පොදු ප්‍ර‍ශ්න ජාතිවාදයෙන් අර්ථකථනය කරන එළුඟ තමිල් – අජිත් පැරකුම් ජයසිංහ

 

පොදු සමාජ ප්‍රශ්න ජාතිවාදයෙන් අර්ථකථනය කිරීමේ ඉතිහාසය ප්‍ර‍තිනිර්මානය වෙමින් තිබේ. ඒ කෙසේ ද යත්,

බුදු පිළිම ප්‍ර‍ශ්නය උතුරේ පමණක් ප්‍ර‍ශ්නයක් නො වේ. බුදු පිළිම වනාහි බුදුන්ගේ ප්‍ර‍තිමා නො වේ. ඒවා වනාහි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආක්‍ර‍මණශීලිත්වයෙහි ප්‍ර‍චණ්ඩ මෙවලම් විශේෂයකි. ඒ පසුපස දැවැන්ත ඉඩම් හා දේපල මංකොල්ලයක් ද, සිංහල බෞද්ධ ජනතාව සූරා කා, මුලාවේ ගිල්වා පසුගාමිත්වයට ගොදුරු කිරීමේ ප්‍ර‍තිගාමී ව්‍යාපෘතියක් ද තිබේ. එය සිංහලයා ද මුහුණ දෙන ප්‍ර‍ශ්නයකි.

මෙයට අඩු වැඩි වශයෙන් සෙසු ආගම් ද සම්බන්ධ ය. ඒ ආගමික ප්‍ර‍ජාවෝ ද සිංහලයා මුහුණ දෙන තත්වයට ම මුහුණ දෙති. එකී ආගමික බහුතරයන් ජීවත් වන ප්‍රදේශවල ජීවත් වන සුළුතර ආගමිකයෝ ද, සෑම තැනකදී ම අප වැනි ආගම් නො අදහන්නෝ ද පීඩාවට පත් වෙති. එය පොදු සමාජ ප්‍ර‍ශ්නයකි. දෙමළ ජනයාට පමණක් ඇති ප්‍ර‍ශ්නයක් නො වේ.

දකුණේ සුළු පිරිසක් හෝ මේවාට එරෙහිව දැඩි දුෂ්කර තත්වයන් යටතේ අරගල කළ හ. විශේෂයෙන් ම සමාජ ජාලවල මේ අරගල සිදු විය. මෙම සටන් පාඨය උතුරින් මතු වන විට එය හා එක් වන අමුතු ප්‍ර‍ගතිශීලියෝ දකුණේ මේ අරගල මතු වන විට ඒවාට වචනයකින් හෝ සහයෝගය දක්වා තිබේ ද යන්න විමසා බලන්න.

මිලිටරිකරණය නිසා උතුරේ ජනතාවගේ ඉඩම් හමුදා කඳවුරුවලට යට වී තිබේ. ඒවා ආපසු දිය යුතු බවට තර්කයක් නැත. එහෙත්, හමුදාව යනු බලවත් ආයතනයකි. එය රජයට අයත් වුවත්, ව්‍යවස්ථාදායකයට හා විධායකයට මුළුමනින් ම එය පාලනය කළ නො හැකි බව ඇත්තකි. විශේෂයෙන් ම තිස් අවුරුදු යුද්ධය තුළ හා කොටි සංවිධානයේ යුදමය පරාජය නිසා අතිශය බලවත් තත්වයක තිබෙන හමුදාව නො තකා කටයුතු කරන්නට කිසිවකුට බැරි ය. එය හරියට 2009ට පෙර කොටි සංවිධානය නො තකා හරින්නට බැරි වුණා සේ ය. මෙම සංවිධාන දෙක විසින් අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා ශකිතිමත් කරගෙන තිබේ.

ආරක්ෂක හමුදාවන්ට ජාතියක්, ආගමක් නො තිබිය යුතු යයි සම්භාව්‍ය තර්කයක් ගෙන ආ හැකි වුවත්, බුද්ධාගමට අසමාන තැනක් දී ඇති රාජ්‍යයක හමුදාව සිංහල, බෞද්ධ ආයතනයක් බවට පත් වී තිබීම කාටවත් නැතැයි කිව නො හැකි කණගාටුදායක යථාර්ථයකි.

මිලිටරිකරණය සමස්ත සමාජ දේහය පුරා ම පැතිරුණු සංකීර්ණ ප්‍ර‍ශ්නයකි. හුදු සටන් පාඨවලින් මිලිටරිහරණය සිදු කළ නො හැකි ය. එසේම, එය දෙමළ ජනයාගේ ප්‍ර‍ශ්නයක් ලෙස පමණක් සැලකීම ද උවමනාවට වඩා සරළමතික තර්කයකි. මිලිටරිකරණයේ ගොදුරු බවට පත් වන්නේ පීඩිතයන් පමණක් නො වේ. පීඩකයන්ට ද මිලිටරිකරණය පීඩාවකි.

සියලු දේශපාලන වෙනස්කම් අතර, මිලිටරිහරණය යනු ඉතා ඉවසිලිවන්තව කළ යුතු කාර්යයකි.

දේශපාලන සිරකරුවන්ගේ ප්‍ර‍ශ්නය ද හුදෙක් දෙමළ ප්‍ර‍ශ්නයක් පමණක් නො වේ. 1989 කැරැල්ල සමයේ එය සිංහල ජනතාවගේ ප්‍ර‍ශ්නයක් විය. වර්තමානයේදී ද කුමාර් ගුනරත්නම්ගේ ප්‍ර‍ශ්නය දෙමළ ප්‍ර‍ශ්නයකට ලඝු කළ නො හැකි ය. එසේ ම, යුද සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සිර ගත වන්නට සිදු වූ දෙමළ ජාතිකයන් දෙස මෙන් ම, සිංහල ජාතිකයන් ස්වල්ප දෙනා දෙස ද බලන විට දැකිය හැකි කරුණක් වන්නේ දෙපාර්ශ්වයේ ම තෝරුන් හා මෝරුන් දැල් ඉරාගෙන ගොස් තිබියදී නීතියෙහි දැලේ පැටලී ඇත්තේ හාල්මැස්සන් බවයි. කරුණා, කේපී, ගෝඨා, මහින්ද වැනි දේශපාලන නායකයන් භුක්ති විඳින මුක්තිය නීතියෙන් වැරදිකරුවන් වූ සෙසු අයට ද දිනා ගත හැක්කේ පොදු සමාවක් වෙනුවෙන් කරන අරගලයකිනි. දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීම වැනි ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ දිනා ගැනීමේ සැබෑ උවමනාවක් ඇතිව ද යන්න පැහැදිලි නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නීති සංශෝධනය කළ යුතු ය. එහෙත්, ඒවා එක රැයින් කළ හැකි දේ නො වේ. පවත්නා සංදර්භය තුළ ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම කළ නො හැකි ය. කළ හැක්කේ සංශෝධනය කිරීමයි.

වත්මන් ආණ්ඩුව බලයට එද්දී මෙම පොරොන්දු දුන් බව සැබෑ ය. එහෙත්, දුන්නා නම් කරපියව් කී පළියට ඒවා ඉටු කරන්නට බැරි ය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ආණ්ඩුවට නැත.

එසේ තිබියදීත්, ආණ්ඩුව මේ වන විට ප්‍ර‍ජාතාන්ත්‍රික ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා මුල පුරා ඇත. බලය බෙදීම හෙවත් මධ්‍යය හා පරිවාරය අතර සම්බන්ධතාව එම සංවාදයේ ප්‍ර‍ධාන කොටස් හයෙන් එකකි. එළුග තමිල් දෙමළ විරෝධය හමුවේ පිබිදී ඇති ඊනියා ප්‍ර‍ගතිශීලීන්ට තමන් එම ක්‍රියාවලියට සහභාගි වෙමින් දුන් යෝජනා ගැන කතා කළ හැකි ද? ෆෙඩරල් ඉල්ලන විග්නේශ්වරන් පළාත් සභා බලතලවලින් කළ හැකි දෙයවත් කර තිබේ ද? අඩු තරමේ මධ්‍යම ආණ්ඩුවෙන් උතුරු පළාත් සභාවට වෙන් කර ඇති මුදල් ප්‍ර‍මාණය හෝ සම්පූර්ණයෙන් වියදම් කර තිබේ ද? උතුරු පළාත් සභාවේ සිදු වී තිබෙන වංචා, දූෂණ සම්බන්ධයෙන් ඇති චෝදනා විභාග කළ යුතු ය.

පසුගියදා යාපනයේ පැවැත්වුණු දෙමළ විරෝධතාවේ සටන් පාඨ අතර දෙමළ කාන්තාවන්ගේ හා ළමුන්ගේ ආරක්ෂාව හා ගරුත්වය තහවුරු කිරීම, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට හිරිහැර නොකිරීම, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට හිරිහැර නොකිරීම වැනි ඉතා වියුක්ත ඉල්ලීම් ද තිබේ. මේවා වෙනත් ජාතීන්වල පුද්ගලයන්ට අදාළ නැද්ද?

බලෙන්-නීතිවිරෝධී ලෙස උතුරේ වාඩි සාදා ඇති දකුණේ ධීවරයින් ඉවත් කිරීම, උතුරුනැගෙනහිර මුහුදු තීරයට බලහත්කාරයෙන් දිනපතා පැමිණෙන දකුණේ ධීවරයින් පාලනය කිරීම වැනි ඉල්ලීම් ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීම ජාතිවාදී ය. දකුණේ ධීවරයන් සුවිශේෂයෙන් නම් කරමින්, උතුරේ මුහුද වැඩියෙන් ම සූරාකන දකුණු ඉන්දීය ධීවරයන් ගැන එසේ නමින් සඳහන් නො කිරීම ද කැපී පෙනේ.

දෙමළ ජනතාවගේ සංස්කෘතිය විනාශ කිරීම නැවතීම, උතුරු-නැගෙනහිර ජනතාව ආර්ථිකව පරාධීන කිරීම නැවතීම වැනි ඉල්ලීම් සාක්ෂි මත පදනම් නොවූ ජාතිවාදී, බොළඳ ඉල්ලීම් ය. එය වනාහි දෙමළ ජාතිවාදීන් විසින් කලින් ඉදිරිපත් කරන ලද දෙමළ තරුණයන්ට විෂ එන්නත් ලබා දී ඇති බවට චෝදනාව වැනි ම බොළඳ ඒවා ය.

ජාතික පදනමින් ප්‍ර‍ශ්න සම්බන්ධයෙන් සටන් කිරීම උතුරේ පමණක් ඇති සුවිශේෂ තත්වයක් නො වේ. එවැනි සටන් දකුණේ ද තිබේ.

එහෙත්, උතුරෙන් මතු වී ඇති සටන් පාඨ වනාහි දෙමළ ජනයා වැඩි වශයෙන් මුහුණ දෙන, එහෙත්, සියලු ජනයාට පොදු ප්‍ර‍ශ්න සමුදායකි.

අප මතු කරන ප්‍ර‍ශ්නය මෙයයි. මේවා ජාතිවාදී පදනමකින් ගන්නේ කුමට ද? ඒවා ජාතිවාදී පදනමකින් ගත් විට පමණක් ඇතැම් ඊනියා ප්‍ර‍ගතිශීලීන් අවදි වන්නේ මන් ද?

සියලු සිංහල ජනයා සිංහල බෞද්ධ ජාතිවාදියෝ නො වෙති. එසේම, සියලු දෙමළ ජනයා ද ජාතිවාදියෝ නො වෙති. එළුග තමිල් විරෝධතාවට එක් වූ සියලු දෙමළ ජනයා පවා දෙමළ ජාතිවාදය අනුයන අය නො වෙති.

දෙමළ ජනයාට සුවිශේෂ ප්‍ර‍ශ්න ඇති බව අපි පිළිගනිමු. එහෙත්, මේ අන්දමින් ජාතිවාදය මත පදනම් වීම කෙතරම් පටු ද, බොළඳ ද යන්න පෙන්වා දීම මෙම ලිපියේ අරමුණ විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *