයි මං කියන්නෙ. ඉතාමත් සීමිත කාලයකට මැතිවරණය කල් දමන්න කියලා. ඒ අතර කාලය තුළ ආර්ථිකය නැවත සැලකිය යුතු තරම් මට්ටමකින් නැවත නඟාසිටුවන්න හැකියාව ලැබේවි.

මැතිවරණ කල් දැමීම් මීට පෙර අවස්ථා ගණනාවකදීම වුණා. 1975දී පැවැත්විය යුතු මහ මැතිවරණය 1977 දක්වා කල් දැම්මා. ජේ. ආර්. ජයවර්ධන අවුරුදු පහකට මැතිවරණය සිතියම හකුළා දැම්මා. මේවා නිසා පැවැති ආණ්ඩු පක්ෂ අප්‍රසාදයට පත් වුණා. ඒකට හේතු වුණේ ඒ හැම කල් දැමීමක් පිටුපසම දේශපාලන න්‍යාය පත්‍රයක් තිබ්බ නිසයි. ඒත් පළාත් පාලන මැතිවරණය සීමිත කාලයකට කල් දැමීම තුළ තිබෙන්නේ රටේ ආර්ථික සහ සමාජ තත්ත්වය පිළිබඳ ගැටලුවක්. ඒ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳන්න කාලයක් ගතවෙන්න පුළුවන්. ඉදිරි මාස කිහිපය තුළ රට නිසි පීල්ලට ගැනීමට පුළුවන්. ඒ නිසා අපිට මාස හයක් ඉවසන්න පුළුවන්නම් පළාත් පාලන මැතිවරණය සාර්ථක ලෙස තියන්න පුළුවන්.

l මැතිවරණය කල් දැමීමෙන් රටේ උද්ගතව තියෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් කියල ඔබ විශ්වාස කරනවාද?

මැතිවරණය කල් දැමීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙනු ඇතැයි සිතීම නිවැරැදි කල්පනාවක් නොවෙයි. සියලු දේශපාලන පක්ෂ රට මුහුණ දී තිබෙන ප්‍රශ්න තේරුම් ගෙන, නිසි වැඩපිළිවෙළක් වෙත එක් විය යුතුයි. එහෙම වුණොත් අපිට පුළුවන් ඉක්මනින්ම රට හදන වැඩපිළිවෙළක් වෙත එකතු වීමට. මම රටේ පුරවැසියකු විදිහට කල්පනා කරන්නෙ රටේ යහපත වෙනුවෙන් මේ මොහොතේ සියලු දේශපාලන අදහස් ඇති අය එකම තැනකට එකතු වෙන්න ඕනෑ කියලයි. දේශපාලන කණ්ඩායම් විදිහට දේශපාලන කණ්ණාඩි දමාගෙන වැඩ කිරීම නුසුදුසු දෙයක් විදිහටයි මම සලකන්නෙ. ඒ නිසා අපිට දේශපාලනය කිරීමට මැතිවරණය පැවැත්වීමට රටක් තියෙන්නෙ ඕනෑ. අපි සොයා බැලිය යුතුයි මේ වගේ කාලයක මේ වගේ අර්බුදයකට වෙනත් රාජ්‍යයන් මුහුණ දුන්නෙ කොහොමද කියලා. ඒ අනුව අපත් හැඩගැසෙන්න ඕනෑ. අපේ රට පවා අර්බුදයකට මුහුණ දුන්නාම වැඩ කරන ක්‍රමයක් තියෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕනෑ. එහෙම වුණොත් රටේ අර්බුදය විසඳා ඉක්මනින් පළාත් පාලන මැතිවරණයක් වෙත යොමු වෙන්න පුළුවන්.

l මේ කාලය මැතිවරණයකට නුසුදුසුයි කියල ඔබ පෙර සඳහන් කළා. එහෙත් යුද්ධය පැවැති කාලයේදී මෙන්ම භීෂණ කාලයේදීත් මැතිවරණය පැවැත්වුණා. එහෙම අතීතයක් තියෙද්දි මේ කාලය ඔතරම්ම මැතිවරණයකට නුසුදුසුයි කියන්නෙ ඇයි?

මම මැතිවරණයක් එපා කියල කියන්නෙ නෑ. ඒත් මාස කිහිපයකට කල් දමන්න කියලයි මා ඉල්ලා සිටින්නෙ. එහෙම කියන්නෙ ඇයි කියලා උදාහරණ සහිතව මම පෙන්වා දෙන්නම්. සාමාන්‍ය ලෙස ගෙදරක ලොකු ප්‍රශ්නයක් තියෙනවා නම්, ගෘහ මූලිකයා මාරාන්තික ලෙඩකින් ඉන්නවා නම් ප්‍රශ්නය විසදා ගන්නකම් නි‍ෙවසේ මඟුල් ගෙදරක් ගන්නෙ නැහැ. හොඳම නැකැතක් තිබ්බත්, මඟුල් ගෙදරට වඩා ගෙදර අය ගෘහ මූලිකයගේ ලෙඩේ ගැනයි හිතන්නෙ. අද මුළු රටම ආර්ථික වශයෙන් ලෙඩ වෙලා ඉන්නෙ. ඒ නිසා මූලික අවධානය යොමු කරන්න ඕනෙ මේ අර්බුදය ගැනයි. ඒකයි මම කිවුවෙ මැතිවරණය පොඩ්ඩක් පස්සට දාමු කියල. එහෙම වුණොත් අපිට ලබන අවුරුද්දෙම මැයි-ජූනි වෙද්දි පළාත් පාලන මැතිවරණයකට යන්න පුළුවන්.

l පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමෙන් රටේ දේශපාලන වෙනසක් ඇති කළ හැකි බවට ඇතැමුන් මත පළ කරනවා. මේ අදහස ගැන ඔබේ මතය පැහැදිලි කළ හැකිද?

පළාත් පාලන මැතිවරණය කියන්නෙ ගමේ මහජන නියෝජිතයන් පත් කර ගන්නා මැතිවරණයක් මිස ජාතික මැතිවරණයක් නොවෙයි. ඒ වගේ මැතිවරණයකින් ජාතික දේශපාලන අර්ථයක් සෙවීමම වැරැදියි. ඉතිහාසය පුරාම පළාත් පාලන මැතිවරණවලදී ජනතාව ජාතික දේශපාලනය ගැන හිතනවා වෙනුවට ප්‍රාදේශීය කරුණුයි සලකා බැලුවෙ. ඒ නිසා පළාත් පාලන මැතිවරණයකින් ජාතික දේශපාලන කරුණු සලකා බලා තීරණ ගන්නවා කියන්නෙම වැ‍රැදි අදහසක් විදිහටයි මම සලකන්නෙ.

l අද වන විට මැතිවරණ ක්‍රමය පිළිබඳවද ලොකු කතාබහක් ඇතිව තිබෙනවා. පළාත් පාලන මැතිවරණ ක්‍රමය නැවත වෙනස් කළේ 2018 වර්ෂයේදී. මේ වෙනස්කම් සහ ඉදිරියට විය යුතු වෙනස්කම් ඔබ දකින්නේ මොන විදිහටද?

රටේ සමස්ත මැතිවරණ ක්‍රමය ගැන මෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමයේත් ලොකු වෙනසක් වෙන්න ඕනෑ කියන අදහසේ බහුතරයක් ඉන්නවා. සමානුපාතික ක්‍රමය හඳුන්වා දුන්නේ 1989 මහ මැතිවරණයේදී. එම ක්‍රමය තුළ සාධනීය ලක්ෂණ රැසක් වගේම වැරැදි ලක්ෂණත් තියෙනවා. මෙහි ඇති එක් වරදක් තමයි මැතිවරණය මෙ‍ෙහයවන්න ලොකු මුදලක් අවශ්‍ය වීම, කොට්ඨාසයකට මන්ත්‍රී නියෝජනයක් නොමැති වීම වැනි කරුණු. පළාත් පාලන මැතිවරණයේදී මේ අඩුපාඩු හඳුනාගෙන, තිබෙන අඩුපාඩු නිවැරැදි කිරීමට නව කේවල සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒක සාපේක්ෂව හොඳයි. ඒත් එහි නියෝජිතයන් ප්‍රමාණය වැඩි වීම වැනි කරුණු නිසා යම් අඩුපාඩු ප්‍රමාණයක් මතුව පෙනෙනවා. සාමාන්‍යයෙන් නියෝජිතයන් ප්‍රමාණය 4000ක් 4500ක් වගේ වුණා නම් ප්‍රමාණවත් කියන අදහසේ අප සිටින්නේ. එමඟින් අනවශ්‍ය නාස්තිය නැති වෙනවා. එවැනි දේවල්ද නිවැරැදි කර ගැනීමට පුළුවන් නම් පළාත් පාලන ආයතනවලින් ලැබෙන සේවය තවත් විධිමත් සහ කාර්යක්ෂම කර ගැනීමට හැකියාව තිබෙනවා. ඇත්තෙන්ම පළාත් පාලන ආයතන කියන්නෙ ජනතාවට වඩාත් ළංව වැඩ කළ හැකි සුවිශේෂ තැනක්. එනිසා ඇතිව තිබෙන තාක්ෂණික අවුල් නිරාකරණය කර ගැනීමත් ඉක්මන් කළ යුතුයි.

