බස් එක මිස් කරගත් ඔස්තාර් ලා – කුලසිරි ලියනගේ
එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට උන කාරියා – දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉඳුරුවේ ආචාරියා” ඒ ඉඳුරුවේ ආචාරියා ජනවහරට එක්වූ හැටිය. “ආචාරියා රවටා කැත්ත හදා ගත්තා වාගේ” කියා කතාවක්ද ජනවහරේ ඇත. ඒ එක මනුස්සයෙක් ආචාරියා රවටා කැත්තක් සාදවා ගන්නට අදහස් කර වානේ ටික සඟවාගෙන යකඩ ටික පමණක් කම්මලට යැවීමේ සිද්ධියක් නිසාය. ආචාරියාද යකඩෙන් කැත්තක් හදා දී ඇති අතර, වානේ නොවූ නිසා ඒ කැත්තෙන් කිසිවක් කපාගන්න නම් හැකියාවක් ලැබෙන්නේ නැත. වානේ නැති නිසා කිසිදාක පන්නරය තබන්නටත් හැකියාවක් කොහොමටවත් නැත.
ජනවහරේ එන ඔය එක එක විදිහේ ආචාරියන් ගැන සිහිපත් වුණේ, අපේ කාලේ ආචාරියෙක් කළ කතාවක් නිසාය. ඒ ආචාරියාගේ කතාව, පාසලේ ඉතා කුඩා ඉඩක් සහිත ගේට්ටුවකින් බස් රථයක් හප්පන්නේ නැතිව පාසල තුළට ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වූ බවත්, රටේ ආර්ථිකයද ගොඩදැමීමට සජිත් ප්‍රේමදාස මහත්තයාට හැකි බව තමන් එමඟින් තේරුම් ගත් බවත්ය. අනුරාධපුර මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් දෙන්න ගිය අවස්ථාවේ මේ කතාව කිව්වේ, වෙනත් කවුරුත් නොව, සජබ ආර්ථික ඔස්තාර් හර්ෂ ද සිල්වාය.
හර්ෂගේ මේ කතාව අස්සේ සිහිපත් වන තවත් කතාවක් ඇත. ඒ කතාව සජිත්ගේය. වරක් සජිත් කියා සිටියේ, තමන්ගේ ආණ්ඩුවක ආර්ථික කටයුතුවල වගකීම පවරන්නේ හර්ෂට කියාය. සජිත්ගේ ඒ කතාව අනුව නම්, රියැදුරු තැන හර්ෂය. එතකොට ඒ බස් රථයේ කොන්දොස්තර සජිත් ද? සජිත්ට රියැදුරු වැඩේ වගේම කොන්දොස්තර වැඩෙත් කරන්න පුළුවන්ද ?
සජිත්ලා හර්ෂලා කියන කතා අනුව නම් රට්ටු එහෙම අහන්නත් ඉඩ ඇත. එහෙත් ඒ ප්‍රශ්නවලට උත්තර ඇත්තේ ජලනිලා, ලකීලා ළඟය. සැබවින්ම අපට නම් දෙන්නගෙන් කවුරු ඩ්‍රයිවර් වුණත් කවුරු කොන්දොස්තර වුණත් ප්‍රශ්නයක් නැත.
අපට ඇති ප්‍රශ්නය, හර්ෂලා සජිත්ලා බස් එක තියෙන තැනවත් හරියට දන්නවාද යන්නය. මේ වෙලාවේ බස් එක ඇති තැන ගැන හරි අවබෝධයකින් හිටියා නම් පුංචි ගේට්ටුවෙන් සීරුවට බස් ධාවනය මාර සීරියස්, සුපිරිම වැඩක් ලෙස දකින්න විදිහක් නැත. මොකද මේ වන විටත් රටේ ආර්ථිකය පවතින්නේ දරුණු අගාධයක වන නිසාය.
වැටුණු ආර්ථිකය
ඒ ගැන 2022 ජූලි මාසයේදී ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පවසා සිටියේ මේ ආකාරයටය.
“ඉහළ ණය ප්‍රමාණ වගේම සීමිත ප්‍රතිපත්ති අවකාශයකින් යුතු රටවල් අමතර පීඩනයකට මුහුණ දෙන්නට පුළුවන්. අනතුරු ඇඟවීමේ සලකුණකට ඇති ඉතා සමීප උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බලන්න”
“සංවර්ධනය වෙමින් පවතින රටවල් සිව් මසක් පුරා එකදිගට සිය ප්රාග්ධනය බැහැර ගලා යෑම අත්විඳිමින් සිටින්නේ දියුණු ආර්ථික ළඟා කර ගැනීමේ සිහින අවදානමේ හෙළමින්” බව ද ඇය කියා සිටියාය.
ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මේ ප්‍රකාශය සිදු කරන විටත් ශ්‍රී ලංකාව සිටියේ දරුණු ආර්ථික අර්බුදයකය. එහිදී, විදේශ විනිමය අර්බුදය විශේෂ විය. මිලියන 22ක් වූ මෙරට ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන හා ඖෂධ ආනයනය සඳහා ගෙවීම් කිරීමේ බරපතළ ගැටලුවක් පැවතියේය. ඒ තුළ ඉන්ධන සහ ගෑස් හිඟය විසින් මෙරට පෝලිම් යුගයක් බිහි කළේය. උද්ධමනය 70% කට පමණ ඉහළ නඟිද්දී වසරකට පෙර තිබුණාට වඩා 80% කින් පමණ ආහාර මිල ඉහළ ගියේය. වැඩි අටුවා ටීකා නැතුව සඳහන් කළොත් රට තිබුණේ නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කර තිබූ තත්ත්වයකය.
ගෝලීය වසංගත තත්ත්වය මෙන්ම අනතුරුදායී ප්‍රතිපත්ති සමඟින් ආර්ථිකය වැරදි ලෙස හැසිරවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාලනය අත්හරින්න සිදු වූයේ ඒ හමුවේ වූ ජනතා නැඟීසිටීම උත්සන්න වූ නිසාය.
ගෙවුණු වසර ගණන පුරා ගොඩගැසුණු අතිවිශාල ණය කන්දරාව විසින් වසර 20ක් තුළදී විදෙස් ණය ගෙවීම පැහැර හරින ලද පළමු ආසියා ශාන්තිකර කලාපීය රට බවට ශ්‍රී ලංකාව පත්කළේය. බලය අත්හරින්නට පෙර අගමැති මහින්ද ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසුරවා, නව ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත්ට ආරාධනා කෙරුණත් ඔහු ඒ සඳහා ඉදිරිපත් වූයේ නැත. ඒ වැටුණු ආර්ථිකය ගොඩනැඟීම පිළිබඳ දැක්මක් වැඩපිළිවෙළක් තබා, මතුව තිබූ ප්‍රචණ්ඩ අරාජිකත්වයවත් අවසන් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් හෝ විශ්වාසයක් නොතිබූ නිසාය.
ඒ බව තහවුරු කරන තවත් සිදුවීමක් නම්, අර්බුදය අවස්ථාවේ මුදල් අමාත්‍යංශයේ ලේකම්, මහ බැංකු අධිපති ඇතුළු ආර්ථිකයට අදාළ ඉහළ වගකීම් දරන පාර්ශ්ව සමඟ විපක්ෂ නායක ප්‍රමුඛ ඔහුගේ ආර්ථික ඔස්තාර්ලා සිදු කළ සාකච්ඡාවය. එහිදී නිලධාරීන් ඉදිරිපත් කළ දත්ත හමුවේ සජිත් ප්‍රමුඛ ගෝලයන්ට හීන්දාඩිය දැමූ බවත් ප්‍රසිද්ධ රහසක්ය. “මේ වෙලාවේ ගන්න එකේ අවදානමක් විතරයි තියෙන්නේ. ඊළඟ ඡන්දෙට ඒක හානියක්.” එදා රට අරාජික වන විට සජිත්ලා කර ඇරියේ එහෙමය. දේශපාලන අනාගතය ගැන හිතුවාට පොදු ජනතාව ගැන හිතුවේ නැත.
රටේ සැබෑ ආර්ථික දත්ත දැක බයෙන් පලා ගිය සජිත්ලා ප්‍රමුඛ ගෝලයන්ගේ සිහි විකල් කෙරුණේ, තමන් දා, තනිකර පලා ගිය බස් රථය රනිල් වික්‍රමසිංහ බාරගෙන ඇති බව දැනගත්තාට පසුවය. ඒ හමුවේ සජිත්ලාගේ සිහි විකල් වීම නිවැරදි බව අද වන විට ඔප්පු වී හමාරය.
ඊට නිදසුනක් ලෙස පෝලිම් යුගය අවසන් කළ බව දැක්වීම පැරණිය. අලුත් නිදසුන නම් වසර 3කට පමණ පසුව මෙවර නත්තල සැමරීම වෙනුවෙන් ජනතාව දැක්වූ උද්‍යෝගයය. කවුරු කවුරුත් ඇති හැකි උපරිමයෙන් නත්තල සැමරීමට එක්වූ බව රහසක් නොවේය. වඩාත් සිත්ගන්නා සුලු කරුණ වන්නේ මෙවර නත්තල ආගමික උත්සවයකට එහාගිය කන බොන සතුටු වන සංස්කෘතියක් සහිත උත්සවයක් වීමය. එසේම මාස කිහිපයකට පෙර පාරට බැස පාලකයන් එළවන්න පෙළගැසුණේද මේ ජනතාවම වීමය.
පසුබිම එසේ නිසා දැන් අවධානය යොමුකළ යුත්තේ, හොඳ ඩයිවර්ලා සෙවීම වැනි පිස්සු මරගාතවලට නොවේය. දැන් විමසා බැලිය යුත්තේ, මාස කිහිපයකට පෙර පාරට බැස පාලකයන් එළවන්න පෙළගැසුණු ජනතාවක් “කැරොල්” කල්ට් එකක් සමඟ ඒකාත්මික වුණේ කොහොමද යන්නය.
මිනිසුන් මෙහෙම වෙනස් වුණේ ආර්ථික අර්බුදය අවසන් නිසාද? කොහෙත්ම නැත. පෝලිම් යුගය අවසන් කර, මිනිසුන්ට සැනසිලිදායක සමාජ ආර්ථික පසුබිමක් නිර්මාණය වී ඇති බව ඇත්තය. නමුත් අර්බුදය අවසන් නැත. එසේ නම් මේ මොහොතේ විමසා බැලිය යුතුම කරුණ වන්නේ, මාස කිහිපයකට පෙර පාරට බැස පාලකයන් එළවන්න පෙළගැසුණු ජනතාවක් “කැරොල්” කල්ට් එකක් සමඟ ඒකාත්මික කරන මේ වෙනස ඇති කළේ කවුද යන්නය. දේශපාලන කුහකත්වය පසෙක තැබුවහොත් ඒ සඳහා ලැබෙන පිළිතුර නිශ්චිතය. රටේ මේ වෙනස ඇති කළේ ජනාධිපති රනිල්ය. මාස කිහිපයක් තුළ ජනාධිපති රනිල් සිදු කළ වැඩ කොටස විසින්ය. රට හමුවේ ඇති සියලු අර්බුද විසඳීමේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ප්‍රායෝගිකව පෙන්වා එය සාර්ථකත්වය කරා ගෙන යමින් තිබෙන එකම දේශපාලන නායකත්වය ජනාධිපති රනිල්ය. රනිල් හැර වෙනත් උත්තරයක් මේ මොහොතේ රටේ නැත.
විකල්පයක් තිබෙනවා නම් විපක්ෂය එය හෙළි කළ යුතුය.
ඡන්දයක් ඉල්ලීම
අවම වශයෙන් ආණ්ඩුව වැරදි නම් ඊට විකල්ල වැඩපිළිවෙළ විපක්ෂය ඉදිරිපත් කළ යුතුව ඇත. එහෙත් එවැන්නක් නොමැත. ඒ වෙනුවට ඇහෙන්න ඇත්තේ, ඡන්දයක් ඉල්ලා හන්දි ගානේ ගිහින් ගහන කයිවාරු පමණය. විපක්ෂයට ඡන්දයක් අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ ඔළුගෙඩි ටික වැඩි කර ගන්නටය. ඒ හරහා ජාතික මැතිවරණයක වැඩි වාසි අත්පත් කර ගන්නටය. එයින් ජනතාවට ලැබෙන දෙයකුත් ඇත. ඒ ආයෙත් පෝලිම් යුගයට යාමට ලැබීමය. මන්ද සජිත්ලාට හර්ෂලාට අර්බුදයට විසඳුමක් තියා අර්බුදයේ දිග පළල ගැඹුර ගැනවත් නිවැරදි තක්සේරුවක් නොමැති නිසාය.
සැබවින්ම ජනාධිපති රනිල් තවම රට ගොඩ ගත්තේ නැත. නමුත් ඔහු බාර ගත් අභියෝගය සාර්ථක ලෙස ජය ගනිමින් ඇත. ආර්ථිකයේ වූ දරුණු කඩාවැටීම පාලනය කරගෙන ඇත. දැන් ඇත්තේ වැටුණු අගාධයෙන් ගොඩ ගන්නටය. ජනාධිපති මේ මොහොතේද සිදුකරන්නේ, ඒ ගොඩ ගන්න වැඩේට අවශ්‍ය වැඩපිළිවෙළය. ඊට අවශ්‍ය උපාය උපක්‍රම, උපකරණ, අවශ්‍ය පිරිස් සහය සපයා ගනිමින්ය. දිගින් දිගටම විපක්ෂයෙන් ඉල්ලා ගන්නේ, මේ කටයුත්ත කඩිනමින් සාර්ථක කරගන්න නම් සාමුහික ප්රයත්නයක් දැරිය යුතු බවය. සාම්ප්‍රදායික දේශපාලනය පැත්තකින් තබා රට අගාධයෙන් ඉහළට ඔසවා ගනිමු කියාය. ඊට සහාය දෙනවා මිස ජනතාව වෙනුවෙන් විපක්ෂයට කරන්න වැඩකුත් මේ මොහොතේ නැත. ඒ නිසා එකතු වී බස් එක ගොඩට ගතහොත් අඩුම ගානේ සජිත්ට වගේම හර්ෂලාටත් එහි ගමන් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
ඒ මිස ඔය හොඳ ඩ්‍රයිවර් ගේන්න කියා ඡන්ද ඉල්ලමින්, හන්දි ගානේ කයිවාරු ගැහුවට තේරුමක් නැත. ජනතාව යළිත් එකක් කඩතොළු මකන්නම් කියා ඇවිත් දෙකක් කඩතොළු තියා දෙන ඉඳුරුවේ ආචාරියන්ට අහුවෙන්න සූදානම් නැත. කොටින්ම පිස්සු නටන ආචාරියන් දැන් ජනතාවට තිත්තය. ඒ වගේම ජනතාව දැන් ආචාරියා රවටා කැත්ත හදාගන්න යන්නේද නැත. ඒ හොඳ ඩ්‍රයිවර් වුණාට, හොඳම කොන්දොස්තර, හොඳම ගොවියා, හොඳම ගරාජ් බාස්, හොඳම ඡායාරූප ශිල්පියා, හොඳම ක්‍රිකටර්, හොඳම පාපන්දු ක්‍රීඩකයා වුණත්, කැපෙන්නේ නැති කැත්තෙන් වැඩක් නැති බව ජනතාව ඕනෑවටත් වඩා තේරුම් ගෙන සිටින නිසාය. සේරටම වඩා වානේ කියලා නාමයක් නැති නිසා, කවදාවත් පන්නරය තියන්න බැරි යකඩ කැතිවලට ජනතාව අතර ඉඩක් නැත. ඒ බව තේරුම් ගන්න සජිත්ලාට හර්ෂලාට ඡන්දත් වුවමනා වී තිබීම හාස්‍යජනකය.
කුලසිරි ලියනගේ
දිනමිණ