l ඔබ විශ්වාස කරනවාද මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම මඟින් සියල්ල වෙනස් කළ හැකි වෙයි කියලා?

නැහැ මම විශ්වාස කරන්නේ මැතිවරණ ක්‍රමයත් වෙනස් විය යුතුයි කියලා. මැතිවරණ ක්‍රමය තුළ ලොකු මුදල් නාස්තියක් වෙනවා. ඒ තත්ත්වය ද වෙනස් කළ යුතුයි. මෙහිදී අප තවත් යහපත් දෙයක් දකිනවා. ඒ එක් අපේක්ෂකයකු වෙත මැතිවරණයකදී වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සඳහන් කරන යෝජනාව. එය නිසි ලෙස ක්‍රියාත්මක වුව හොත් ඉතාමත් හොඳ දෙයක් බවට පත් වේවි.

l මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු ආර්ථික දුෂ්කරතා නිසා මැතිවරණය සීමිත කාලයකට කල් දැමීමක් ගැන කතා බහ ඇතිවුණත් විපක්ෂයේ දැඩි බලපෑම තිබෙන්නේ මැතිවරණයක් පැවැත්විය යුතු බවටයි?

නියමිත පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි, එය පවත්වන්න එපා කියන තැන ඉඳන් නොවෙයි මම කතා කරන්නෙ. රටේ ආර්ථික වාතාවරණය සලකා බලලයි මම කතා කරන්නෙ. අපිට මැතිවරණය පැවැත්වීමට විදෙස් රටකින් ප්‍රදානයක් ලබා ගන්න පුළුවන්නම් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ වරදක් නැහැ. එහෙම නැතිව ආර්ථික වශයෙන් අගාධයක සිටින වෙලාවක එයින් ගොඩඒමට හැකි ක්‍රමයක් ගැන සොයනවා මිස මැතිවරණයක් ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීම නුසුදුසුයි කියන අදහසේ මම ඉන්නෙ.

l ඔබ කියන ආර්ථික අර්බුදය තව කොතෙක් කල් පවතීද?

රට යම් ස්ථාවර ආර්ථික මට්ටමකට පැමිණීම නුදුරු කාලයකදී සිදු වෙනවා. අද රට ගමන් කරන රටාව අනුව ඒක පැහැදිලියි. එනිසා අපට සුළු කාලයක් ඉවසන්න පුළුවන් නම් රට ස්ථාවර කිරීම සහ මැතිවරණය යන දෙකම ඉටු කර ගැනීමට හැකියාව ලැබේවි. අනෙක මේ වන විට ආර්ථික පරිපාලනය පිළිබඳ කරුණුද ඉතාමත් හොඳින් සොයා බලා තීන්දු ගන්නා බවක් දැක ගැනීමට පුළුවන්. ආර්ථිකය සහ පරිපාලනය යන දෙපැත්තම සමඟ ගැටගැසුණ තීරණ ගැනීම ගැන එක උදාහරණයක් පෙන්වා දෙන්නම්. එනම්, වරාය නගර ව්‍යාපෘතියේ සහ ආයෝජන මණ්ඩලයේ සභාපති එක් අයකු වීම. එමඟින් ලොකු ආර්ථික පිම්මකට රට ගෙන යන්න පුළුවන්. ඒ වගේ ඉදිරිගාමී ආර්ථික තීන්දු ගන්නවා නම් ආර්ථික ස්ථාවරභාවය තවත් ඉක්මන් වේවි. එමඟින් පළාත් පාලන මැතිවරණයට ඇති ආර්ථික බාධා මඟහැරී ඉක්මනින් පළාත් පාලන මැතිවරණයක් වෙත ගමන් කිරීමට හැකියාව ලැබේවි.

මැලේසියාවේ ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලයේ 

මහාචාර් ය සමිත හෙට්ටිගේ

 

උදිත ගුණවර්ධන

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *